ජස්ටින් ටෲඩෝ, අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසු, ලිබරල්වරුන්ගේ මීළඟ නායකයා සහ කැනඩාවේ මීළඟ අගමැතිවරයා කවුද යන්න දැනගැනීමට, දෙස් විදෙස් බොහෝ දෙනෙකු මහත් අවධානයෙන් කැනඩාව දෙස බලා සිටිති.
මේ පිළිබඳව ලිබරල් පක්ෂය විසින් විධිමත් හා අවිධිමත් රැස්වීම් කිහිපයක් පවත්වා ඇති අතර, මාර්තු 09 වන දිනය පක්ෂයේ නව නායකයා තෝරා ගැනීමේ දිනය ලෙස පක්ෂයේ ජාතික කවුන්සිලය තීරණය කොට ඇත. එදින නව නායකයා තෝරා ගන්නා තෙක් ටෘඩෝ අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
මෙවර පක්ෂ නායකත්ව තරගයට ඇතුළු වන අපේක්ෂකයින් සඳහා ඩොලර් 350,000 ක ඇතුළුවීමේ ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර, පෙර අවස්ථාවල නායකත්ව තරග ගාස්තුව ඩොලර් 75,000 ක් ලෙස පැවතුණි. මේ සඳහා ඉදිරිපත් වන්නන්, ජනවාරි 23 වන දිනට පෙර මෙම ගාස්තු තැන්පත් කළ යුතු අතර, තමන් නායකත්වය සඳහා සහභාගි වීමේ අරමුණ පැහැලිව ඉදිරිපත් කළ යුතු වේ. ජනවාරි 27 දක්වා නායකත්ව තරගයට ඡන්දය දීම සඳහා පුද්ගලයින්ට පක්ෂය සමග ලියාපදිංචි විය හැක.
මෙහි ඡන්ද දායකයින් කවුද?
පක්ෂ නායකයා තෝරා ගැනීමේදී, කැනේඩියානු පුරවැසියන්ට, Indian Act යටතේ මෙරට පුරවැසියෙකු වීම සහ ස්ථිර පදිංචි කරුවන්ට ඡන්දය භාවිත කළ හැකි අතර ඔවුන් ඒ සඳහා ලිබරල් පක්ෂයේ ලියාපදිංචි විය යුතුව ඇත. 2013 දී පැවති අවසන් ලිබරල් නායකයා තෝරා ගැනීමේ මත විමසීමේදී, වයස අවුරුදු 14 හෝ ඊට වැඩි පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දී තිබුණු අතර මෙවරත් එම වයස් සීමාව පවතිනු ඇත. සාමාන්‍යයෙන් මහ මැතිවරණවලදී ඡන්දය භාවිත කළ හැකි වයස, අවුරුදු 18 ලෙස සඳහන් වූවත් පක්ෂ ඡන්දවලදී ඔවුන්ගේම වයස් සීමාවන් නියම කළ හැක. 2022 වසරේ කොන්සර්වේටිව් නායකයා තෝරා ගැනීමේදී වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට ඡන්දය භාවිත කළ හැකි විය.
මින් පෙර ලිබරල් පක්ෂ නායකයා තෝරා ගැනීමේ අවස්ථාවලදී කැනේඩියානුවන් නොවන පුද්ගලයන්ටද ඡන්දය භාවිත කිරීමට අවසර දී තිබුණත්, දේශපාලන විචාරකයින් එවැනි අවස්ථා ‘විදේශීය මැදිහත් වීම් සඳහා දොරටු විවර කිරීම්’ ලෙස හඳුන්වා තිබුණි. නමුත් මෙවර, එවැනි කැනේඩියානු නොවන පුද්ගලයින් ඡන්දය භාවිත කිරීම ගැන ලැබෙන අනතුරු ඇඟවීම්වලට අවනත වන ලෙස, ලිබරල් මන්ත්‍රී කණ්ඩායමක් පක්ෂයේ විධායකයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව මාර්තු 24 වෙනි දින පාර්ලිමේන්තුව නැවත ආරම්භ වීමට සති කිහිපයකට පෙර ටෘඩෝගේ අනුප්‍රාප්තිකයා, ලිබරල් පක්ෂයේ පාලනය ලබාගනු ඇති අතර, එසේ පත්වන ලිබරල් නායකයා, කැනඩා ඉතිහාසයේ කෙටිම ධූර කාලයක් අගමැති තනතුරු හොබවන පුද්ගලයා වීමටද වැඩි ඉඩකඩක් පවතී. එසේ වන්නේ, මාර්තු 24 වැනි දින පාර්ලිමේන්තුව යළි ආරම්භ වීමෙන් පසු, විශ්වාසභංගයකින් ලිබරල්වාදීන්ගේ සුළුතර ආණ්ඩුව බිඳ දැමීමට විරුද්ධ පක්ෂ තුනම සපථ කර ඇති හෙයිනි.
මෑත කාලීන මත විමසුම්වලින් පෙනී යන්නේ ලිබරල්වාදීන්ට මීලඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ඉතාමත් අඩු බවයි. Nanos විසින් කරන ලද නවතම මත විමසුමට අනුව, ලිබරල් සියයට 23 ක් සහ කොන්සර්වේටිව් සියයට 45 ක් ලෙස ජනතා කැමැත්ත දිනාගෙන තිබුණි. මේ වන විට ලිබරල්, කැබිනට් සහ කැබිනට් නොවන අභ්‍යන්තරිකයන් ගණනාවක් කැනඩාවේ ඉහළම දේශපාලන රැකියාව සඳහා තරග කිරීමට සලකා බලමින් සිටියි.
එසේම කැනඩාවේ නායකයා වීම සඳහා ද්විභාෂා (ඉංග්‍රීසි සහ ප්‍රංශ) නිපුණත්වය අවශ්‍යතාවක් ලෙස සැලකෙතත් මෙවර නායකත්ව තරගයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් පසුවන, ඔටාවා පාර්ලිමේන්තු මන්ත්‍රී Chandra Arya වැනි අය ප්‍රංශ භාෂාව කතා නොකරති. පසුගියදා ඔහු සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී , ‘ඔබගේ ප්‍රංශ භාෂා දැනුම කෙසේදැ’ යි විමසූ වහා ඔහු පිළිතුරු දී ඇත්තේ ‘නැත’ යනුවෙනි. ප්‍රංශ බස නොදැන සිටීම ක්විබෙක්වරුන්ට ළඟා වීමේදී බාධාවක් නොවේදැයි ඇසූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වී ඇත්තේ, ‘ක්විබෙක්වරුන් හෝ ඉංග්‍රීසි කැනේඩියානුවන් වේවා, ඔවුන්ට වැදගත් වන්නේ භාෂාව නොවෙයි. ඔවුන්ට ලබා දෙන දෙයයි.’ යනුවෙනි.
කෙසේ වෙතත්, ප්‍රංශ කතා නොකරන පුද්ගලයන් පක්ෂ නායකත්ව තරගයට ඇතුළත් නොවිය යුතු බව බහුතර ලිබරල්වරුන්ගේ අදහසයි. එසේ පැවසීමට ලිබරල්වරුන්ට සාධාරණ හේතුවක්ද ඇත. ඒ මෙම, ද්විභාෂාවන් රාජ්‍ය භාෂා පනතට ඇතුළත් කොට ගනිමින්, එය සම්මත කර ඇත්තේ 1969 දී Pierre Trudeau ගේ නායකත්වයෙන් වීමයි. එවැනි පනතක් සම්මත කර ගැනීම පිළිබඳව එකල පියරේ ටෲඩෝ පවසා ඇත්තේ, ඉංග්‍රීසි සහ ප්‍රංශ කතා කරන කැනේඩියානුවන් සඳහා ෆෙඩරල් රජයේ සමාන සේවාවක් ලැබෙන බව සහතික කිරීම සඳහා එම පියවර ගත් බවයි. ලිබරල් පක්ෂ ඉතිහාසය ගෙන බැලූ විට පක්ෂයේ සුක්කානම, කවදත් භාෂාමය සහ ප්‍රාදේශීය විකල්ප මත තීරණය වී ඇති බව පෙනී යයි. එය සෑම විටෙකම francophone සහ anglophon නායකයින් අතර මාරු වෙමින් පැමිණ ඇතත් පියරේ ගේ පනතින් පසු, සෑම නායකයෙක්ම ප්‍රංශ භාෂාව කතා කළ අය විය.
කෙසේ වෙතත් ද්විභාෂා නිපුණතාව තරගයට පිවිසීමේදී නිර්ණායකයක් ලෙස මතු වී ඇති නිසා ප්‍රංශ නොදන්නා අයෙකු හට තරගයට ඉදිරිපත් වීම වැළකී යා හැක. ලිබරල්වරුන් අතරින් ප්‍රථම වරට ප්‍රංශ කතා නොකරන කැනඩාවේ නායකයා පත්ව ඇත්තේ 1948 දී වන අතර, ඔහු William Lyon Mackenzie King ය. එසේම නෝබල් සාම ත්‍යාගලාභී, 1963-68 දක්වා කැනේඩියානු අගමැතිවරයා වූ Lester B. Pearson ද ද්විභාෂා නිපුණතාව පෙන්වා නොමැත.