Long March 5B චීන රොකට්ටුවේ විශාල කොටසක් සෙනසුරාදා (08) සවස් භාගයේ මාලදිවයිනට උතුරින් ඉන්දියන් සාගරයට ඇද වැටුණු බව China Manned Space Engineering Office සඳහන් කොට ඇත. චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන අන්දමට රොකට්ටුවේ සුන්බුන් බොහොමයක් වායුගෝලයේදී ගිනිබත් වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම සුන්බුන් කොටස් පාලනයකින් තොරව පෘථිවිය වෙත ඇදී ඒම පිළිබඳව වාර්තා වීමත් සමග එය පෘථිවියේ කිනම් ස්ථානයකට කඩා වැටේද යන්න පිළිබඳව සහ එම කඩා වැටෙන කොටස්වල විශාලත්වය පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් පැවතුණි. යම් විදියකින් එම සුන්බුන් කොටස් ජනාවාස ප්‍රදේශවලට ඇද වැටුණහොත් සිදුවිය හැකි බලපෑම පිළිබඳව විශේෂඥයන්ගේ අවධානය යොමු වී තිබුණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමරිකාවේ නාසා ආයතනය චීනයට දොස් පවරා ඇත. අභ්‍යවකාශ ඒජන්සියේ වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කරමින් නාසා පරිපාලක Sen. Bill Nelson පවසා ඇත්තේ, අභ්‍යවකාශ ක්‍රියාකාරකම්වලදී පෘථිවි සත්වයින් හා දේපළවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.  දිගුකාලීන තිරසාර බවකින් ස්ථාවරත්වය සහතික කරගනිමින් අවදානම අවම කර එම මෙහෙයුම් උපරිම විනිවිදභාවයෙන් සිදුකිරීම සියලු ජාත්‍යන්තර අභ්‍යවකාශ ප්‍රජාවේ වගකීම බව ඔහු පවසා සිටී. මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී චීනය විසින් අභ්‍යවකාශගතකරන ලද යානාවේ සුන්බුන් සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වී ඇතැයි බිල් නෙල්සන් පවසයි.

චන්ද්‍රිකා සහ වෙනත් වස්තූන් අභ්‍යවකාශගත කිරීමේදී ඒවා ඔසවාගෙන යෑමට යොදාගන්නා රොකට් යානා සාගරය ඉලක්ක කොට පතිත කිරීමට හෝ අවකාශයේ පවතින  graveyard කක්ෂවල තැන්පත් කර දශක ගණන් රඳවා තබා ගැනීමට කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් Long March 5B රොකට්ටුවේ විශාල බූස්ටර කොටසක් එසේ විනාශ නොවී පෘථිවි කක්ෂයට ඇතුළත්ව තිබුණි.

අඩි 100 ක් දිග, අඩි 16.5 ක් පළල, රාත්තල් 40,000 ක පමණ බරින් යුත් මිනිසුන් රහිත Long March 5B රොකට්ටුව පසුගිය අප්‍රේල් මස 29 වන දින චීනයේ Wenchang අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් කක්ෂගත කර තිබුණි.  චීනය විසින් අභ්‍යවකාශයේ ඉදිකෙරෙන පළමු ස්ථිර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Tianhe (Heavenly Harmony) හි ප්‍රධාන මොඩියුලය (main module) රැගෙන යාම මෙහි කාර්යභාරය විය.

 

 

 

Share this Post