සලාද සඳහා යොදාගන්නා කොළ වර්ග අතරින් සුලභවම ආහාරයට ගනු ලබන Romaine lettuce නම් සලාද කොළ වර්ගය මගින් E.coli O157 නම් බැක්ටීරියා ආසාදනය හටගත හැකි බව කැනේඩියානු ආහාර පරීක්ෂක එ්ජන්සියත් (CFIA) කැනඩා මහජන සෞඛ්‍ය කාර්යාංශයත් (PHAC) අනතුරු අඟවා සිටී.
පසුගිය නොවැම්බර් 23 වන සිකුරාදා සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ සතියක කාලයක් තුළ ඊ-කොලි බැක්ටීරියාවට ගොදුරු වූවන් විසි දෙදෙනෙකු (22) කැනඩාවෙහි පළාත් කීපයකින් සොයාගෙන ඇති බවයි. එම රෝගීන් අතරින් 4 ක් ඔන්ටේරියෝවෙන්ද 17 ක් කුබෙක් පළාතෙන්ද එක් අයෙකු නිව්බ‍්‍රවුන්ස්වික් පළාතෙන්ද වාර්තා වී තිබුණි.

මෙහිදී මෙම රෝගීන් පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ Romaine lettuce නම් සලාද කොළ වර්ගය ආහාරයට ගැනීමෙන් පසු ඔවුන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බවයි. එහෙත් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කැනේඩියානු සෞඛ්‍ය අංශ පවසන්නේ පරීක්ෂාවට ලක් කළ රොමේන් සලාද කොළවල ඊ-කොලි බැක්ටීරියාව ඇති බවට සාධක නොතිබුණු බවයි.
මේ වන විට එක්සත් ජනපදය තුළද මෙම රෝගයට ගොදුරු වූවන් 30 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම රෝගීන්ද පවසා ඇත්තේ මෙම සලාද වර්ගය ආහාරයට ගැනීමෙන් පසු රෝගී වූ බවයි. මේ පිළිබඳව අදහස් දක්වන එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) පවසන්නේ මෙම සැක සහිත Romaine lettuce වර්ගය කැලිෆෝනියාවෙන් පැමිණ ඇති බවයි.

කැනේඩියානු ආහාර පරීක්ෂණ එ්ජන්සිය මෙම සලාද වර්ගය කැනඩාවේ වෙළඳපොළෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම (recall)   සඳහා වූ නිල නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති වුවත් Romaine lettuce ආහාරයට නොගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත. විශේෂයෙන්ම ඊ-කොලි බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් හමු වූ ඔන්ටේරියෝ, කුබෙක් සහ නිව්බ‍්‍රවුන්ස්වික් යන පළාත් වාසීන් මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් යම් හෙයකින් ඉහත සලාද වර්ගය නිවෙස්වලට ගෙන ගොස් ඇත්නම් වහාම එ්වා විනාශ කොට එම සලාද ගබඩා කර තැබූ ශීතකරන, බහාලූම් සහ රාක්ක ආදිය විෂබීජහරණය (sterilize) කරන ලෙසත් දන්වා ඇත.

E.coli බැක්ටීරියා වර්ග කිහිපයක්ම පවතින අතර මේවා බොහොමයක් හානිකර නොමැත. නමුත් මෙවර කැනඩාවේ සහ ඇමරිකාවෙන් වාර්තා වී ඇති ඊ-කොලි 0157 නම් බැක්ටීරියාව නිසා දරුණු ආසාදන ඇතිවිය හැකි බව සඳහන් වේ. එහිදී පෙන්වන ප‍්‍රධාන රෝග ලක්ෂණ අතර පාචනය (බොහෝ විට ලේ සමග), දරුණු ලෙස බඩ රිදීම සහ වමනය පවතී. එ් සමගම උණ, සුදුමැලි වීම, නාසයෙන් සහ මුඛයෙන් ලේ ගැලීම, තෙහෙට්ටු ගතිය වැනි රෝග ලක්ෂණ ගණනාවක් හට ගත හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

Share this Post