රටක මූලික අයිතිවාසිකම් යනු ‘එම රටෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලද එරට වැසියන් විසින් භුක්ති විඳින අයිතිවාසිකම්’ වේ. එ් අනුව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළද, වගන්ති ගණනාවකින් රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් අර්ථ දක්වා ඇත. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු, ‘රටේ පුරවැසියන් සහ රට පාලනය කරන රාජ්‍ය නායකයින් අතර ඇතිවන්නා වූ ගිවිසුම’ ලෙස සරලව අර්ථ දැක්විය හැක. එසේ නම් වර්තමානයේ ශ‍්‍රී ලංකාව තුළ සිදුවන ක‍්‍රියාකාරකම් දෙස බැලීමේදී, රටේ පුරවැසියන් හා රට පාලනය කරන රාජ්‍ය නායකයින් අතර ඇති කරගෙන ඇති එම ගිවිසුම ප‍්‍රකාරව ජනතාව වෙත ලබා දී ඇති, ජනතාව විසින් භුක්ති විඳිය යුතු එම මූලික අයිතිවාසිකම් සුරැුකෙන්නේද යන ගැටලූව මතු වේ. රටේ ජනතාව පිළිබඳව බිඳුවක හෝ තැකීමක් නොමැතිව රටේ ප‍්‍රධානම පුරවැසියාගේ සිට සියලූම දේශපාලනඥයින්ගේ සිය හිතුමතේ ක‍්‍රියා කිරීම තුළින් රට මේ වන විට පත්ව ඇත්තේ ඉතාමත් කණගාටුදායක තත්ත්වයකටය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වන බවට එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඔක්තෝබර් මස 26 වෙනි දින කතානායකවරයාට දන්වා යැවීමත් සමග රටෙහි දේශපාලන තත්ත්වය උඩුයටිකුරු වීමට පටන් ගති. එදිනම, ජනාධිපතිවරයාගේ බලතලවලට අනුව එතෙක් ශ‍්‍රී ලංකාවේ 10 වෙනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා, එම ධුරයෙන් ඉවත් කළ බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දීමට කටයුතු කොට තිබුණි. එ් සමගම එදින සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවේ 11 වන අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපිට දිවුරුම් දුණි. මේ සියල්ල එක දිගට සිදුවූ අතර එ් සමගම රටෙහි තත්ත්වය දැඩි ව්‍යාකූලත්වයකට පත් විය.
එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ තමා තවදුරටත් ශ‍්‍රී ලංකාවේ නීත්‍යනුකූල අගමැති බවයි. එම ප‍්‍රකාශයත් සමග ‘රට තුළ එකවර අගමැතිවරුන් දෙදෙනෙකු සිටින්නේ කෙසේද?’ යන ප‍්‍රශ්නය කා තුළත් ඇති විය. මෙසේ ජනාධිපතිවරයාගේ හිතුමතේට අගමැතිවරයකු පත් කිරීම ව්‍යවස්ථා විරෝධී වූවක් බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනෙකු චෝදනා නගන්නට පටන් ගති. මෙම තත්ත්වය මත අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයෙන් ඉවත්ව නොයෑමට රනිල් වික‍්‍රමසිංහ මහතා පියවර ගෙන තිබුණි.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථානුකූල වූවක් බව අනික් පාර්ශ්වය පවසා සිටි අතර ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තියේ 4 වන උප වගන්තියට අනුව එය සිදුකර ඇති බව ඔවුහු පෙන්වා දුණි. එහි සඳහන් ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් බහුතරයකගේ විශ්වාසය දිනාගන්නා, ජනාධිපතිට අභිමත මන්ත‍්‍රීවරයා අගමැති වශයෙන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ. එ් අනුව සැලකීමේදී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට අභිමත මන්ත‍්‍රීවරයා මේ වන විට අගමැති ලෙස පත් කොට අවසන්ය. දැන් ඉතිරිව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය පෙන්වීමයි.
එහෙත් එය තවමත් සිදුවී නොමැත. ඇමති මණ්ඩලය විසුරුවා හැරීමත් සමග ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව සති දෙකක කල් තබා තිබේ. දේශපාලනඥයින්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු රටේ බොහෝ දෙනෙකු, වහාම පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගෙන අගමැති පත්කිරීම නීත්‍යනුකූලව සිදුකරන ලෙස පවසද්දී එය තවදුරටත් සිදු නොකිරීම නම් සැක පහළ කරවන්නකි.
පාර්ලිමේන්තුව කල් දැමීම සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළ කරන සමාජ වෙබ් අඩවි තුළ හාස්‍ය ස්වරයෙන් වුවත් විවිධ වූ කට කතා පැතිරෙමින් පවතී. ‘මේ මන්ත‍්‍රීවරුන්ගේ ස්වර්ණමය කාලයයි’, ‘මන්ත‍්‍රීවරුන්ට පාලන මිලක් නියම කළ යුතුයි’ ආදි ලෙස එ්වායෙන් ඉඟි කරන්නේ මේ කාල සීමාව තුළ තම ගොඩ වැඩිකර ගැනීම සඳහා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් තබනු ලබන ඉහළ ලංසු පිළිබඳව විය හැකිය.
කෙසේ වුවත්, නියම අගමැති කවුද? යන ප‍්‍රශ්නාර්ථය ජනතාව වෙත ඉතුරු කර තබමින් ඔක්තෝබර් 29 වෙනිදා නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි. එහිදී අමාත්‍යවරු 14 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඉදිරියෙන් දිවුරුම් දී තිබුණි. එම අමාත්‍යවරුන් මෙසේය.

1. අගමැති මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථික කටයුතු ඇමති
2. නිමල් සිරිපාල ද සිල්වා – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
3. ආචාර්ය සරත් අමුණුගම – විදේශ කටයුතු අමාත්‍ය
4. මහින්ද සමරසිංහ – වරාය හා නාවික ඇමති
5. මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
6. රංජිත් සියඹලාපිටිය – විදුලිබල හා පුනර්ජනනී බලශක්ති අමාත්‍ය
7. ආචාර්ය විජයදාස රාජපක්ෂ – අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය
8. විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජල සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය
9. ෆයිසර් මුස්තාෆා – පළාත්, පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය
10. ඩග්ලස් දේවානන්දා – නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
11. ආරුමුගම් තොණ්ඩමන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය
12. වසන්ත සේනානායක – සංචාරක හා වනජිවි අමාත්‍යවරයායි
13. සුරේෂ් වඩුවෙල් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
14. ආනන්ද අලූත්ගමගේ මහතා – සංචාරක හා වනජිවි නියෝජ්‍ය අමාත්‍ය
15. දුනේෂ් ගන්කන්ද – මහවැලි පරිසර හා ඉඩම් රාජ්‍ය අමාත්‍ය

රටේ දේශපාලන නාටකය එසේ රඟදැක්වෙද්දී තිරයෙන් එහාද විවිධ වූ භීෂණකාරී අප‍්‍රසන්න සිදුවීම් රැුසක් සිදුවෙමින් පවතින බව දක්නට ලැබුණි. ‘මහ වුන් කා කොටා ගන්නා තැන්වල පොඩි වුන් ගොදුරු වූ’ අතීත අවස්ථා රැුසක් අපි අත්දැක ඇත්තෙමු. එහෙත් අප රටේ සාමාන්‍ය වැසියන් එ්වායින් කිසිදු විටෙක පාඩම් නම් ඉගෙන ගෙන නැත්තෝ වෙති. රූපවාහිනිය ඇතුළු රජයේ මාධ්‍ය තුළ සිදුවූවා යැයි පවසන ඇතැම් සිදුවීමුත් තෙල් සංස්ථාව අසල සිදුවූ සිදුවීමත් රටෙහි ඇතැම් තැන්වල අළු යට ගිනි මෙන් කොයි මොහොතේ හෝ පිපිරීමට මාන බලමින් තිබෙන ගිනි පුපුරුත් මේ වන විට අප තුළ ඇති කරවන්නේ මහත් භීතියකි.
අප රට දශක ගණනාවක සිට නම් හා පාට මාරු කරමින් විවිධ පක්ෂවලින් ජනාධිපතිවරු, අගමැතිවරු පත් කළ රටකි. එසේම වරෙකට සිය ගණනින් ඇමති මැතිවරු පත් කළ රටකි. එහෙත් එ් කිසිවෙකුගෙන් මහජනතාවට සිදුවූ අවංක සේවාවක් ඇද්ද? මහජන මුදල් ගසා කමින්, දූෂණ, වංචා සිදුකරමින්, රටම උගස් කරමින් යහතින් වැජඹුණු මේ මැති ඇමතිවරුන් මේ මොහොතේද සිදුකරන්නේ රටේ ජනතාව තව තවත් විනාශය කරා ළං කරවීමයි. දෙපැත්තේම සිටින පිරිස මේ වන විට විද්‍යුත් හා සමාජ ජාල ඔස්සේ හඬ නගමින් පවසන්නේ ‘අසවල් දවසේ අසවල් පුද්ගලයින්ට විරෝධය දැක්වීම සඳහා කොළඹට එක් වන’ ලෙසයි. අවංකව සිතා බැලූවහොත් සිහිබුද්ධිය ඇති එක් අයෙකු වත් මේ ඉල්ලීම් පිළිගත යුතුද? මෙම ඉල්ලීම්වලට කන් දී මේ විකාර විරෝධතාවලට සහභාගි වීමෙන් යම් විපතක් සිදුවුව හොත් තමන්ගෙන් යැපෙන්නන්ගේ අනාගතයට කුමක් සිදුවේද?
ඔවුන් දෙපසකට බෙදී ඔබවද හවුල්කරුවන් කරගෙන මේ කුළල් කා ගන්නේ අපගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර, රට ආරක්ෂා කිරීමට යැයි ඔබ මොහොතකටවත් සිතන්නේ නම් එය තරම් මුළාවක් තවත් නොමැති බව මේ මොහොතේදී අපි ඔබට ආදරයෙන් සිහිපත් කරමු.

 

Share this Post