ඉදිරි වසර තුන සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සංක්‍රමණික ඉලක්ක පිළිබඳව කැනඩා ආගමන අමාත්‍ය අහමඩ් හුසේන් විසින් නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ඉදිරි තෙවසර තුළ කැනඩාව මිලියනයකට ආසන්න සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පිළිගැනීමට සූදානමින් පසුවේ. ලිබරල් රජය විසින් ගෙන ආ මෙම අලුත්ම සංක්‍රමණික ඉලක්කවලට අනුව 2018 සංක්‍රමණිකයන් 310,000 කුත් 2019 දී 330,000 කුත් 2020 දී 340,000 කුත් වශයෙන් මිලියනයකට ආසන්න පිරිසක් සඳහා මෙරට දොරටු විවර වේ.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වූ ආගමන අමාත්‍යවරයා පවසා සිටියේ, මෙය කැනඩාවට සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීම සඳහා මෑත ඉතිහාසයේ හඳුන්වා දෙන ලද ‘වඩාත්ම ප්‍රබල’ වැඩ පිළිවෙළ බවයි.

වයෝවෘද්ධ ජනගහනය ක්‍රමයෙන් වැඩි වීමත් උපත් වේගය පහත වැටීමත් නිසා අනාගතයේදී ශ්‍රම වෙළඳපොළ තුළ ඇතිවිය හැකි නිපුණතා හිඟය පියවා ගැනීමට මෙවැනි පියවරක් ගැනීම කළ යුතු බව අමාත්‍යවරයා පවසා සිටී. එ් අනුව මෙම ශ්‍රම හිඩැස පියවීමේ වැඩ පිළිවෙළ යටතේ විශාල සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් කැනඩාවට පැමිණෙනු ඇත.

වාර්ෂිකව මෙරටට ගත යුතු සංක්‍රමණික සංඛ්‍යාව පිළිබඳව ආණ්ඩුවේ ආර්ථීක උපදේශක සභාවේ යෝජනාව වූයේ සංක්‍රමණිකයන් 450,000 දක්වා වැඩි කිරීම වුවත් එකවර එතරම් මිනිස් බලකායක් වැඩිකිරීම පිළිබඳව රජය තවදුරටත් සලකා බලමින් සිටී.

මේ පිළිබඳව අදහස් දක්වන හුසේන් අමාත්‍යවරයා කියා සිටින්නේ නොවැ 01 දා ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද සැලැස්ම කැනඩාවට ඉතාමත් සුදුසු වූවක් බවයි. රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් වැඩෙන ආකාරයට නිර්මාණය කිරීම නිසා මෙරට ක්‍රියා පද්ධතියට ගැළපෙන පරිදි සියල්ල සකස් කළ හැකි බව ඔහු පවසයි.

“කැනඩාවට සංක්‍රමණිකයන් ගෙන එ්මෙන් සම්පූර්ණ වන්නේ එම කාර්යයෙන් අඩක් පමණයි. එය සම්පූර්ණ කර ගැනීමට නම් ඔවුන්ට මෙරට ස්ථාපිත වීමට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සැපයීමට අප වග බලාගත යුතුයි. මෙහිදී අපට දරාගත හැකි ධාරිතාව පිළිබඳව සහතිකයක් අප වෙත තිබිය යුතුයි. මෙයට අපේ පැත්තෙන් එක්වන පාර්ශ්වකරුවන් මෙම පදිංචිකිරීම් හා එ්කාබද්ධ කිරීමේ ක්‍රියාවලීන් සමග සෑම දිනකම ක්‍රියාත්මක විය යුතුයි. එ් වැඩපිළිවෙළවල් ඉදිරියට සැලසුම් කළ හැක්කේ එ් සඳහා ගැළපෙන, අපට පාලනය කරගත හැකි සංඛ්‍යාත්මක අගයක් තිබීමෙන් සහ අවශ්‍ය මෙවලම් ඔවුන් වෙත සැපයුවොත් පමණයි.” ටොරොන්ටෝහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හුසේන් අමාත්‍යවරයා එ් පිළිබඳව එසේ පවසා තිබුණි.

වර්තමානයේදී ලොව බොහෝ රටවල්වල පවතින භීෂණකාරී තත්ත්වයන් හමුවේ මේ වන විට කැනඩාවට සරණාගතයින් ලෙස පැමිණෙන සංඛ්‍යාවද ඛෙහෙවින් ඉහළ ගොස් ඇති අතර 2016 වසරේදී පමණක් 60,000 ක පිරිසකට මෙරට සරණාගත රැකවරණය ලැබී ඇත.

ලිබරල් රජය විසින් ගෙන ආ මෙම නව සැලසුම් පිළිබඳව කොන්සර්වේටිව් ආගමන විචාරක මිෂෙල් රෙමෙල් විවේචනාත්මකව පවසා සිටින්නේ, අලුතින් පැමිණෙන පිරිසට හොඳ රැකියා අවස්ථා ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙළක් රජයට අවශ්‍ය බවයි. ඉහළ ඉලක්කම්වලින් ජනතාව ගෙන්වා ගැනීම නොව ප්‍රමාණවත් පහසුකම් ඇත්දැයි යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ඇය පවසයි. එසේම කැනඩාවේ සංක්‍රමණික පද්ධතිය මේ වන විටත් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වහාම පියවර ගත යුතු බවත් එසේ නොවුවහොත් සමස්ත පද්ධතියටම එය බලපෑ හැකි බවත් ඇයගේ අදහසයි. දේශසීමා දොරගුළු හැර දැමීම නිසා රැකවරණය පතා පැමිණෙන්නන් මායිම්වල පිරී ඉතිරී යාමෙන් ආගමන විගමන පාලක මණ්ඩලයේ ඇතිවී පවතින තදබදයත් මෙහිදී ඇය පෙන්නුම් කර දේ. මෙරට ස්ථීර පදිංචිය සඳහා අයදුම්පත් කළ හා සරණාගතභාවය අයදුම් කළ දහස් ගණනකගේ ඉල්ලීම් සිරවී තිබියදී ලිබරල් රජය තව තවත් එය උග්‍ර කර ගන්නේ මන්දැයි  ඇය ප්‍රශ්න කර සිටී.

2016 එළිදැක්වුණු කැනඩා සංඛ්‍යාලේඛන දත්ත වාර්තාවලට අනුව මෙරට සමස්ත ජනගහනය මිලියන 36.29 කි. සෙසු බොහෝ රටවල ජනගහන සංඛ්‍යාලේඛන හා සසඳා බැලීමේදී මෙය සැලකිය යුතු මට්ටමේ අඩුවකි. මීට වසර කීපයකට පෙර මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථීක විශේෂඥ ස්ටීවන් ගෝර්ඩන් පවසා ඇත්තේ, කැනඩාවේ මානව හිඟය යම් තරමකට හෝ පියවා ගැනීමට නම් මිලියන 6 ක ජනගහනයක් එකතු කරගත යුතු බවයි. එසේම කැනඩාවේ මානව සිදුර වසරින් වසර අවම වෙනවා වෙනුවට වර්ධනය වීමක් සිදුවන බවද ඔහු පවසා ඇත.

කෙසේ වුවත් ලිබරල් රජය විසින් ඉදිරි වසර කීපය තුළ සිදුකිරීමට සැලසුම් කර ඇති සංක්‍රමණික වැඩසටහන් ඔස්සේ මේ මානව සිදුර යම් තරමකට වැසී යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙය වර්තමාන කැනඩාව සඳහා නොව අනාගත කැනඩාව සඳහා කරන අනර්ඝ ආයෝජනයක් බව බොහෝ දෙනෙකුගේ අදහසයි.

Share this Post