පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි.

2021 අප්‍රේල් මාසයේදී GTA කලාපයේ නිවාස 13,663 ක් අලෙවි වී ඇති අතර 2020 අප්‍රේල් මාසයේදී  අලෙවි වී ඇති නිවාස සංඛ්‍යාව 2,957 ක් විය. මෙම වසර දෙක සංසන්දනය කිරීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේ නිවාස අලෙවිය පෙර වසරට වඩා 362% ක වැඩි වීමක් පෙන්නුම් කර ඇත. එම මාසය පුරා කොවිඩ්-19 වසංගතය හමුවේ විවිධ සීමා කිරීම්වලට මෙම කලාපය ලක් වූ අතර එවැනි තත්ත්වයක් යටතේ නිවාස වෙළඳපොළ තුළ මෙතරම් සාර්ථක වීම විශේෂයෙන්ම සඳහන් කළ යුත්තක් බව එහ මණ්ඩලය පවසා සිටී. නමුත් මේ වන විට එම තත්ත්වය තරමක් මන්දගාමී වෙමින් පවතින බව නිවාස අලෙවිය පිළිබඳ දැක්වෙන දත්ත වාර්තා පෙන්නුම් කර ඇත.

ටොරොන්ටෝ ඇතුළු ප්‍රධාන නගරවල නිවාස විකුණුම්වල දක්නට ලැබෙන අසාමාන්‍ය සුවිශේෂී මිල වර්ධනය ඇතැම් විට මෙම මන්දගාමීත්වයට හේතුවක් විය හැකි බවට දේපළ වෙළඳාම් අංශ සැක පළ කරයි. Condo නිවාස ඇතුළු සියලුම වර්ගවල නිවාස විකුණුම් මිල සියයට 33 කින් මේ වන විට ඉහළ ගොස් ඇත.

මෙම වසරේ මුල සිට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දැඩි තරගකාරී ස්වභාවයක් පෙන්නුම් කළ අතර නිවාසයේ ස්වභාවය කුමක් වුවත් අවසන එහි මිල නියම වූයේ දැඩි ලංසු යුද්ධයකින් පසුවය. එක් නිවසකට ඉල්ලුම් කරුවන් රැසකගෙන් පවතින ඉල්ලුම නිසා වටිනාකමක් ඇතත් නැතත් මිල ගණන් ඉහළ යෑම සිදුවීම වැළැක්විය නොහැකි මට්ටමට පැමිණ ඇත. නිවසක් මිල දී ගැනීමේ මෙම සටනට මැදි විය නොහැකි එහෙත් නිවසක් මිල දී ගත යුතු බොහෝ පිරිසක් මේ වන විට පසුබාන තත්ත්වයකට පත්ව සිටී. විශේෂයෙන්ම පළමු වතාවට නිවසක් මිල දී ගැනීමට සූදානම් වන (1st time home buyers) පිරිසට මෙම තත්ත්වය ඉතාමත් අයහපත් බලපෑම් එල්ල කර ඇත. මෙය තවදුරටත් වර්ධනය වුවහොත් GTA කලාපය තුළ නිවසක් මිල දී ගැනීම බොහෝ දෙනෙකුට හීනයක් පමණක් විය හැකි බවටත් විවිධ පිරිස් අදහස් පළ කරයි.

කොවිඩ්-19 සීමාවන් මධ්‍යයේ වුවත් මෙතරම් නිවාස ගැනුම් කරුවන් පිරිසක් ඇති වීමට මේ වන විට පවතින අඩු පොලී අනුපාතය ප්‍රධාන සාධකය වී ඇත. මේ මොහොතේ නිවසක් මිල දී ගන්නා සියලුම දෙනාට තම නිවාස උගස්කරය අඩු පොලියකින් යුතුව ලබාගත හැකි වීම විශාල වාසියක් වී ඇත.

මේ වන විට නිවාස අලෙවිය පසුගිය මාර්තු මාසයට වඩා සියයට 8.4 ක පමණ පහත පසුබෑමක් පෙන්නුම් කර ඇතත් නිවාස මිල ගණන්වල අඩුවක් දක්නට නොලැබේ. නිවාස විකුණුම් සඳහා ලැයිස්තුගත කරන බොහෝ දෙනෙකු තම දේපළවල මිල ගණන් අඩු කිරීමට කැමති නොවීමද මීට ප්‍රධාන හේතුවක් වී ඇත. වසරේ මුල තිබූ උණුසුම්කාරී මත තවදුරටත් ඉහළ මිල ගණන් ලබාගැනීමට ඔවුහු බලාපොරොත්තු වෙති.

කෙසේ වුවත් GTA කලාපය තුළ පවතින ජනගහන වර්ධන වේගයත් ඉල්ලුමට සෑහෙන ප්‍රමාණයට නිවාස වෙළඳපොළට නොපැමිණීමත් යන හේතු මත ඉදිරියේදී නිවාස මිල ගණන් තවත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව Toronto regional real estate board හි ප්‍රධාන වෙළඳපොළ විශ්ලේෂක  Jason Mercer පවසයි.

Share this Post