මේ වන විට ඔන්ටේරියෝව තුළ ක්‍රියාත්මක වන stay-at-home නියෝගය මැයි 19 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබුණද එය තවත් සති දෙකක් දීර්ඝ කරන බව ඊයේ පළාත් අගමැති Doug Ford නිවේදනය කරන ලදී. ඒ අනුව ජූනි 02 දක්වා stay-at-home නියෝගය ක්‍රියාත්මක වේ.

ෆෝඩ් සහ ඔන්ටේරියෝ පළාතේ සෞඛ්‍ය උපදේශකයින් පවසන පරිදි රෝහල් දැඩි සත්කාර ඒකක තුළ පවතින අධික තදබදය වළක්වා ගැනීමට දෛනික රෝගීන් වාර්තා වීම අඩු අගයක තබා ගැනීම මේ මොහොතේ කළ යුතු ප්‍රධාන කාර්යය බවයි. කොවිඩ් වසංගතයේ හතරවන රැල්ල වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දේ.

මැයි 3 සිට 9 දක්වා පළාතේ රෝගීන් වැඩිවීම 100,000 කට 134.9 ක් ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇත. මෙය ඉහළ අනතුරු ඇඟවීමේ සීමාවට වඩා සියයට 2.5 ක වැඩි වීමකි. කොවිඩ් දෙවන රැල්ලේ උපරිම අවස්ථාවට වඩා දැන් පවතින තෙවන රැල්ලේදී රෝගීන් රෝහල්ගත කිරීම සහ දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම සිදුවෙමින් පවතී.

එම දත්ත මත පදනම්ව අවම වශයෙන් ජූනි 2 දා දක්වා stay-at-home නියෝගය දීර්ඝ කිරීමට ඔන්ටේරියෝව කටයුතු කර ඇති අතර ඉදිරි සති කීපය තුළ සිදුකරන අඛණ්ඩ ඇගයීම් වාර්තාවල තත්ත්වය පරීක්ෂා කර ජූනි 2 දායින් පසු එළිමහන් විනෝදාත්මක පහසුකම් ආදිය විවෘත කිරීම පිළිබඳ සලකා බැලීමට රජය අදහස් කරයි.

Share this Post