ඔන්ටේරියෝ රජය විසින් පළාත් විශ්වවිද්‍යාල තුනක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල් සහ ප‍්‍රතිපාදන අවලංගු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඔන්ටේරියෝහි දැනට පවතින ඩොලර් බිලියන 15 ක අයවැය හිඟය මත පළාත් රජයට නව ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයිය හැකි තත්ත්වයක් නොමැති බව පුහුණු කිරීම් විද්‍යාල හා විශ්වවිද්‍යාල පිළිබඳ ඇමතිනි Merrilee Fullerton පවසයි.
එ් අනුව Markham Campus – York University in partnership with Seneca College, Milton Campus – Wilfrid Laurier University in partnership with Conestoga College, Brampton Campus – Ryerson University in partnership with Sheridan College යන විශ්වවිද්‍යාල තුනට අනුබද්ධව පිහිටුවීමට සූදානම් කෙරුණු චන්ද්‍රිකා තාක්ෂණ අධ්‍යයන ආයතන 3 ක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල ප‍්‍රතික්ෂේප වී ඇත. මෙම විශ්වවිද්‍යාල 2021 සහ 2022 යන වසරවලදී විවෘත කිරීමටත් එ්වා සඳහා සිසුන් 8,000 ක් බඳවා ගැනීමටත් නියමිතව තිබුණි.
පළාතේ අයවැය හිඟය දැඩිව පවතින මෙවැනි අවස්ථාවක ඔන්ටේරියෝවේ මුදල් පිළිබඳ වගකීම හා විශ්වාසනීයත්වය නැවත ස්ථාපිත කිරීමට රජය කැපවී කි‍්‍රයාත්මක වෙමින් කටයුතු කරන බවත් එවැනි විටෙක කණගාටුවෙන් වුවත් මෙවැනි ව්‍යාපෘති නැවැත්වීම වැනි දුෂ්කර තීන්දු තීරණ ගැනීමට සිදුවිය හැකි බවත් ෆියර්ටන් ඇමතිනිය පවසයි.
කැත්ලින් වේන්ගේ ලිබරල් රජය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘති හදිසියේම නවතා දැමීම පිළිබඳව හිටපු ප‍්‍රමීයර් වේන් ට්විටර් හි ප‍්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ, මෙම විශ්වවිද්‍යාල ඉදිකිරීම නැවැත්වීම නිසා තරුණ ප‍්‍රජාවට සිදුවන අහිතකර බලපෑම ආර්ථිකය වෙත සිදුවෙතැයි පැවසෙන හානියට වඩා බරපතල වූවක් විය හැකි බවයි.
ඉහත විශ්වවිද්‍යාල තුන සඳහා ලබාදීමට නියමිතව තිබූ රාජ්‍ය ප‍්‍රතිපාදන කපා දැමීම පිළිබඳව එම විශ්වවිද්‍යාලවල ප‍්‍රධානීන්ද සිය මවිතය සහ කණස්සල්ල පළ කොට තිබුණි. දීර්ඝ කාලයක් පුරා සාකච්ඡුා කොට, තීන්දු තීරණ ගෙන ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා කළ යුතු මූලික පිරිවැයද දැරීමෙන් පසු මෙවැනි පියවරක් ගැනීම කිසිසේත්ම සුදුසු පියවරක් නොවන බව ඔවුහු පවසති.
එම විශ්වවිද්‍යාලවල ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ඉතාමත් ආසන්නව තිබුණු අතර යෝර්ක් විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉදිකිරීමට නියමිතව තිබූ මාර්කම් විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ලබන දෙසැම්බරයේ ආරම්භ වීමට නියමිතව තිබුණි.

Share this Post