වසංගත තත්ත්වයත් සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය මත දින 14 ක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව රජයෙන් ඉල්ලා සිටී.

මෙම වෛද්‍ය සංගම් එකතුවෙන් අද (21) කොළඹදී  මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මෙසේ සඳහන් කරනු ලැබුණි.

“රජයේ රෝහල් සියල්ලම පාහේ මේ වන විට කෝවිඩ් රෝගීන්ගෙන් පිරී තියෙනවා. දැඩි සත්කාර ඒකක කෝවිඩ් රෝගීන්ගෙන් පිරී තිබෙනවා. කෝවිඩ් රෝගීන් බොහෝ ප්‍රමාණයක් ඔක්සිජන් ලබා ගනිමින් ඉන්නවා. දවසකට අඳුනාගත්තේ රෝගීන් 3000 ක් වුණාට සමාජයේ ඉන්න ප්‍රමාණය 10,000 ක් තුන් ගුණයකටත් වඩා වෙන්න ඕන. ඒ අනුව අපි සියල්ලම, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව කියන මේ හතරම එකා මෙන් රජයෙන් ඉල්ලනවා දින 14 ක ඇඳිරි නීතිය හෝ දැඩි සංචරණ සීමා මේ අවස්ථාවේ අත්‍යවශ්‍යයි……”

(ඇය විසින් පළ කරන ලද සම්පූර්ණ අදහස් දැක්වීම පහත දැක්වෙන වීඩියෝවෙහි  පළවේ.)

ශ්‍රී ලංකාවේ දැනට පවතින සංචරණ සීමා ප්‍රමාණවත් නොවන බවත් දින 14 ක දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පවසයි. මාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන කෙසේ වුවත් රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් වැඩි වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසා සිටී. මේ ආකාරයට රෝගීන් වාර්තා වුවහොත් පැය 6 කට හෝ 4 කට වරක් ඇඳන් 1000 බැගින් ඇති අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන විවෘත කිරීමට සිදුවිය හැකි බව ඔහු සඳහන් කරයි. ඇඳන් වැඩි කරන තරමට ‍සෞඛ්‍ය සේවකයින් නොමැති නිසා මේ අන්දමට රෝගය පාලනය කළ නොහැකි බවත් ඇඳන් වැඩි කිරීමෙන් රෝගය පාලනය කළ හැකි නම් ඇමරිකාව එංගලන්තය වැනි රටවලට එය පාලනය කිරීමට හැකියාව තිබූ බවත් ඔහු පවසා සිටී.

කොරෝනාවෛරස ව්‍යාප්තිය අඩු කර ගැනීම සඳහා දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයාද ප්‍රකාශ කර ඇත.

Share this Post