සංක්‍රමණ කටයුතු සහ සරණාගත අමාත්‍ය Marc Miller, 2024 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍ර සියයට 35 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත් සමග, කැනඩාවේ සරණාගතභාවය සඳහා අයදුම් කරන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමේ ‘භයානක ප්‍රවණතාවක්’ ඉස්මතු වී ඇත. මේ පිළිබඳව ආගමන සරණාගත හා පුරවැසි කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ (IRCC) සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ, 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා සිසුන් 11,630 ක් සරණාගතයින් ලෙස කැනඩාවේ රැඳී සිටීමට ඉල්ලුම් කර ඇති බවයි. කැනඩාව විසින්, 2018-2024 දක්වා අනුමත අධ්‍යයන බලපත්‍ර 1,747,940 ක් නිකුත් කර ඇති අතර එම කාල සීමාව තුළ සිසුන් 33,985 ක් පමණක් සරණාගතභාවය අයදුම් කර ඇතැයි සඳහන් වේ. නමුත් 2024 වසරේ මාස 08 ක් වැනි කාලයකදී, සිසුන් එකොළොස් දහස් ගණනක් සරණාගතයින් ලෙස ඉල්ලීම් කිරීමෙන් මෙම ප්‍රවණතාව කෙතරම් ඉහළ ගොස් ඇත්දැයි පෙනේ.
කැනඩාවේ ශිෂ්‍ය වීසා බඳවා ගැනීම් පිළිබඳව නිවේදනය කරමින් පසුගිය වසරේ පෙබරවාරියේදී මිලර්, ඇතැම් විද්‍යාලවලට චෝදනා නගා තිබුණි. ඔහු පවසා තිබුණේ, අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදක්වන සුදුසුකම් නොමැති පුද්ගලයන් මෙහි ගෙන්වා ගැනීමට ඇතැම් විද්‍යාල අනුබල දෙන බවයි. එසේ එන පිරිසගේ මූලික අරමුණ මෙහි ස්ථිර පදිංචිය ලබා ගැනීම විනා, අධ්‍යාපනය ලැබීම නොවන බව ඔහු පෙන්වා දේ. එහිදී ඔහු පවසා තිබුණේ, පසුගිය වසර තුන තුළ ඔන්ටේරියෝවට පැමිණි සිසුන්ගෙන් පමණක් සරණාගත ඉල්ලීම් 10,000 කට වඩා තිබුණු බවයි. මානව අයිතිවාසිකම් කඩ වීමේදී සරණාගතභාවය ඉල්ලීමේ අවශ්‍යතාව ගැන මිනිසුන්ට චෝදනා කළ නොහැකි වූවත්, යම් අයෙකු අධ්‍යාපනයට දුර්වල වීමේ ප්‍රතිඵලයක් ලෙස සරණාගතභාවය ඉල්ලීම පිළිගත නොහැකි බව මිලර් අමාත්‍යවරයා අවධාරණය කරයි.
මේ වන විට කැනඩාවේ ඉහළම සරණාගත ඉල්ලීම් ප්‍රමාණය, Conestoga සහ Seneca යන විද්‍යාලවලට පැමිණි සිසුන් අතරින් ලැබී ඇති බව IRCC පවසයි. ෆෙඩරල් වාර්තාවලට අනුව 2024 දී Conestoga College of Kitchener හි විදේශීය සිසුන් 40,565 ක් අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර, මෙය කැනඩාවේ විදේශ සිසුන් වැඩියෙන්ම සිටින ආයතනය ලෙස වාර්තාවල සඳහන් වේ. 2024 වසරේ ටොරොන්ටෝ Seneca College හි විදේශීය සිසුන් 23,530 ක් ඉගෙනුම ලබමින් සිට ඇත.
පසුගිය දා සංක්‍රමණික හා ආගමන දෙපාර්තමේන්තුව විසින් Senate national මූල්‍ය කමිටුවට ඉදිරිපත් කරන ලද සරණාගතයින් පිළිබඳව වාර්තාවෙහි, මෙසේ සඳහන් වේ. ‘ඇතැම් තාවකාලික පදිංචිකරුවන්, සංචාර සඳහා පැමිණෙන්නන්, සිසුන් හෝ රැකියා බලපත්‍ර මත කැනඩාවට පැමිණ සිටින පුද්ගලයන්, ඔවුන්ගේ උපන් රටෙහි කුමන හෝ තත්ත්වයක් නිසා සරණාගතභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීමට පෙළඹෙති. නමුත් එම සියලුම සරණාගත ඉල්ලීම් වංචනික යැයි නොකියන නමුත් බොහෝ ඒවා පිළිගත නොහැකි බව සඳහන් කළ යුතුයි’
මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ විදෙස් සිසුන් පවසා ඇත්තේ, කැනඩාවට පැමිණීමේදී ගේ දොර පවා උගස් තබා මුදල් ගෙන ඇති බවත්, අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු මෙහි පුරවැසියන් වී යහපත් ජීවන ක්‍රමයකට අවතීර්ණ වීම ඔවුන්ගේ අරමුණු වී තිබුණ බවත්ය. නමුත් කැනඩාවේ වත්මන් තත්ත්වය තුළ ඇතැම් ශිෂ්‍ය වීසා සඳහා ලබා දෙන රැකියා බලපත්‍ර සීමා කිරීමෙන්, බොහෝ දෙනෙකුට තම ශිෂ්‍ය වීසා කාලසීමාවෙන් පසු පිටව යාමට සිදුවේ. මෙහිදී අධ්‍යාපන ආයතන සඳහා වියදම් කළ මුදල හෝ සොයා නොගෙන පිටව යාමට බොහෝ දෙනා අකමැත්ත පළ කොට සිටී. එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට පෙනෙන එකම විකල්පය වී ඇත්තේ, කරමින් සිටින පාඨමාලා අතරමග නතර කර සරණාගතභාවය සඳහා අයදුම් කිරීම පමණක් බව බොහෝ විදෙස් ශිෂ්‍යයෝ පවසති.