එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයට පැමිණීමට ඇත්තේ තව සති කිහිපයක් පමණි. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම විශ්මයජනක දේශපාලන පුනරාගමනයකට හිමිකම් කියමින්, 2025 ජනවාරි 20 වන දින ඔහු එරට ජනාධිපති ලෙස දෙවන ධූර කාලය අරඹනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ලෝක දේශපාලන වේදිකාව මත මෙන්ම විශේෂයෙන්ම ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ කැනේඩියානු දේශපාලනය මත මේ වන විට දැඩි මතභේදාත්මක තත්ත්වයන් ඇති කිරීමට සමත් වී ඇත. ට්‍රම්ප් විසින් කැනඩාව ඉලක්ක කොට සිදුකරන උසුළු විසුළු සහ තර්ජනයන් මේ දිනවල කැනඩාවට අඩුවක් නොමැති අතර, කැනඩාව ට්‍රම්ප්ගේ ප්‍රියතම punching බෑගය බවට පත්ව ඇත.
ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරේදී මෙන්ම ජයග්‍රහණය කළ පසුත් ඇමරිකාවේ ‘51 වන ප්‍රාන්තය’ බවට කැනඩාව පත් කිරීම හොඳ අදහසක් බව පවසමින් ඔහු එයින් උපහාසාත්මක වින්දනයක් ලබමින් සිටී.
දෙසැම්බර් 18 වෙනි දින Truth Social හි ඔහු සටහන් කර තිබුණේ, “අපි කැනඩාවට වසරකට ඩොලර් 100,000,000 කට වැඩි සහනාධාර ලබා දීම ගැන කිසිවෙකු ළඟ උත්තරයක් නෑ. එය කිසිම තේරුමක් නැති දෙයක්” බවයි. එසේම ඔහු පවසන ආකාරයට, බොහෝ කැනේඩියානුවෝ කැනඩාව, එක්සත් ජනපදයේ 51 වන රාජ්‍යය වනු දැකීමට කැමැත්තෙන් පසුවෙති. එසේ වුවහොත් කැනේඩියානුවන්ට බදු සහ හමුදා ආරක්ෂාව සඳහා වැය වන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි වන නිසා මෙම යෝජනාව ඉතා හොඳ බව, එක්සත් ජනපද අනාගත ජනාධිපතිවරයා පවසයි.
කැනඩාවට මේ වන විට එක්සත් ජනපදය සමග ගනුදෙනු කිරීමට සිදුව ඇත්තේ ‘කපන්න බැරි අත සිඹිනවා’ සේය. පසුගිය නොවැම්බරයේ ට්‍රම්ප් ජනාධිපති ලෙස තේරී පත්වනවාත් සමගම රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සහ ට්‍රම්ප්ගේ කිට්ටුවන්ත දේශපාලන සගයින් සඳහා පැවැත්වූ ප්‍රිය සම්භාෂණයට ජස්ටින් ටෲඩෝ අගමැතිවරයාද සහභාගි වී තිබුණි. ෆ්ලෝරිඩාවේ West Palm Beach හි ට්‍රම්ප්ට අයත් Mar-a-Lago වතු යායේ පැවති මෙම සාදය අතරතුරද ‘51 වෙනි ප්‍රාන්ත’ කතාව ට්‍රම්ප් විසින් ටෲඩෝ වෙත පවසා ඇති අතර එවිට අවට සිටි පිරිස් මහ හඬින් සිනා සී ඇත. එහිදී ට්‍රම්ප් පවසා ඇත්තේ යෝජිත තීරුබදුවලින් කැනඩාවට නොනැසී පැවතීමට අවශ්‍ය නම් ඇමරිකාවේ 51 වන ප්‍රාන්තය බවට පත්විය යුතු බවයි.
එම අවස්ථාවට සහභාගි වූ ෆෙඩරල් මුදල් ඇමති Dominic Leblanc දෙසැම්බර් මාසය මුලදී වාර්තාකරුවන්ට පවසා තිබුණේ, “ජනාධිපතිවරයා විහිළු කතා කියමින් අපට උසුළු විසුළු කරමින් සිටියේ. ඇත්තවශයෙන්ම එය කිසිසේත්ම බැරෑරුම් අදහස් දැක්වීමක් නොවේ” යනුවෙනි.
නමුත් කැනඩාවේ ප්‍රාන්ත ප්‍රිමියර්වරුන් ඇතුළු බොහෝ දෙනෙකුට 51 වෙනි ප්‍රාන්ත කතාව විහිළුවක් ලෙස නොසලකති. ස්වෛරී රාජ්‍යය යාන්ත්‍රනයක් හිමි කැනඩාව වැනි රටකට මෙවැනි කතා පැවසීම එක්සත් ජනපද ජනාධිපති ලෙස පත්වීමට සිටින කෙනෙකුට නොතරම් කටයුත්තක් බව ඔවුහු පවසති. මේ පිළිබඳව අදහස් දක්වන ඔන්ටේරියෝ ප්‍රිමියර් ඩග් ෆෝඩ් පවසා ඇත්තේ, “අපි කවදාවත් 51 වෙනි ප්‍රාන්තය වන්නේ නෑ. අපේ රට කැනඩාව. කැනේඩියානුවන් වීම ගැන අපි ආඩම්බර වෙමු. අපි හැම විටම ඒ සඳහා සටන් කරන්නෙමු” ලෙසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ූQuebec හි premier, Jean Charest ගේ අදහස වී ඇත්තේ ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය අවදි කිරීමේ ඇමතුමක් ලෙසයි. “සෑම කැනේඩියානුවකුම මෙරට අගමැති හෝ දේශපාලන තත්ත්වයන් පිළිබඳ ඔවුන්ගේ මතය කුමක් වුවත් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ගැන අප්‍රසාදය පළ කළ යුතුයි ” යනුවෙන් Charest තම X ගිණුමෙහි සටහන් කර ඇත. බොහෝ කලෙක සිට එක්සත් ජනපදය සහ අනෙකුත් ලෝකය සමග අප විසින් පවත්වාගෙන එන සම්බන්ධතා ගැන සෑහීමකට පත් වී සිටින බවත් කැනඩාවේ අනාගතය හැඩගස්වා ගැනීම සඳහා මෙම අවස්ථාවේදී හැමෝම එක්ව සිටිය යුතු බවත් ඔහු පවසයි.
ට්‍රම්ප්ගේ මෙවැනි කතාවල සීමාවක් නොමැති අතර, ඔහු පසුගිය දා ටෲඩෝ අගමැතිවරයා හඳුන්වා ඇත්තේ, ‘ඇමරිකාවේ මහා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජස්ටින් ටෲඩෝ’ ලෙසයි.
ට්‍රම්ප්ගේ මෙම නවතම සමාජ මාධ්‍ය ප්‍රකාශයන්, කැනඩාව-එක්සත් ජනපද අතර සබඳතා ආර්ථික, දේශපාලන සහ දේශසීමා යන සෑම අතකින්ම තීරණාත්මක අවස්ථාවක පවතිද්දී පැමිණෙමින් ඇත.
ට්‍රම්ප්ගේ 25% තීරුබද්ද
නොවැම්බර් අග පැවති එක්සත් ජනපද මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ට්‍රම්ප්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබද්දක් පැනවීමට සැලසුම් කර ඇතැයි මේ වන විට නිවේදනය කොට ඇත. දේශසීමා පාලනය සහ එක්සත් ජනපදයට පැමිණෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සීමා කිරීම සිදු නොකිරීම යන පදනම මත
පිහිටා මේ දෙරට සඳහා මෙම බද්ද පැනවීමට ඔහු අදහස් කරයි. එය සිදුවුවහොත් කැනේඩියානු දේශපාලනය තුළ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රය තුළද එක සේ කැළඹීමක් ඇති කෙරෙනු ඇත.
ට්‍රම්ප්ගේ Mar-a-Lago හි පැවති සාදයේදී ටෲඩෝ සහ ඊට සහභාගි වූ සෙසු කැනේඩියානු දේශපාලනඥයින් ට්‍රම්ප් සහ ඔහුගේ අනාගත කැබිනට් මණ්ඩලයට නම් කර සිටින දේශපාලනඥයින් සමග දැනට මතුව ඇති මතභේදාත්මක ගැටලු ගැන කතා කර ඇත. එහිදී දෙරට අතර වෙළඳාම සහ කැනේඩියානු ආනයන සඳහා සියයට 25 ක තීරුබදු ගැසීම, දේශසීමා ආරක්ෂාව, නීති විරෝධී මත්ද්‍රව්‍ය, නේටෝ ගැටලු, යුක්රේනයේ යුද්ධය, තෙල් නල මාර්ග සහ එළඹෙන G-7 සමුළුව පිළිබඳවද සාකච්ඡා වී ඇත. ට්‍රම්ප්ගේ නහයට නොඅහන ආඩම්බර හැසිරීම තුළ එම සාකච්ඡාවලදී තීරු බදු වළක්වා ගැනීමට ගත හැකි පියවරක් නොමැති බව තේරුම් ගිය නමුත්, ටෲඩෝ මාධ්‍ය වෙත ශුභවාදීව අදහස් දක්වමින් පවසා තිබුණේ, ‘අපට නැවතත් එකට සිට කළ හැකි කාර්යයන් දෙස තවදුරටත් ඉවසීමෙන් බලා සිටිමු’ යනුවෙනි. Truth Social සටහනෙහි ට්‍රම්ප් 51 වෙනි ප්‍රාන්ත කතාවත් සමග පැවසූ එක්සත් ජනපදය කැනේඩියානු ආර්ථිකයට ‘වසරකට ඩොලර් බිලියන 100 කට වඩා’ සහනාධාර ලබාදෙන බවට වන ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට ප්‍රශ්න කරමින් සිටී. (මෙය ඇතැම් තැන්වල මිලියන 100 ක් ලෙස සටහන් කර ඇත.) ට්‍රම්ප් එම සංඛ්‍යාව සමග හරියටම සඳහන් කරන්නේ කුමක්දැයි නිශ්චිතවම පැහැදිලි නැතත්, ඇතැම් විට එය කැනඩාව විසින් එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩවලින් කැනඩාව ඉහළ ආදායමක් ලබා ඇති බව පෙන්වීම විය හැක. මෙම අපනයනයන් ක්‍රමයෙන් වර්ධනය වී 2022 වන විට ඩොලර් බිලියන 80 ක් දක්වා එය වර්ධනය වී ඇත. තවත් ආකාරයකට පැවසුවහොත් සෑම වසරකම රටවල් දෙක අතර වන වෙළඳ ගණුදෙණුවලදී බිලියන සිය ගණනක භාණ්ඩවලින් බහුතරයක් කැනඩාවේ සිට එක්සත් ජනපදයට අපනයනය කරයි. එක්සත් ජනපදයේ මේ මිල දී ගැනීම් කවදත් ට්‍රම්ප්ගේ ඇස්වලට කටු අනින සිදුවීම් විය. ඔහුගේ පළමු ධූර කාලය තුළත්, මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලත්, කොටින්ම ඔහුගේ සමස්ත දේශපාලන ජීවිතය පුරාමත් කැනඩාව වෙත එල්ල කරන නිරන්තර පැමිණිල්ලක් බවට මෙය පත්ව තිබේ.
2018 දී කැනඩා-එක්සත් ජනපද-මෙක්සිකෝ ගිවිසුමේ (CUSMA) සාකච්ඡා අතර “මෙය සාධාරණ වෙළඳාම ලෙස නොව, මෝඩ වෙළඳාම ලෙස හැඳින්විය යුතුයි” යනුවෙන් ට්‍රම්ප් පවසා තිබුණි. මෙවැනිම ප්‍රකාශයක් මෙක්සිකෝව වෙතද සිදුකර ඇති ට්‍රම්ප් එහිදී පවසා ඇත්තේ, එක්සත් ජනපදය විසින් මෙක්සිකෝවට ලබා දෙන ‘සහනාධාරය’ ඇමරිකානු ඩොලර් බිලියන 300 කට ආසන්න බවයි. සාමාන්‍යයෙන් මෙක්සිකෝව සහ එක්සත් ජනපදය අතර වෙළඳ ඉපයීම කැනඩාවට වඩා වැඩි වන අතර 2023 දී එය බිලියන 152 ක් විය.
කැනඩාවේ නව මුදල් අමාත්‍යය Dominic LeBlanc, ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජනය ගැන පවසන්නේ, කැනඩාවට එය ඔරොත්තු දිය හැක්කක් බව ඔහු විශ්වාස කරන බවයි. එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් යෝජනා කරන බදු ගාස්තු කැනේඩියානු ආර්ථිකයට බලපෑම් එල්ල කරන අවස්ථාවක කැනඩා රජය විසින් ගෘහස්ථ ජනතාවට සහ ව්‍යාපාරිකයින්ට උපකාර කිරීම සඳහා ආර්ථික සම්පත් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වූවක් බව ඔහු පෙන්වා දෙයි. මෙම තත්ත්වය මත, කැනඩාව තවදුරටත් දේශීය ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා මනා සැලසුම් සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි. වෙනත් රටක පවතින රජයක් ගනු ලබන තීරණයකින් කැනඩාවේ ආර්ථිකයට සදාකාලික කැළලක් වීමට කිසිදු වගකිව යුතු රජයක් ඉඩ නොදෙනු ඇතැයි ඔහු පවසයි.
තීරුබදු වැඩිවීමේ ප්‍රවෘත්තිය ප්‍රථමයෙන්ම මතුවීමෙන් පසු ඔන්ටේරියෝ ප්‍රිමියර් ඩග් ෆෝඩ් පැවසූවේ, එය පවුලේ සාමාජිකයෙකු ඔබේ හදවතට පිහියෙන් ඇනීමක් වැනි සිදුවීමක් බවයි. ට්‍රම්ප් පවසන ආකාරයට තීරුබදු බලාත්මක වුවහොත් නිව්යෝර්ක්, මිචිගන් සහ මිනසෝටා හි මිලියන ගණනක් නිවාසවලට ඔන්ටේරියෝවෙන් සැපයෙන විදුලිය කපා හැරීමට සූදානම් බවට වූ ඉඟියක්ද පසුගියදා CNN හා තිබුණු සාකච්ඡාවකදී ෆෝඩ් පවසා තිබුණි. එහිදී ඔහු පැවසූවේ, එවැනි දෙයක් වුවහොත් මෙවලම් පෙට්ටියේ ඇති සෑම මෙවලමක්ම පැකිළීමකින් තොරව භාවිත කරන බවයි. තවද ඔන්ටේරියෝ LCBO විසින් ඇමරිකානු නිෂ්පාදිත මධ්‍යසාර මිල දී ගැනීම සීමා කරන බවටත් අත්‍යවශ්‍ය වූ ඛනිජ අපනයනය නතර කරන බවටත් පළාත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් එක්සත් ජනපදය කපා හරින බවටත් ඩග් ෆෝඩ් පවසා ඇත. නමුත් ඇතැම් අය පවසන්නේ ට්‍රම්ප් වැන්නෙකු සමග එවැනි කේවල් කතා ඉතාමත් බොළඳ හා ළාමක බවයි.
එක්සත් ජනපදය විසින් කැනඩාව වෙත පැටවීමට සූදානම් වන වාණිජ හිරකිරීම් ගැන වැඩිදුරටත් CNN වෙත අදහස් දැක්වූ ඩග් ෆෝඩ් ප්‍රිමියර්වරයා පවසා තිබුණේ, කැනඩාව සහ එක්සත් ජනපදය හානිදායක වෙළඳ යුද්ධයක නියැලීමට වඩා චීනයට එරෙහිව කටයුතු කිරීමට එක්ව ක්‍රියා කළ යුතු බවයි. කැනඩා-එක්සත් ජනපද වෙළඳ යුද්ධයකදී ජය ගන්නා එකම රට චීනය බවත් එතැනදී ඇමරිකානුවන් සහ කැනේඩියානුවන් පරදින බවත් ඩග් ෆෝඩ්ගේ අදහසයි. ලාභ චීන නිෂ්පාදන ‘made-in-Mexico’ ස්ටිකරය සහිතව එක්සත් ජනපදය සහ කැනඩාව වෙත එවීමෙන් මෙක්සිකෝවද, මෙයට වගකීමට බැඳී සිටින බව ෆෝඩ් පවසයි. මෙහිදී බීජිංද, වොෂින්ටනයද කියා මෙක්සිකෝව ඍජු තීරණයක් ගෙන එක් පැත්තක් තෝරා ගත යුතු බවත් කැනේඩියානුවන් සෑම විටෙකම වොෂින්ටනය සමග සිටින බවත් ෆෝඩ් එහිදී CNN වෙත කියා තිබුණි.
තීරුබදු සම්බන්ධ තීරණ ගැනීම සම්බන්ධයෙන් ට්‍රම්ප් කවදත් ප්‍රසිද්ධ චරිතයකි. ඔහුගේ පළමු ධුර කාලයේදී උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම (NAFTA) නැවත සාකච්ඡා කර එය කැනඩා-එක්සත් ජනපද-මෙක්සිකෝ නිදහස් වෙළඳ ගිවිසුම(CUSMA) ලෙස ප්‍රතිස්ථාපනය කර තිබුණේද තීරුබදු පිළිබඳ නව නියමයන් සහ කොන්දේසි නැවත සාකච්ඡා කරමිනි.
එක්සත් ජනපදය මෙතරම් කෙණහිලිකම් කරද්දීත් ස්වාධීන රටක් වන කැනඩාවට ඉවසාගෙන බලා සිටීමට සිදුව ඇත්තේ ඇයි? එයට කිසිදු සැකයකින් තොරව දිය හැකි පිළිතුර වන්නේ, එක්සත් ජනපදය කැනඩාවේ විශාලතම වෙළඳ සහකරු එසේත් නොමැති නම් ගැනුම්කරුවා බවයි. කැනඩාවේ අපනයන වලින් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපදය විසින් මිල දී ගනු ලබන අතර එය අනෙක් ප්‍රධාන ගැනුම්කරුවන් 10 දෙනාම එකට එකතු කර බැලූවත් ළං විය නොහැකි තරම් ඉහළ අගයකි. ඒ අනුව කැනඩාව සම්පූර්ණයෙන්ම පාහේ එක්සත් ජනපද වෙළඳාම මත දැඩි සේ රඳා පැවතීම නිසා ඔවුන් නොතකා කටයුතු කිරීමට හයියක් මෙරටට නොමැත. එසේ වුවහොත් කැනඩාවට පවතින ආර්ථික අවදානම මැනීමට පවා නොහැක්කකි. මෙම තත්ත්වය මඟහරවා ගැනීමට නම් කැනඩාව නැගී එන ආර්ථිකයන් සමග ශක්තිමත් සබඳතා ඇතිකර ගනිමින් විකල්ප වෙළඳපොළවල් වෙත අපනයනය පුළුල් කිරීම කළ යුතුව ඇත. එතුළින් කිසියම් දිනකදී හෝ එක්සත් ජනපදය සමග කේවල් කිරීමේ තත්ත්වය ශක්තිමත් කර ගැනීමට කටයුතු කළ යුතුව ඇත. නමුත් එසේ වෙළඳ හවුල්කරුවන් විවිධාංගීකරණය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එය සැලකිය යුතු කාලයක් ගතවන ක්‍රමානුකූළ වූ ක්‍රියාවලියකි.
ඒ නිසා දැනට වඩාත් ප්‍රායෝගික ප්‍රවේශය වන්නේ තීරුබදු වළක්වා ගැනීම හෝ අවම කරගැනීම සඳහා එක්සත් ජනපදය හා සාකච්ඡා කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමයි. සියයට 25 ක තීරු බදු වැඩිවීමක් සිදුවුවහොත් කැනේඩියානු අපනයන ඇමරිකාව තුළදී අධික ලෙස මිල වැඩි වනු ඇත. එනිසා කැනඩාවෙන් අත්‍යවශ්‍යම වූ දේවල් පමණක් මිල දී ගැනීමට එක්සත් ජනපද ව්‍යාපාරිකයින්ට සිදුවනු ඇත. එය කැනේඩියානු ආර්ථිකයට හානි සිදුකළ හැකිවාක් මෙන්ම ඇමරිකානු ව්‍යාපාරවලටද හානියක් ගෙන දිය හැකි දෙයකි.
ට්‍රම්ප්ගේ සියයට 25 ක තීරුබද්ද පිළිබඳව මේ වන විට ඇමරිකානුවන්ද වික්ෂිප්ත වී ඇති අතර එම බද්ද ක්‍රියාත්මක කිරීමට පෙර මෝටර් රථ, විවිධ උපකරණ හා අනෙකුත් ආනයනික භාණ්ඩ මිල දී ගැනීමට ඔවුන් මේ වන විට පොර බදිමින් සිටී. එරට ආර්ථික විශේෂඥයින් පවසන ආකාරයට ට්‍රම්ප් පොරොන්දු දෙන පරිදි බදු වැඩි කළහොත් එක්සත් ජනපදය තුළ ආහාර, මෝටර් රථ, පරිගණක සහ ගෑස් ඇතුළු සෑම ආනයන වර්ගයකම මිල ඉහළ දැමීමට සිදුවන බවයි. එක්සත් ජනපදයේ විශාලතම වෙළඳ හවුල්කරුවන් තිදෙනා වන කැනඩාව, මෙක්සිකෝව සහ චීනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන බව පවසන ට්‍රම්ප්ගේ සැලසුම් ප්‍රතිපත්ති නිසා ඔහුගේම රටේ ජනතාවද පීඩාවට පත්වනු ඇත. ඔහු දැනට පවසන පරිදි සියලුම චීන ආනයන සඳහා සියයට 60 තීරු බද්දක්ද මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ගෙන එන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරු බද්දක්ද අයකරනු ඇත
.මෙම රටවල් තුනෙන් ගෙන්වන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමේ සැලැස්ම පිළිබඳව මත විමසුමක් පසුගියදා Quinnipiac විශ්ව විද්‍යාලය විසින් සිදුකර තිබුණි. එයට ප්‍රතිචාර දැක්වූවන් අතරින් සියයට 51 ක් මෙම බද්ද පැනවීමට විරුද්ධ වී ඇති අතර ඉතිරි සියයට 38 එය සුදුසු ක්‍රියාවක් බව පවසමින් සමීක්ෂණයට එක් වී ඇත. මෙහිදී ට්‍රම්ප් බලයට ගෙන ඒමට කටයුතු කළ රිපබ්ලිකානුවන් බහුතරයක් මෙම තීරුබදු පැනවීමේ සැලැස්මට විරෝධය පළ කොට තිබුණි.
කෙසේ වෙතත් ජනාධිපති ලෙස දිවුරුම් දීමටත් පෙර සිට ට්‍රම්ප් මෙසේ උතුරු ඇමරිකානු කලාපය තුළ පමණක් නොව, ලෝකයේම දැඩි කතාබහට ලක් වන මාතෘකා මවමින් සිටී.