ගංජා පරිභෝජනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල කෙරුණු ලොව දෙවැනි රට බවට පත් වෙමින්, 2018 ඔක්තෝබර් 17 කැනඩාව මෙරට ඉතිහාසයේ සුවිශේෂී පිටුවක් පෙරළනු ලැබුණි. කැනඩාව තුළ ගංජා නීත්‍යනුකූල කිරීම පිළිබඳව නොයෙක් මත, අදහස්, යෝජනා, චෝදනා මතු වුවත් 2015 දී ලිබරල් පක්ෂ නායක ජස්ටින් ටෲඩෝ තම දේශපාලන වේදිකාවේ දුන් පොරොන්දුවකට අනුව සමස්ත කැනඩාව තුළම ගංජා නීත්‍යනුකූල කිරීම මෙසේ සිදුවිය.
මෙම නීත්‍යනුකූල අයිතිය ඇතැම් පාර්ශ්වයන්ගේ දෝෂ දර්ශනයට ලක් වූවත් ඇතැම්හු මෙය සුභවාදී ආකාරයෙන් විග‍්‍රහ කොට තිබුණි. ඔක්තෝබර් 17 වන දිනය එළඹෙත්ම කැනඩාවට ලබාගත් මේ සුවිශේෂී අවස්ථාව උත්සවශ‍්‍රීයෙන් සැමරූ කණ්ඩායම්ද බොහෝ තැන්වල දක්නට ලැබුණි.
කැනබිස් සාටිවා සහ කැනබිස් ඉන්ඩිකා යන ශාක වර්ග දෙකෙන් නිපදවාගන්නා මෙය ගංජා, කංසා, මරිජුවානා, cannabis ආදි නම් රැසකින් හැඳින්වේ. ඖෂධීය ගුණයෙන් අනූන බව පැවසෙතත් වර්තමානයේදී විවිධ සාන්ද්‍රණයන් එක් කොට මෙය බහුල ලෙස භාවිත වනුයේ මත්ද්‍රව්‍යයක් වශයෙනි.
කැනේඩියානු අපරාධ නීති සංග‍්‍රහයෙහි තහනම් උත්තේජක සම්බන්ධයෙක් වසර 95 ක් පුරා පැවති නීතිරීති පළමු වරට වෙනස් කරමින් පසුගිය 17 වෙනි දින සිට බලාත්මක කෙරුණු නව කංසා පනත (Cannabis Act) වයස අවුරුදු 18 සිට (ඇල්බර්ටා සහ කියුබෙක්හි වයස් සීමාව 18 සිටත් සෙසු සියලූ පළාත්වල 19 සිටත් ලෙස දැක්වේ* සියලූම වැඩිහිටි පුද්ගලයින් හට පහත සඳහන් ආකාරයට බලපානු ලබයි.
අලූත් ගංජා, වියළි ගංජා, ගංජා තෙල්, ගංජා ඇට, ගංජා පැළ ආදි වශයෙන් පළාත්වල සහ ප‍්‍රදේශවල බලයලත් සිල්ලර වෙළඳුන්ගෙන් ලබාගත හැක.
• පළාත් පාලන බල ප‍්‍රදේශවල අනුමත කරන ලද ස්ථානවලින් ගංජා ලබාගත හැක.
• වියළි හෝ වියළි නොවන ගංජා ග‍්‍රෑම් 30 ක් දක්වා ළඟ තබාගත හැක.
• හුවමාරු කර ගැනීමේදී ද ග‍්‍රෑම් 30 ක් දක්වා වලංගු වේ.
• එක් ගෘහයක (per household) ගංජා පැළ 4 ක් වගා කළ හැකි අතර එම බීජ හෝ පැළ බලපත‍්‍රලාභී ස්ථානයකින් ගෙන්වා ගත යුතු වේ.
• ගංජා යොදාගනිමින් සාදනු ලබන ආහාර පාන වර්ග භාවිතයට කිසිදු නීතිමය බාධාවක් නොමැත.

ෆෙඩරල් රජය මගින් ගංජා නීත්‍යනුකූල කිරීමත් සමගම රටෙහි සියලූ පළාත් සහ ටෙරිටොරි බලප‍්‍රදේශ එම එක් එක් පළාත්වලට ගැළපෙන ආකාරයට අලෙවිය හා පරිභෝජනය සඳහා මේ වන විට නීති සකස් කොට ගෙන ඇත. එ් අනුව ඔන්ටේරියෝ පළාත රජය මගින් ක‍්‍රියාත්මක කෙරෙන බලය ලත් අලෙවි නියෝජිත ආයතනයක් මගින් අන්තර්ජාලය ඔස්සේ (Online) පමණක් ගංජා විකිණීමේ කටයුතු සිදුකරනු ලබයි. නිව්බ‍්‍රවුන්ස්වික්, බි‍්‍රටිෂ් කොළාම්බියා, නෝවා ස්කෝෂියා, ප‍්‍රින්ස් එඞ්වඞ් දිවයින, යූකෝන්, කියුබෙක්, නුන්වට්, නෝත්වෙස්ට් ටෙරිටොරිස් යන පළාත් සහ ටෙරිටොරිස් රජය මගින් ක‍්‍රියාත්මක කෙරෙන බලය ලත් වෙළඳසල් මගින් පාරිභෝගිකයින් හට ඍජුවම සහ Online ගංජා අලෙවි කිරීම සිදුකරයි. තවද ඇල්බර්ටා, මැනිටෝබා සහ නිව්ෆන්ඞ්ලන්ඞ් යන පළාත් පෞද්ගලික බලපත‍්‍රලාභී ගංජා අලෙවි සල් මගින් පාරිභෝගිකයින් වෙත ඍජුවම සහ ඔන්ලයින් මාර්ගයෙන් ගංජා අලෙවිය සිදුකරනු ලබයි.
ගංජා අලෙවිය ඉතාමත් ලාභදායී ව්‍යාපාරයක් බව එ් පිළිබඳව කරුණු දක්වා ඇති ආර්ථික විශේෂඥයින්ගේ අදහසයි. එය සනාථ කරමින් ගංජා අලෙවිය ඇරඹුණු පසුගිය 17 වෙනි දින පැය 24 ක් ගත වීමටත් මත්තෙන් Online ඔස්සේ ඔන්ටේරියෝ ගංජා අලෙවි මධ්‍යස්ථාන වෙත පමණක් ලක්ෂයකට අධික පාරිභෝගික ඇණවුම් සංඛ්‍යාවක් ලැබුණු බව Ontario Cannabis Store(OCS) පවසා තිබුණි. එයට ලැබුණු ඇණවුම් සංඛ්‍යාව කෙතෙක් අධික වූයේද යත් ඉල්ලුමට සැපයුම කළ නොහැකි තත්ත්වයක් ඇති වූයෙන් OCS ප‍්‍රධානියා විසින් පාරිභෝගිකයින්ගේ ඉවසීම අගය කරමින් ප‍්‍රකාශයක්ද නිකුත් කර තිබුණි. ඍජුවම පාරිභෝගිකයින් වෙත ගංජා ලබාදුන් රජයේ වෙළඳසල් අසල පැය ගණනක සිට සිය ගණනින් පාරිභෝගිකයින් රැඳී සිටින ආකාරය දක්නට ලැබුණි.
ඔන්ටේරියෝව තුළ ඍජුව පාරිභෝගිකයින් සමග ගනුදෙනු කරන වෙළඳසල් ඇරඹීම ලබන වසරේ අපේ‍්‍රල් 01 දා සිදුකිරීමට නියමිත බව ඔන්ටේරියෝ පළාත් ආණ්ඩුව එ් පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණි.
කැනඩාවේ ගංජා නීතිගත කිරීමත් සමගම ගංජා නීතිගත කළ සෙසු රටවල් පිළිබඳව සොයා බැලීමට ලෝක අවධානය දැඩිව යොමුවුණු අයුරක් දක්නට ලැබුණි. එහිදී හෙළිදරව් වූ කරුණුවලට අනුව කැනඩාව මෙන් ජාතික වශයෙන් ගංජා නීතිගත කරන ලද ලොව පළමු රට උරුගුවේ රාජ්‍යය බව දැක්වුණි. දකුණු ඇමරිකානු කලාපයට අයත් උරුගුවේ, 2014 දී එම නීත්‍යනුකූල කිරීම සිදුකර ඇති අතර එරට වැඩිහිටියන්ට සෑම මසකම ගංජා ග‍්‍රෑම් 40 ක් දක්වා ඔසුසල්වලින් මිල දී ගැනීමට අනුමැතිය ලබා දී ඇත. එ් සඳහා ගංජා භාවිත කරන්නන් පළමුව අදාළ බලධාරීන් වෙත ලියාපදිංචි විය යුතු අතර ඉන්පසු ගංජා මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය හරහා අදාළ ප‍්‍රමාණය ලබාගත හැක.
ඊට අමතරව ලොව පුරා රටවල් කිහිපයක් අර්ධ වශයෙන් ගංජා නීතිගත කොට ඇති අතර එ්වා මේ ආකාරයෙන් දැක්වේ.
ඇමරිකාව තුළ ගංජා නීතිගත කිරීම පිළිබඳ තොරතුරුවලට අනුව එහි ෆෙඩරල් නීතිය වන්නේ ගංජා අලෙවිය සහ භාවිතය නීත්‍යනුකූල නොවන බවයි. නමුත් ප‍්‍රාන්ත නීති රෙගුලාසිවලට අනුව එහි තත්ත්වය වෙනස් වේ. එ් අනුව ප‍්‍රාන්ත 9 ක් (Alaska, California, Colorado, Maine, Massachusetts, Nevada, Oregon, Vermont, and Washington), කොලොම්බියා දිස්ත‍්‍රික්කය සහ Northern Mariana Islands තුළ මේ වන විට ගංජා අලෙවිය සහ පරිභෝජනය සඳහා පූර්ණ නීත්‍යනුකූල අයිතිය ලබා දී ඇත. මෙම ප‍්‍රාන්ත 9 ද ඇතුළත්ව වෛද්‍යමය භාවිතයන් සඳහා ගංජා ලබාගැනීමේ අයිතිය (with a doctor’s recommendation) ප‍්‍රාන්ත 31 කට හිමි වී ඇති අතර තවත් ප‍්‍රාන්ත 16 ක් තුළ ගංජා තුළ පවතින THC අන්තර්ගතය සීමා විය යුතු බවට නීති පනවා වෛද්‍ය භාවිතයන් සඳහා නීත්‍යනුකූල කොට ඇත. එ් සමගම Idaho, Nebraska, South Dakota යන ප‍්‍රාන්ත තුළත් American Samoa සහ U.S. Virgin Islands යන ටෙරිටරි තුළත් ගංජා භාවිතය, අලෙවිය සපුරා තහනම් වේ.
ගංජා භාවිතය පිළිබඳ කතා කිරීමේදී නෙදර්ලන්තය ඉහළින්ම කියවෙන රටකි. විශේෂයෙන්ම එහි අගනුවර වන ඇමස්ටර්ඩෑම් ගංජා භාවිත කරන්නන්ගේ සුප‍්‍රසිද්ධ ගමනාන්තයකි. නමුත් එම රට තුළ ගංජා පිළිබඳ වූ නීතිය තරමක් ව්‍යාකූල වූවකි. රටෙහි නීතිරීතිවලට අනුකූලව ගංජා යනු නීතිවිරෝධී වූවක් වුවත් මීට වසර 40 කට පෙර සිට ගංජා ග‍්‍රෑම් 5 ක් දක්වා ළඟ තබාගැනීමේ අවසරය ජනතාවට ලැබී ඇත. එසේම කෝපි කඩ ආදියෙහි ගංජා භාවිතයට කිසිදු තහනමක් නැත. එම නිසා ගංජාවලින් සාදන විවිධ නිෂ්පාදන මෙම කෝපි කඩ තුළ අලෙවියට තබා තිබෙන ආකාරය දක්නට ලැබේ. නෙදර්ලන්තයෙහි ගංජා වගාව සම්පූර්ණයෙන් තහනම් නිසා මෙම කෝපි අවන්හල් තුළට ගංජා සැපයෙන්නේ නීත්‍යනුකූල ආකාරවලින් නොවන බව බොහෝ දෙනෙකු පවසති.
ස්පාඤ්ඤය තුළද ගංජා අලෙවිය නීතිගත කොට නැතත් රට පුරා මහා පරිමාණයෙන් ගංජා සමාජ ශාලා බිහිවීමත් සමග එ්වා තුළ නියමිත ප‍්‍රමාණයකට ගංජා භාවිතයට නීත්‍යනුකූල අවසරය ලබාදීමට රජයට සිදුවී ඇත.
පෘතුගාලය ගංජා භාවිතය පිළිබඳව පමණක් නොව සෙසු සියලූම මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් නිදහස් වූ නීතියක් අනුගමනය කරන ලොව පළමු රට වේ. එ් අනුව එරට සියලූම මත්ද්‍රව්‍ය සඳහා දොරටු විවර කිරීම 2001 වසරේදී සිදු කොට ඇත.
ඉන්දියාව තුළ ගංජා භාවිතය නීත්‍යනුකූල නොවූවත් එරට ඇතැම් ප‍්‍රාන්ත තුළ කිසිදු බාධාවකින් තොරව ගංජා ප‍්‍රයෝජනයට ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම හින්දු ආධ්‍යාත්මික විශ්වාසයන් තුළ සහ සාම්ප‍්‍රදායික ඖෂධ නිෂ්පාදන තුළ ගංජා අඩංගුව තිබීම නිසා එය බැහැර කිරීම කළ නොහැක්කක් වී ඇත. හින්දුන්ගේ ශුද්ධ නගර ලෙස සැලකෙන වාරාණාසි වැනි පළාත්වල ගංජා යොදා තැනූ නොයෙකුත් ආහාරපාන මිල දී ගැනීමට හැකියාව පවතී.
ලෝකයේ සෙසු රටවල් අතරින් ජෝර්ජියාව සහ දකුණු අප‍්‍රිකාව අධිකරණ තීන්දු මගින් පෞද්ගලික මට්ටමින් ගංජා වගා කිරීම සහ පෞද්ගලික පරිභෝජනය නීතිගත කොට ඇතත් අලෙවිය පූර්ණ තහනමට ලක් කොට ඇත.
ජැමෙයිකාවද අතීතයෙහි සිට සිය රස්තෆරියානු සංස්කෘතික උරුමයන් සමග ගංජා හා බැඳුණු රටකි. එහෙත් 2015 වසර වන තෙක් එරට ගංජා භාවිතය නීති විරෝධී වූවකි. නමුත් එරට නීති සම්පාදකයින් විසින් 2015 වසරේ සිට ගංජා නීතිගත කොට ඇති අතර එක් පුද්ගලයෙකුට ගංජා අවුන්ස 2 ක් ළඟ තබාගැනීමේ අවස්ථාව මෙයින් සැලසී ඇත. එසේම නිවසක් තුළ ගංජා පැළ පහක් වගා කිරීමටද අවසර ලැබී ඇත.
ඉහත සඳහන් කළ රටවල්වලට අමතරව ඕස්ටේ‍්‍රලියාව, චිලි, කොළොම්බියා, ජර්මනි, ග‍්‍රීසිය, ඊශ‍්‍රායලය, ඉතාලිය, පේරු, පෝලන්තය, ශ‍්‍රී ලංකාව වැනි රටවල් කිහිපයක් වෛද්‍යමය භාවිතයන් සඳහා ගංජා ලබාගැනීමේ අයිතිය තහවුරු කොට ඇත.

Share this Post