කොවිඩ්-19 රෝගය පාලනය සඳහා ලබාදෙන Oxford-AstraZeneca එන්නතේ හිඟය අද ලෝකයේ රටවල් රැසක් මුහුණ දී ඇති ගැටලුවකි. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසක් මේ වන විට දෙවන මාත්‍රාව ලැබීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වෙති. මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ වෙනස් වූ තාක්ෂණයන්ගෙන් නිපදවන ලද එන්නත් වර්ග දෙකක් කොරෝනාවෛරසය මැඩලීම සඳහා ගැනීමෙන් පළක් වේද? එය ශරීරවලට අනතුරුදායක විය හැකිද? යන්නයි.

මෙම ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු සපයා ගැනීම සඳහා මේ වන විට එක්සත් රාජධානියේ විද්‍යාඥවරුන් උත්සාහ දරමින් සිටින අතර ඉතාමත් ඉක්මනින් එම නව අධ්‍යයන වාර්තා ලබා දීමට ඔවුන් බලාපොරොත්තු වේ.  දැනට අනුමත කොවිඩ්-19 එන්නත්වල විවිධ සංයෝජන තනි පුද්ගලයෙකුට පළමු හා දෙවන මාත්‍රාවන් ලෙස ලබාදෙන මෙම සංකල්පය Mix and match ලෙසින් ඔවුන් නම් කොට ඇත.

එන්නත් සැපයුම පිළිබඳ පවතින ගැටලුකාරී තත්ත්වය මත පමණක්ම නොව, මෙවැනි මිශ්‍ර කිරීමක් මිනිස් සිරුරකට කෙසේ ක්‍රියාත්මක වේදැයි විමර්ෂණය කිරීමද මෙහි එක් අරමුණක් බව පර්යේෂණ කණ්ඩායම පවසා සිටී. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු සහ මෙම අධ්‍යයනයේ ප්‍රධාන විමර්ශක Matthew Snape පවසා ඇත්තේ, වර්ග දෙකකින් මාත්‍රා දෙක ලබාදීම  සාර්ථකව සිදුකළ හැකි වුවොත්  එන්නතේ දෙවන මාත්‍රාව සඳහා බලා සිටින බොහෝ දෙනෙකුට එය විශාල සහනයක් විය හැකි බවයි. ගෝලීය වශයෙන් සම්පූර්ණයෙන්ම එන්නත් මාත්‍රා ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ නැංවීමේ උපාය මාර්ගයක් වශයෙන් එම ක්‍රමය භාවිත කළ හැකි බව ඔහු පවසා සිටී.

එක් පුද්ගලයෙකුට එන්නත් මාත්‍රා වර්ග දෙකකින් ලබා දීම අහිතකර විය නොහැකි බව විශේෂඥයින්ගේ අදහසයි. නමුත් ඔවුන් තුළ ඇති ගැටලුව වන්නේ කොරෝනාවෛරසය මර්ධනය සඳහා මෙම මිශ්‍ර කිරීම කොතරම් දුරට සාර්ථක වේද යන්නයි. AstraZeneca සඳහා adenovirus-vectored තාක්ෂණය එනම් වෛරසවල දුර්වල කොටස් යොදාගැනීමේ තාක්ෂණය භාවිත කර ඇත.

Pfizer සහ Moderna සඳහා නවතම mRNA තාක්ෂණය භාවිත කොට ඇත. ප්‍රතිශක්තිකරණයට ප්‍රතිචාර දැක්වීමට  මිනිස් සෛලවල ප්‍රෝටීන නිපදවන ආකාරය කියා දීම mRNA තාක්ෂණයේදී සිදුකෙරෙන අතර මෙහිදී කොවිඩ්-19 වලට හේතු වන සජීවී වෛරසයක් භාවිත නොකිරීම විශේෂත්වය වේ. මේ ආකාරයට මුළුමනින්ම වෙනස් වූ තාක්ෂණ දෙකක් සහිත එන්නත් මාත්‍රා ලබාගැනීමේදී එය කොවිඩ්-19 සඳහා දක්වන ප්‍රතිචාරය සොයා බැලීම මෙම අධ්‍යයනය මගින් සිදුකෙරේ.

 

එන්නත් මිශ්‍ර කිරීමේ තාක්ෂණය පිළිබඳව Oxford Vaccine Group මගින් මෙහෙයවන ලද COM-COV අධ්‍යයනය පසුගිය පෙබරවාරි මාසයේදී දියත් කරන ලද අතර එහි පළමු අදියර සඳහා වයස අවුරුදු 50 ට වැඩි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 800 ක පමණ කණ්ඩායමක් ඉදිරිපත් වී ඇත. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල තවත් සති කිහිපයකින් නිකුත් කිරීමට එම කණ්ඩායම අදහස් කරයි.

මෙම එන්නත් මිශ්‍ර කිරීමේ සංකල්පය එක්සත් ජනපදය හැරුණු විට කැනඩාවේ ක්විබෙක්වලද විමර්ශනය කෙරෙමින් පවතී. ක්විබෙක් පළාතේ වැඩිහිටි නිවාසවල පුද්ගලයන් සඳහා වඩාත් ඉක්මනින් සම්පූර්ණ වැක්සීන මාත්‍රා ලබා දීමේ අරමුණින් ඔවුන් මෙම මිශ්‍ර කිරීම පිළිබඳ අදහස පෙරට ගෙන තිබුණි. එහිදී Moderna පළමු මාත්‍රාව ලෙස ලබාගත් පිරිසට දෙවන මාත්‍රාව ලෙස Pfizer ලබාදීම කෙරෙහි අවධානය යොමු කර ඇත. මෙම එන්නත් දෙකෙහිම තාක්ෂණය බෙහෙවින් සමාන හෙයින් එම මිශ්‍ර වීම එතරම් ගැටලුකාරී විය නොහැකි බව ඔවුන්ගේ අදහස විය. එසේම මතුව ඇති AstraZeneca සැපයුම් හිඟය නිසා ඉදිරි කාලයේදී එම එන්නත වෙනුවෙන්ද දෙවන මාත්‍රාවට වෙනත් එන්නත් මිශ්‍ර කිරීමේ සැලසුමකට යාමට ක්විබෙක් පළාත කරුණු සොයාබලමින් සිටී.

මේ වන විට Oxford-AstraZeneca එන්නතෙහි සැපයුමෙහි පවතින හිඟය සැලකිල්ලට ගනිමින් එහි දෙවන මාත්‍රාව සඳහා Moderna හෝ Pfizer ලබාදීම පිළිබඳව ඔන්ටේරියෝ සෞඛ්‍ය අංශවලද සැලකිල්ල යොමු වී ඇත. මේ සම්බන්ධයෙන් සඳුදා(10) අදහස් දැක්වූ  පළාත් සෞඛ්‍ය ඇමතිනී Christine Elliott පවසා සිටියේ, AstraZeneca සඳහා සැපයුම් දිනයක් නොමැති වීම මත වෙනත් එන්නත් මිශ්‍ර කර ලබාදීමට සිදුවනු ඇති බවයි. ඒ අනුව එම එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් ඔන්ටේරියානුවන්ට දෙවන මාත්‍රාව ලෙස Moderna හෝ Pfizer තෝරාගැනීමට සිදුවිය හැකි බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවත් AstraZeneca ලබාදුන් පිරිසට දෙවන මාත්‍රාවට වෙනත් එන්නතක් ලබා දෙනවාද නැද්ද යන්න එක්සත් ජනපදය විසින් සිදුකරන විශේෂ අධ්‍යයනයේ ප්‍රතිඵල මත තීරණය කරන බව ඇමතිනිය පවසා සිටී. මේ වන විට AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් විශාල පිරිසක් දෙවන මාත්‍රාව ලබා ගැනීමේ උපරිම සීමාවට පැමිණෙමින් සිටින නිසා එම අධ්‍යයන ප්‍රතිඵල ඉතා ඉක්මණින් අවශ්‍ය බව ඇය මෙහිදී අවධාරණය කර ඇත.

එන්නත් මාත්‍රා මිශ්‍ර කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ අධ්‍යයන ප්‍රතිඵල කැනඩාව අනුගමනය කිරීමට සූදානම්ව සිටින බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනී Dr. Theresa Tam පවසයි.

Share this Post