කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින් හඳුන්වන කොරෝනාවෛරසයෙහි දරුණු ප්‍රභේද 8 ක් පමණ මේ දක්වා ලොව පුරා රටවල්වලින් වාර්තා වී ඇත. මුල් කාලයේ වාර්තා වූ කොවිඩ්වෛරසයට වඩා වේගයෙන් මෙම සියලු ප්‍රභේද පැතිර යන අතර මෙම රෝගීන් තුළින් මතුවන සංකුලතාද වැඩි බව වෛද්‍ය පර්යේෂණ තහවුරු කොට ඇත. මෙම ප්‍රභේද අතරින් B.1.1.7 (UK), B1351 (South Africa), P1 (Brazil) සහ මෑතකදී ඉන්දියාවෙන් වාර්තා වූ ද්විත්ව විකෘති (double mutant) සහිත  B.1.617 යන ප්‍රභේදය සහිත රෝගීන් කැනඩාවෙන් හමු වී ඇත.

මීට වසරකට පමණ පෙර කොවිඩ් රෝගය වැළඳීමෙන් අසාධ්‍ය වූ හා මිය ගිය පිරිසත් අද වන විට ඊට ගොදුරුව විපතට පත් වන පිරිසත් පිළිබඳව සලකා බැලීමේදී මෙම රෝගය කෙතරම් දරුණු ප්‍රතිඵල ගෙන දෙමින් ඇත්ද යන්න සිතාගත හැක. පළවන හා දෙවන රැළි ලෙස පැමිණි කොරෝනාවෛරස වසංගත තත්ත්වයේදී  අබල දුබල හා වයෝවෘද්ධ වූවන් එයට ගොදුරුව මිය ගිය බව වාර්තා වූවත් අද වන විට ඉතාමත් අඩු වයස්වල සෞඛ්‍ය සම්පන්නව පසු වන්නන් කොවිඩ් මාරයාට ගොදුරු වන්නේ පුදුම සහගත අන්දමිනි.

Health Canada විසින් අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කරන ලද සංඛ්‍යා දත්ත තොරතුරු විශ්ලේෂණයකට අනුව කැනඩාවේ දෙවැනි කොරෝනා රැල්ලේ උච්චතම අවස්ථාව වන ජනවාරි මාසයට සාපේක්ෂව තෙවන රැල්ල පැමිණි අප්‍රේල් මාසයේදී කොවිඩ් වැළඳී රෝහල්ගත වන වයස අවුරුදු 65 ඉක්ම වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව ඉතාමත් අඩු අගයක් ගෙන ඇති බව පෙනී යයි. නමුත් එම දත්තවලට අනුව 60 ට පුද්ගලයන්ගෙන් මේ වන විට රෝහල් පිරී යාමට පටන් ගෙන ඇත.

අප්‍රේල් 30 වන දින දක්වා වූ කොවිඩ් පිළිබඳ වූ ජාතික සංඛ්‍යාලේඛන  දත්ත තොරතුරුවලට අනුව කැනඩාව තුළ වයස අවුරුදු 19 ට අඩු පුද්ගලයන් 218,750 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇත.  බහුතරයක් සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වා සුවපත් වී  ඇති අතර 145 දෙනෙකු දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කර ඉන් 9 දෙනෙකු මිය ගොස් ඇත.

කොරෝනා තෙවැනි රැල්ලත් සමග දිනපතා වාර්තා වන සහ රෝහල්ගත වන තරුණ රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ. නමුත් තවමත් කොවිඩ්-19 ආසාදනය වන බොහෝ කුඩා දරුවන් තුළ රෝගී තත්ත්වයන් උත්සන්න වීම සහ දැඩි සංකුලතා ඇති වීම දුර්ලභ බව කොරෝනා පිළිබඳව ඇති සාධක විමසා බැලීමේදී පෙනී යෑම සතුටට කරුණකි. විශේෂයෙන්ම ඉතාමත් වේගයෙන් පැතිර යන ප්‍රභේද කිහිපයක්ම සංසරණය වෙමින් පවතින අවස්ථාවක බහුතරයක් තරුණ පිරිස රෝගයට ගොදුරු වුවත් බරපතල රෝගාබාධ හා මරණ යම් තරමකට පාලනය වී තිබෙන බවද කිව හැකිය. නමුත් තරුණ පරම්පරාව මෙම රෝගයට ගොදුරු වීම පිළිබඳව දකුණු හා මධ්‍යම ඔන්ටේරියෝවෙහි (Southern and Central Ontario) හදිසි මරණ පරීක්ෂකවරුන් විසින් නිකුත් කළ වාර්තාවක සඳහන් කරුණුවලට අනුව මෙය සුළුවෙන් සිතා සෑහීමකට පත්විය හැකි තත්ත්වයක් නොවන බව පැවසිය යුතුය. එහි සඳහන් වූයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර පුද්ගලයින් 25 දෙනෙකු කොවිඩ්-19 රෝගයට ගොදුරුව කිසිදු ප්‍රතිකාරයක් නොලබාම නිවෙස් තුළම මිය ගොස් ඇති බවයි. සැබවින්ම මෙය ඉතාමත් අභාග්‍යසම්පන්න තත්ත්වයකි. මෙම බොහෝ මරණ වළක්වාගත හැකි මට්ටමේ තිබුණා විය හැකියි. තරුණ වයසේ පසුවන පුද්ගලයන් කොවිඩ් 19 රෝගය පිළිබඳව දක්වන අවතක්සේරු ආකල්පය නිසා රෝගය පිළිබඳව නිසි අවධානයක් නොගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීමත් රෝගය වැළඳුණු පසු ගත යුතු පියවර පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීමත් නිසා මෙම ජීවිත මෙසේ අනතුරට පත් වූවා විය හැක.

දරුවන් සහ තරුණයන් අතර කොවිඩ් පැතිරීමේ වේගය පිළිබඳව කාගේත් දැඩි අවධානය යොමු කරවීමට සමත් අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා බ්‍රැම්ප්ටන් පළාතෙන් වාර්තා විය. ඒ අප්‍රේල් 22 වන දින සිදුවූ වයස අවුරුදු 13 ක බ්‍රැම්ප්ටන්හි දැරියගේ මරණයයි. මේ වන විට වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන නැගෙනහිර බ්‍රැම්ප්ටන් කලාපයෙහි වාසය කර ඇති මෙම දැරිය, කොවිඩ් රෝගය උත්සන්න වීමත් සමග ඇති වූ න්‍යුමෝනියා තත්ත්වය නිසා මරණයට පත්ව ඇත. බ්‍රැම්ප්ටන් මෙම කලාපයෙහි රෝගීන් වාර්තා වන ප්‍රතිශතය සියයට 22 ක් ලෙස දැක්වෙන අතර එය ඔන්ටේරියෝවේ ඉහළම දෛනික රෝගීන් වාර්තා වන ප්‍රදේශය ලෙස සඳහන් වේ. මෙහි වෙසෙන බහුතරයක් ආහාරපාන සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැකසුම් කරන කර්මාන්තශාලාවල සේවය කරන්නන් වන අතර ඔවුන් නිරතව සිටින රැකියාවන් නිවෙස්වල සිට කළ නොහැකි ඒවා වේ. එසේම එක් නිවෙසක පවුල් කීපයක් වාසය කිරීම නිසා ඔවුන් අතර රෝගය පැතිර යෑම ඉතාමත් ඉහළ අගයක් ගනු ලබයි. ‍කර්මාන්තශාලා සහ වැඩබිම් ආශ්‍රිතව කොවිඩ් රෝගය වේගවත්ව පැතිර යෑම පසුගිය කාලයේ දක්නට ලැබුණු අවාසනාවන්ත තත්ත්වයකි. බොහෝ අවස්ථාවල කොවිඩ් රෝගය වැළඳුනු තදබල රෝග ලක්ෂණ නොමැති බොහෝ දෙනා දැන හෝ නොදැන රැකියා ස්ථානවලට පැමිණීම නිසා රෝගය පැතිර යාම පාලනය කරගැනීම අසීරු කරුණක් වී ඇත.

එම දැරියගේ මරණයත් සමගම රටෙහි විවිධ පළාත්වල කොවිඩ්-19 වැළඳීමෙන් සිදුවූ ළදරු, ළමා හා තරුණ මරණ කිහිපයක් පිළිබඳවම හෙළිදරව් විය. ඒ අතර බ්‍රිටිෂ්කොළොම්බියාහි වයස අවුරුද්දට අඩු ළදරුවකු සහ අවුරුදු 2 ක දරුවකුගේ මරණත් කුබෙක් පළාතෙන් වාර්තා වූ වයස අවුරුදු 16 ක දරුවකුගේ මරණයත් ඇල්බර්ටාහි වයස අවුරුදු 17 ක දැරියකගේ මරණයත් ඉතාමත් කණගාටුදායක ලෙස සටහන් කළ යුතුව ඇත. මෙම මරණ මෙරටින් වාර්තා වූ ලාබාලම කොවිඩ් මරණ බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 

දරුවන් කොවිඩ් රෝගයට ගොදුරු නොවන ආකාරයට රැක බලා ගැනීම පිළිබඳව මූලික වගකීම ඇත්තේ වැඩිහිටියන් මතය. යම් විදියකින් කුඩා දරුවකුට කොවිඩ් 19 රෝගය  වැළඳුනහොත් ඔවුන් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂාකාරී වීම ඉතාමත් අත්‍යවශ්‍ය බව  Dr. Christopher Sulowski, (chief of the pediatric emergency department at McMaster Children’s Hospital in Hamilton) පවසයි. විශේෂයෙන්ම කොවිඩ් රෝගය නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යාමත් වමනය යෑමත් සිදුවිය හැකි අතර මේ හේතුවෙන් කුඩා දරුවන් ඉක්මනින් විජලනයට ලක් විය හැක. මෙය  වැළැක්වීම සඳහා නිරතුරුව පාන වර්ග බීමට දීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව ඔහු පෙන්වා දේ.  රෝගී දරුවා හුස්ම ගැනීමේ අපහසුතාවකින් හෝ අසාමාන්‍ය වෙහසකාරී නොසන්සුන්කාරී බවකින් පසුවන බව පෙනේ නම් වහාම රෝහලක් කරා රැගෙන යාම සුදුසු බව ඔහු පවසයි. කොවිඩ්වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු එන්නතක් තවමත් හඳුන්වා දී නොමැති නිසා කුඩා දරුවන් මෙම රෝගයට ගොදුරු නොවන ලෙස ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන්ගේ වගකීම බව වෛද්‍ය ක්‍රිස්ටෝපර් පවසා සිටී.

කුඩා දරුවන් සහ යෞවනයන් අතර COVID-19 පැතිර යන වර්තමාන තත්ත්වය පිළිබඳව සලකා බලන වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ ඉදිරි මාස කිහිපය ඉතාමත් සුපරික්ෂාකාරීව පසුවය යුතු බවයි. විශේෂයෙන්ම කැනඩාවේ එන්නත්කරණ වැඩසටහන යෞවනයන් අතරට පැමිණෙන තෙක් රෝගය පිළිබඳව අවධානයෙන් සිටීම කළ යුතු බව ඔවුහු පවසති.

Share this Post