පසුගිය ඔක්තෝබර් මාසයේදී කැනඩාව පුරා අලෙවි වූ නිවාස සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ අගයක් පෙන්වූ බව කැනඩා දේපළ වෙළඳාම් සංගමය (Canadian Real Estate Association) පවසයි.
එම සංගමයේ දත්තයන්ට අනුව බහු ලැයිස්තුගත සේවාව (MLS) හි ඇතුළත් කොට තිබූ දේපළ අතරින් නිවාස දේපළ (residential properties) 42,473 ක් ඔක්තෝබර් මාසයේදී අලෙවි වී ඇත. මෙය 2015 ඔක්තෝබර් මාසයේ නිවාස අලෙවිය හා සංසංදනය කිරීමේදී සියයට 60 ක පමණ වැඩිවීමක් බව සංගමය පවසයි.
මෙහිදී GTA හා ආසන්න නගරවල නිවාස අලෙවිය සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණු නමුත් බි්‍රටිෂ්කොළොම්බියාහි නිවාස අලෙවිය යම් තරමකට පහත වැටී තිබුණු ආකාරයක් දක්නට ලැබුණි.
මෙම අලෙවියට සාපේක්ෂව ටොරොන්ටෝව ඇතුළු ආසන්න නගරවල නිවාස මිල ගණන්ද ඉතාමත් විශාල ලෙස ඉහළ නැග තිබූ අතර ඔක්තෝබරයේ විකිණුනු නිවාස මිල ගණන් සලකා බැලීමේදී අවම මිල ගණන් සහිත නිවසක සාමාන්‍ය අගය වී ඇත්තේ ඩොලර් 481,994 කි. මෙය පසුගිය වසරෙහි මෙම කාල සීමාව හා සසඳා බැලීමේදී සියයට 5.9 ක ඉහළ යෑමක් බව දේපළ වෙළඳාම් සංගමයේ වාර්තා දක්වා සිටී.
ඔක්තෝබරයේ නිවාස වෙළඳපොළ තුළ මෙතරම් ඉහළ යෑමක් ඇති වීමට පසුගියදා නිවාස ණය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය ගෙන ආ නව වෙනස්කම් ප්‍රධාන ලෙස බලපා ඇතැයි ඒ පිළිබඳව අදහස් දක්වන විශ්ලේසකයින් පවසා ඇත.

Share this Post