ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සහ ඔවුන් හා එක්වුණු සහයෝගිතා ජාලයක සාමාජිකයන් පිරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් රැස් කිරීමේ අරමුණින් Little Hearts – බිළිඳු හදවත් නමින් සත්කාරක වැඩසටහනක් අරඹා ඇත.

ශ්‍රී ලංකාව තුළ ළමයින් සඳහා ඇති විශාලතම රජයේ රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල වන අතර රෝගී දරුවන් වෙනුවෙන් මෙම රෝහල විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. සහජ හෘද රෝග (Congenital heart disease – CHD) සහ වෙනත් අසාධ්‍ය රෝග සහිත දරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ඇති ලංකාවේ එකම ත්‍රිනීයක සායන මධ්‍යස්ථානය රිජ්වේ රෝහල වේ. එහෙත් ඇතැම් අවස්ථාවල රෝහලේ පවතින සීමිත සම්පත් නිසා රෝගී දරුවන්ට නිසි කලට ප්‍රතිකාර ලබාදීම විශාල ගැටලුවක් වී තිබේ.
මෙහිදී හෘද සහ අනෙකුත් අසාධ්‍ය රෝගවලින් පෙළෙන දරුවන්ට තම වාරය පැමිණෙන තෙක් පොරොත්තු ලේඛනවල බලා සිටීමට සිදුව ඇති අතර බොහෝ ළමුන් මාස ගණනාවක් හෝ අවුරුදු ගණනාවක් මෙසේ තම වාරය එනතුරු රෝහලේ හෝ නිවසේ ගිලන් ඇඳේ කල් ගෙවනු ලැබේ. එසේ බලා සිටින දරුවන්ගේ ජීවිත දිනෙන් දිනම සුව කිරීමේ සම්භාවිතාවෙන් ඈත් වන අතර බොහෝ දරුවන්ට ප්‍රතිකාරයක් නොලබාම මිය යාමට පවා සිදුවේ.
Little Hearts වැඩසටහන ඉක්මනින්ම ආරම්භ කිරීමේ වැදගත් කම පිළිබඳව අවධාරණය කළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා පැවසූවේ පොරොත්තු ලේඛනයේ සිටින දරුවන් දිගු කාලයක් එහි රැඳීම නිසා ඇතිවන ගැටලූ මතුපිටින් පෙනෙනවාට වඩා බරපතළ බවයි. ‘රෝගී දරුවා බේරා ගැනීම සඳහා ඔහු වටේ සිටින පිරිස සියල්ල කැප කරමින්, රෑ දවල් නොබලා ළමයා සමග සිටිමින්, රැකිරක්ෂාවන් පවා අත හරිමින්, ගේ දොර උකස් තියමින්  වෙනුවෙන් වෙහෙසෙන නමුත් අවසානයේ කිසිදු දෙයකින් පළක් නොවී ඔවුන්ට දරුවා ඇතුළු සියල්ල නැති වෙනවා. මේක යථාර්ථයක් විය යුතු නැහැ’ වෛද්‍ය සමරසිංහ මහතා පැවසීය.
Little Hearts සත්කාරය මෙවැනි දරුවන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇරඹුනකි. ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ඔවුන් සමග මෙයට එක් වී සිටින සහයෝගිතා ජාලය මේ අන්දමට අසාධ්‍ය ලෙස රෝගී දරුවන් දහස් ගණනකගේ සහ ඔවුන්ගේ පවුල්වල ඉරණම ඉදිරි වසර කිහිපය තුළදී මෙම වැඩසටහන මගින් වෙනස් කිරීමට බලාපොරොත්තු වේ. මෙම දැඩි සත්කාර සංකීර්ණ එහි මුල් වසර 20 ඇතුළත රෝගී ළමුන් 200,000 ක් බේරා ගැනීමට සමත් වනු ඇතැයි දළ ගණනය කිරීම් පෙන්වා දෙයි.
මේ සත්කාරය සමග අත්වැල් බැඳ ඒ සමග දැඩි විශ්වාසයකින් එක් වී සිටින කුමාර් සංගක්කාර මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් දක්වා ඇත.
‘අපි එකතු වී වැඩ කළොත් පරම්පරා ගණනාවකට ප්‍රායෝජනවත් වන ආයතනයක් ගොඩ නැගිය හැකියි. කිසිම දෙමාපියෙක් තම දරුවා අසාධ්‍ය රෝගයකින් පෙළෙයි කියා සිහිනයකින්වත් හිතන්නේ නැහැ. මේ සත්කාරයට දායක වීමෙන් අපට අපගේම දරුවන්ගේ යහපැවැත්ම ස්ථීර කරන්න පුළුවන්. ඒ නිසා මේක අපට මුළු සිතින්ම ආයෝජනය කළ හැකි ව්‍යාපෘතියක්’
ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය රම්‍යා ද සිල්වා මහත්මිය මෙම සත්කාරය සමග අත්වැල් බැඳගත් සියලුම දෙනාට සිය ස්තූතිය පුද කර සිටින අතර සියල්ලන්ටම මේ හා එකතු වී කටයුතු කිරීමටද ඇරයුම් කර සිටී.
‘අප සැවොම අත්වැල් බැඳගත්තොත් අවශ්‍යතාව ඇති සියලූම ළමයින්ට අවශ්‍ය පරිදී ප්‍රතිකාර ලබාදීමට හැකි අනාගතයක් සෑදීමට අපට පුළුවන්. සෞඛ්‍ය සම්පන්න සතුටුදායක ජීවිතයක් අපි හැමෝගෙම ළමයින්ට සමානව ලබාගන්න පුළුවන් වෙන්නේ එතකොටයි’ යැයි වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ වන විට නිල වශයෙන් ආරම්භ වී ඇති Little Hearts සත්කාරක ව්‍යාපෘතියට සහාය දැක්වීමට ඔබත් කැමති නම් ඒ සඳහා තමනට හැකි අයුරින් දායක වීමේ අවස්ථාව දැන් සලසා ඇත.   SMS මාර්ගයෙන් මාසිකව රුපියල් 100 ක පරිත්‍යාගයකට දායක වීමට හා රුපියල් 10,000 ක බැංකු තැන්පතුවක් කිරීම සේම දැඩි සත්කාරක ඒකකයට අවශ්‍ය ඇඳන් හා ශල්‍යාගාර පරිත්‍යාග කිරීමද සිදුකළ හැකිය. එසේම තම හැකියාව සහ නිපුණතාව තුළින් Little Hearts සත්කාරයට දායක වීමට කැමති පුද්ගලයින්, සංවිධාන සහ සමාගම් සඳහා බිළිඳු හදවත් විවර වී ඇත.
Little Hearts ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමති ඔබට www.littlehearts.lk වෙබ් අඩවියෙන් ඒ පිළිබඳව වැඩි විස්තර ලබාගැනීමට පුළුවන.

Share this Post