මින් ඉදිරියට ඔන්ටේරියෝව තුළ, නීති උල්ලංඝනය කරමින් සිදුකරන රිය පැදවීමකින් (impaired driving) යම් අයෙකු ආබාධිත තත්ත්වයට හෝ මරණයට පත් වුවහොත්, එම රියදුරුට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව එවැනි රියදුරෙකුගේ (impaired drivers) වරදකින් යම් අයෙකු මරණයට පත් වුවහොත් අදාළ කරුණට වරදකරු වන ඕනෑම අයෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිත කාලය පුරාම අත්හිටුවනු ඇත.
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ගෙන රියදුරු අසුනේ වාඩිවෙන රියදුරන් නිසා සිදුවන මාරාන්තික ප්‍රතිවිපාක ඉහළ යෑම වැළැක්වීම සඳහා ෆෝඩ් රජය විසින් මෙම නව නීති සම්පාදනය කොට ඇත. මෙම නීති කෙටුම්පත පසුගිය වසරේ මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, නොවැම්බර් 19 වන දින එය සම්මත කෙරුණි. 2025 ජනවාරි 01 දා සිට එම නීති බලාත්මක වී මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එයට අනුව, ඔන්ටේරියෝව තුළ මත්පැන් හෝ මධ්‍යසාර භාවිත කර රිය පැදවීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වන ඕනෑම අයෙකු සඳහාද ලබා දෙන දඬුවම් දැඩි කර ඇත. එහිදී යම් අයෙකු පළමු වරට ඉහත කරුණු සම්බන්ධයෙන් හසු වුවද, රියදුරුගේ හුස්ම පරීක්ෂාව තුළ මත්පැන් ඇතැයි අනාවරණය වුවහොත් වාහන පණ ගැන්වීම වළක්වන Ignition interlock උපාංගයක් ස්ථාපනය කිරීමට සිදුවේ.
Ignition interlock උපාංගයක් යනු, ඇල්කොහොල් හුස්ම පරීක්ෂා කිරීමේ යන්ත්‍රයකි. වාහනය පණ ගැන්වීමට පෙර රියදුරු විසින් මෙම උපාංගයට හුස්ම පිඹීම අවශ්‍ය වේ. එහිදී මෙම උපාංගයේ නියමිත සීමාවට වඩා හුස්ම තුළ ඇල්කොහොල් සාන්ද්‍රණය ඇතැයි හඳුනාගතහොත් වාහනයේ එන්ජිම ආරම්භ වීම වළක්වනු ලබයි.
නව නීති රීතිවලට අනුව මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා වහාම රියදුරු බලපත්‍රය අත්හිටුවීමේදී මෙතෙක් තිබූ කාල සීමාවන්ද දීර්ඝ කොට ඇත. ඒ අනුව මෙතෙක් දින තුනක් ලෙස තිබූ කාලය දින 7 දක්වාද දින හතක් ලෙස තිබූ කාලය දින 14 ක් දක්වාද දීර්ඝ වේ. ඔන්ටේරියෝව තුළ සිදුවන මාර්ග අනතුරු මරණවලින් තුනෙන් එකකට හේතු වී ඇත්තේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කොට අපරීක්ෂාකාරීව රිය පැදවීම බව මාර්ග පොලිස් අංශය පෙන්වා දේ.
මෙම නව නීති පිළිබඳව Mothers Against Drunk Driving ( MADD Canada), ඔන්ටේරියෝ රජයට ප්‍රශංසා කර සිටී. නොකළ යුතු බව දැන දැනත්, ඇතැම් රියදුරන් මිනිස් ජීවිත අනතුරේ හෙළමින් රිය පැදවීම වැළැක්වීමට ගත් මෙම පියවර, එවැනි රියදුරන් නිසා අසරණව සිටින පුද්ගලයන්ට කරන ලද ගෞරවයක් ලෙස ඔවුහු පවසති. එසේම, ඇතැම් රියදුරන්, නීති කඩමින් රිය පැදවීමෙන් කළ අනතුරුවලින් වින්දිතයන් වූ අහිංසක පවුල්, මේ වන විට නිරපරාදේ ජීවිතාන්තය දක්වා ලැබූ සිර දඬුවම්වලටත් වඩා භයානක දුක් ගැහැට, හිරිහැර, මානසික තැවුල්වලට ලක්ව සිටින බව ඔවුන් පෙන්වා දේ.
මැයි මාසයේ මෙම දඬුවම් පිළිබඳ තොරතුරු පළාත් පාර්ලිමේන්තුවට ගෙන ආ කල MADD Ottawa හි සභාපති Valerie Keyes පවසා තිබුණේ, මෙම නීති සම්පාදනයේ යම් යම් වෙනස්කම් ලබා ගැනීමට සහ බලාත්මක කිරීමට රජයට සියලුම මට්ටමින් උපරිම සහයෝගය දෙන බවයි. එසේම ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ Keyes පවසා තිබුණේ, සමස්ත අපරාධ නීති සංග්‍රහයේම, වැළැක්විය හැකි අපරාධය මෙය බවට වන පණිවිඩය අපි ජනතාවට ලබා දිය යුතු බවයි.
මෙම නව නීති ප්‍රකාශයට පත් කරමින් පසුගිය වසරේදී ඔන්ටේරියෝ ප්‍රවාහන අමාත්‍ය Prabmeet Sarkaria පැවසූවේ, සෑම කෙනෙකුම දවස අවසානයේදී ආරක්ෂිතව තම ආදරණීයයන් වෙත ආපසු යෑම සිදුවිය යුත්තක් වුවත් ඔන්ටේරියෝවෙහි අනාරක්ෂිත රියදුරන්ගේ නින්දිත සහ නොසැලකිලිමත් ක්‍රියාවන් නිසා නිරපරාදේ ඇතැමුන්ට මහමග වන්දි ගෙවීමට සිදුවී ඇති බවයි.
මාර්ග නීති සඳහා පැවති දඬුවම් මෙසේ වෙනස් කිරීමට, බීමත්ව රිය පදවා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකළ Marco Muzzo නඩු තීන්දුවද ප්‍රබල හේතුවක් වී තිබුණි. ධනවත් පවුලක පුද්ගලයෙකු වූ Marco Muzzo මත්පැන් සාදයකින් පසු බීමත්ව රිය පැදවීමෙන්, 2015 සැප්තැම්බර් මාසයේ දිනෙක, Neville-Lake පවුලේ දරු තිදෙනා සහ ඔවුන්ගේ සීයා මරා දැමීය. එහිදී සිදුකළ නඩු විභාගයෙන් පසු 2016 දී ඔහුට හිමි වූයේ වසර 10 ක සිර දඬුවමක් සහ රියදුරු බලපත්‍රය වසර 12 කට අත්හිටුවීමකි. වසර පහක සිර දඬුවමකින් පසු ඔහු නිදහස් වූ අතර තවත් වසර තුනකින් නැවත රිය පැදවීමට ඔහු සුදුසුකම් ලබයි.
මෙම නව නීති පසුපසට ගොස් ඔහුගේ දඬුවම් නැවතත් වෙනස් නොකළද, 2016 නඩු තීන්දුව ලබා දීමත් සමග ඔහුට දුන් දඬුවම් පිළිබඳව දැඩි මහජන කෝපයක් රථ වාහන අනතුරු දඬුවම්වල ලිහිල් බව කෙරෙහි යොමු විය.
Share this Post