Toronto Metropolitan University (TMU) (මෙය 2022 වන තුරු Ryerson University විය) අනුබද්ධ නව වෛද්‍ය විද්‍යාලය 2025 සැප්තැම්බරයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සූදානම් වෙමින් පවතී.
ඔන්ටේරියෝනුව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු රැසක් පවතින අතර බහුතරයක් දෙනා පවුලේ වෛද්‍යවරයෙකු සොයාගත නොහැකිව දැඩි සේ පීඩාවට පත්ව සිටිති.
පසුගිය වසරේ ජූලි මාසය වන විට පවුලේ වෛද්‍යවරයෙකු නොමැති ඔන්ටේරියෝ
වැසියන් සංඛ්‍යාව මිලියන 2.5 ක් බව ඒ පිළිබඳව වන දත්ත සඳහන් කරයි.
එපමණක් නොව, MRI ඇතුළු medical image ලබා ගැනීම්, විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම, ශල්‍යකර්ම දින ලබා ගැනීම ආදියට රැඳී සිටීමේ කාලය අඛණ්ඩව කල් යමින් පවතී. මේ සියල්ලට බලපාන හේතු අතර වෛද්‍ය හිඟයද ප්‍රධානව පවතින අතර වෛද්‍ය විද්‍යාල පුළුල් කිරීමත්, ඉහළ සුදුසුකම් ලත් විදේශීය වෛද්‍ය උපාධිධාරීන්ට බලපත්‍ර ලබා දීමත් මේ වන විට දැඩි අවශ්‍යතාවක් වී ඇත. බොහෝ දෙනෙකුට පවුලේ වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා, සාමාන්‍ය අසනීප තත්ත්වයකදී වුවත් රෝහල් හදිසි ප්‍රතිකාර ඒකකවලට පැමිණීමට කටයුතු කිරීමෙන් රෝහල් හදිසි ඒකක තදබදයද වැඩි වී ඇත.
මේ කරුණු පිළිබඳව අවධානය යොමු කළ ඔන්ටේරියෝ රජය, නව වෛද්‍ය
විද්‍යාලය ආරම්භ කිරීම සඳහා බ්‍රැම්ප්ටන්හි, පෙර පැවති Bramalea Civic මධ්‍යස්ථානය පරිත්‍යාග කර ඇති අතර, එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 20 ක අරමුදල් පරිත්‍යාගයක්ද සිදු කොට ඇත.
TMU වෛද්‍ය විද්‍යාලය සඳහා කැනේඩියානු ශිෂ්‍යයන් පමණක් බඳවා ගැනීමට තීරණය කොට ඇති අතර එයින් බහුතරයක් ඔන්ටේරියෝවෙන් තෝරා ගන්නා බවද TMU හි සභාපති Mohamed Lachemi පවසා ඇත.
එසේම සිසුන් බඳවා ගැනීමේදී කැනඩාවේ වෛද්‍ය විද්‍යාල විසින් මෙතෙක් ක්‍රියාත්මක නොකළ තෝරාගැනීමේ පටිපාටියක් අනුගමනය කිරීමට TMU සැලසුම් කර ඇත. එහිදී ඇතැම් කරුණු නිසා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ සහතිකයෙන් බොහෝ දුරස් එහෙත් දක්ෂතාවලින් හෙබි සිසුන් ගැන විශේෂ සලකා බැලීම් කෙරෙනු ඇත.
ඒ අනුව, විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේදී, කළු ජාතික සිසුන් සඳහා, ආදිවාසී සිසුන් සඳහා, ‘සමානාත්මතාවයට සුදුසු කණ්ඩායම්’ ලෙස විස්තර කරන සිසුන් සඳහා වැඩි අවස්ථා වෙන් කිරීමට අදහස් කර ඇත. විද්‍යාලයට ඇතුළත් කිරීමට කටයුතු කෙරෙන තුන්වන කාණ්ඩය වඩාත් පුළුල් වන අතර දරිද්‍රතාවයේ හෝ ළමා සුභසාධන පද්ධතියේ හැදී වැඩුණු, ආබාධිත හෝ නිදන්ගත සෞඛ්‍ය තත්ත්වයන් ඇති, 2SLGBTQ+ ප්‍රජාවේ සාමාජිකයන් ලෙස හඳුනාගෙන ඇති හෝ වාර්ගික කණ්ඩායමකට අයත් වන අය ඊට ඇතුළත් වනු ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ විද්‍යාලයේ ඇතුළත් කිරීම් සහකාර පීඨාධිපති, ආචාර්ය Dominick Shelton පැවසූවේ පැමිණෙන සිසුන්ගෙන් සියයට 75 ක් පමණ එම මාර්ග තුනෙන් එකකට අයත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. විවිධ ප්‍රජාවන්ගේ සංයුතීන් වඩා හොඳින් පිළිබිඹු කිරීමෙන් සෑම ආකාරයකම පුද්ගලයන්ගේ සෞඛ්‍ය සේවා හොඳින් ඉටු කිරීමට හැකි වෛද්‍යවරයෙකු බිහි කළ හැකි වෙතැයි, වෛද්‍ය ෂෙල්ටන් අපේක්ෂා කරයි.
මෙසේ පුද්ගලයන් අතර විවිධ වාර්ගිකත්ව පැවතීම ඔවුන් තුළ අධ්‍යාපනය ලැබීමේ ප්‍රමිතීන් අඩු නොකරන බව පිඨාධිපතිනියගේද අදහසයි. එසේම,TMU හි පවතින ඨGrade Point Average (GPA) බෙහෝ කීර්තිමත් කැනේඩියානු වෛද්‍ය විද්‍යාල සමග පෙළ ගැසී ඇති බව ඇය පෙන්වා දෙයි. සැබවින්ම GPA යනු සිසුන්ට අධ්‍යයන අන්තර්ගතයන් ඉගෙන ගැනීමේ හැකියාව ඇති බව පෙන්වීමට අවශ්‍ය ඇගයුම් පද්ධතියක කොටසක් පමණි. එම හේතුව නිසා සාර්ථකත්වය හෝ සායනික කාර්ය සාධනය පුරෝකථනය කිරීමේදී අකාර්යක්ෂම වන පැරණි පද්ධතියක අවශේෂ වන MCAT ලකුණු TMU විසින් නොසලකයි. වෛද්‍ය කාර්ය සාධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනයේදී සිසුන්ට මෙම පියවරවල් බාධකයක් වී ඇති බව නොරහසකි. මේ වන විට කැනේඩියානු වෛද්‍ය විද්‍යාලවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් MCAT අතහැර දමා ඇති අතර විද්‍යාල කීපයක් පමණක් ඉන් කොටසක් භාවිත කරයි.
පාසල් අධ්‍යාපනයේ විශිෂ්ට මට්ටම් පෙන්නුම් කර ඇති සහ බාහිර ක්‍රියාකාරකම්හි විවිධ අත්දැකීම් සහිත පරිපූර්ණ පුද්ගලයන් TMU වෙත සාදරයෙන් පිළිගන්නා අතර එතැන් පටන් විශිෂ්ට වෛද්‍යවරයකු වීම සඳහා අවශ්‍ය සියලු කුසලතා වර්ධනය කර ගැනීමේ හැකියාව විද්‍යාලය තුළදී ඔවුන්ට හිමි වේ.
නව වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති ලෙස කටයුතු කරන Teresa Chan පැවසූවේ, පවුල් වෛද්‍ය, හදිසි වෛද්‍ය සහ ළමා රෝග පිළිබඳ වෛද්‍ය යන ක්ෂේත්‍ර අතරින් පවුල් වෛද්‍ය විද්‍යාව තෝරා ගන්නා උපාධිධාරීන්ගේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවයි. ඒ පිළිබඳව නව වෛද්‍ය විද්‍යාලය විශේෂ අවධානයක් යොමු කරන බව ඇය සඳහන් කරයි.
TMU දශක ගණනාවකට පසු කැනඩාවේ ආරම්භ වන පළමු නව වෛද්‍ය විද්‍යාලය වේ. එපමණක් නොව, එය පවුල් වෛද්‍ය (family practice) හා හදිසි වෛද්‍ය විද්‍යාව (emergency medicine) වැනි ප්‍රාථමික සත්කාර විශේෂතා(primary care specialties) සඳහා කැප වූ පළමු ස්ථානය ලෙසද පැවසේ.
නව වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමෙන් පසු එහි ප්‍රාථමික සායනික සහකරු ලෙස William Osler Health System කටයුතු කරන අතර Mississauga, Orangeville සහ Halton හි සෞඛ්‍ය ආයතන සමගද ඔවුන් ගිවිසුම්වලට එළඹ ඇත.
2025 සැප්තැම්බර් මාසයේ සිට TMU වෛද්‍ය විද්‍යාලය අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සූදානම්ව සිටී.
Share this Post