2024 නොවැම්බර් මාසයේදී කැනඩාවේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 1.9 දක්වා අඩු වූ බව Statistics Canada විසින් නිකුත් කළ නවතම වාර්තාව සඳහන් කරයි. 2024 වසර සඳහා උද්ධමනයේ දෙවන අඩුම අනුපාතය සටහන් වූ අවස්ථාව මෙය වන අතර, කැනඩා මහ බැංකුවේ ඉලක්ක අනුපාතය වන සියයට 2 ට වඩා පහළින් පැවති දෙවන අවස්ථාවයි. සැප්තැම්බර් මාසයේදී අඩුම උද්ධමනය වාර්තා වූ අතර එය සියයට 1.6 ක් විය. නමුත් ඔක්තෝබර් මාසයේදී එය නැවතත් සියයට 2 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. කැනඩාවේ උද්ධමන සංඛ්යායනයන් පිළිබඳ කතා කිරීමේදී මෙම අගය සියයට එකේ සිට තුන දක්වා ඕනෑම පරාසයක පිහිටීම යෝග්‍ය බව Desjardins Capital Markets හි Royce Mendes (managing director and head of macro strategy) පවසයි.
උද්ධමනය පහත වැටීම නිවාස ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට සුභදායී තත්ත්වයක් වන අතර, මෙය දේපළ වෙළඳපොළ යහපත් වීම සඳහා බලාපොරොත්තු සහගත ලකුණක් බව ආර්ථික විශේෂඥයින් පවසයි. 2022 මැද භාගයේදී කැනඩාවේ උද්ධමනය සියයට 8.1 ක් දක්වා ඉහළ ගිය විට, පොලී අනුපාතිකය ඉහළ නැංවීමෙන් උද්ධමනය මැඩ පැවැත්වීමට බැංකුව විසින් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සැලකිය හැක. කෙසේ වෙතත් 2024 මැද සිට මහ බැංකුව නැවතත් පොලී අනුපාත ක්‍රමයෙන් අඩු කරමින් සිටී. ඒ අනුව 2024 වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල සියයට 0.5 කින් පොලිය අනුමත කර ඇත. මේ වන විට මහ බැංකුවේ ප්‍රධාන පොලී අනුපාතය සියයට 3.25 ක් ලෙස පවතී.
මේ පිළිබඳව අදහස් දැක්වූ Tiff Macklem (Governor of the Bank of Canada) පැවසූවේ, ආර්ථිකය අපේක්ෂා කරන පරිදි ඉදිරියට පැමිණියහොත්, මුදල් ප්‍රතිපත්තියට වඩාත් ක්රමානුකූල ප්‍රවේශයක් ලබාදීමට මහ බැංකුව අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, රජයේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ගනු ලබන ඇතැම් තීරණ නැවතත් රට උද්ධමනයක් කරා ගෙන යාවිද යන සැකය මේ වන විට ආර්ථික විශ්ලේෂකයින් මතු කරමින් ඇත. විශේෂයෙන්ම උත්සවය සමය වෙනුවෙන්, ඇතැම් භාණ්ඩ හා සේවා සඳහා ආරම්භ කර ඇති GST බදු සහනය නිසා දෙසැම්බරයේ උද්ධමන සංඛ්‍යා දුර්වල විය හැකි බව CIBC හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන Andrew Grantham පෙන්වා දේ.
එසේම ඉදිරි කාලයේදී කැනේඩියානු භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු එකතු කිරීමේ ට්‍රම්ප්ගේ තර්ජනය වැනි කරුණු නව වසරේ උද්ධමනයට බලපෑම් එල්ල කළ හැකි දිගුකාලීන සාධක වේ. මේ වන විට කැනේඩියානු ඩොලරයේ අගය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව කඩා වැටීමද ඉදිරියේදී උද්ධමන අනුපාතිකය වෙනස් කිරීමට බලපෑ හැකි බව සඳහන් වේ. දෙසැම්බර් 17 වැනි දා වන විට කැනේඩියානු ඩොලරයේ අගය (US$ ට සාපේක්ෂව) වසර පහක් තුළ අවම මට්ටමට වාර්තා කර තිබූ අතර එහිදී කැනේඩියානු ඩොලරය එක්සත් ජනපද ඩොලර්වලට මාරු වීමේදී ශත 70 (US$) ට වඩා පහත බැස තිබුණි. මෙම පහත වැටීම පසුගිය ඔක්තෝබරයේ පටන් සිදුවෙමින් පවතී.
මෙසේ කැනේඩියානු ඩොලරය දුර්වල වීමත් සමග එක්සත් ජනපදය ඇතුළු වෙනත් රටවලින් මෙරටට ආනයනය කරන බොහෝ භාණ්ඩවල මිල ඉහළ යෑමට පටන් ගනී. විශේෂයෙන්ම රටෙහි ඵලදායීතාවට අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ බොහෝමයක් කැනඩාව වෙත පිටින් පැමිණෙන අතර මේවා මෙරටට ගෙන ඒමේදී කැනේඩියානු ඩොලරය එක්සත් ජනපද ඩොලරයට සහ අනෙකුත් මුදල්වලට සාපේක්ෂව දුර්වලව පවතී නම් එම භාණ්ඩවල මිල අධික වේ. එවිට එවැනි නිෂ්පාදන ගෙන ඒම මන්දගාමී වීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර එය රටෙහි ඵලදායීතාව ඍජුවම බලපෑම් කර ජීවන තත්ත්වයට තවදුරටත් හානි කළ හැක.
2024 ජූලි සිට සැප්තැම්බර් දක්වා කැනඩා ආර්ථිකය සියයට 0.3 කින් වර්ධනය වූ නමුත් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (an indicator of living standards) සියයට 0.4 කින් පහත වැටී ඇති බව වාර්ෂික වාර්තා සඳහන් කරයි.
Share this Post