ඒ මානව ඉතිහාසයේ විශාලතම සහ මාරාන්තිකම මිලිටරි ගැටුම ලෙස සැලකෙන දෙවන ලෝක සංග්‍රාමය පැවති සමයයි. මෙම යුද්ධයෙන් මිනිස් ජීවිත මිලියන 70-85 ත් අතර සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර එය එවකට සිටි ලෝක ජනගහනයෙන් සියයට 3 ක පමණ ප්‍රතිශතයක් ලෙස සැලකේ.
1939 ඇරඹුණු යුද්ධය කැනඩාවටද විශාල බලපෑමක් එල්ල කළ අතර, 1939-1945 කාල වකවානුව සෑම කැනේඩියානු සිවිල් වැසියෙක්ම දැඩි සේ පීඩාවට පත් වූ වසර හයක් විය. මෙහිදී අනෙකුත් බොහෝ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට මෙන්ම බ්‍රිතාන්‍යයේ සහායට කැනඩාවටත් යුද්ධයට එක් වීමට සිදුවිය. ඒ වන විටත් ජාතීන් පනහකට වැඩි සංඛ්‍යාවක් යුද්ධයට සම්බන්ධ වී ගොඩබිමේ, මුහුදේ සහ ගුවනේ සිට සතුරාට ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබුණි.
මේ මහා සටන් වෙනත් මහද්වීපයක සිදු වූවත් එම යුද්ධයෙන් කැනඩාව සම්පූර්ණයෙන්ම වෙනස් රටක් ලෙස පරිවර්තනය වූ බව, එකල ළමා වයස්වල සිටි දැනටත් ජීවත් සිටින වැඩිහිටියෝ පවසති. යුද්ධයෙන් වැඩිපුරම පීඩාවට පත් වූයේ තරුණ කැනේඩියානුවන්ය. යුද ව්‍යසනය ඔවුන්ගේ ජීවිතවලට මෙන්ම පවුල්වලටද දැඩි සේ බලපෑම් එල්ල කර තිබුණි.
1939 සැප්තැම්බර් 1 වන දින ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. 1962 දී ටොරොන්ටෝවේ Rosedale ප්‍රදේශයෙන් ලිබරල් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රිවරයකු ලෙස පත්ව පසුව ෆෙඩරල් ඇමතිවරයකු ලෙස කටයුතු කළ Donald Stovel Macdonald යුද සමයේ ඔහුගේ අත්දැකීම් විස්තර කරමින් පවසා ඇත්තේ, “ඒ වෙද්දි මට අවුරුදු හයක් හතක් වුණත්, ලෝකයම නරක අතට හැරී ඇති බව මගේ පුංචි කමට මටත් හොඳටම තේරුණා” ලෙසයි. ඔහු එවකට Winnipeg හි ජීවත් වී ඇති අතර නාසි හමුදා ආක්‍රමණ පිළිබඳව එකල නිතර CBCරේඩියෝවෙන් පැවසූ අයුරු ඔහු සිහිපත් කර තිබුණි. ඔහුගේ ආච්චිලා, සීයලා සෑම මොහොතකම විසිත්ත කාමරයේ තිබූ ගුවන් විදුලිය වටා රොක් වී එම පුවත්වලට ඇහුම්කන් දුන් අයුරු ඔහුගේ මතකයේ තිබුණේ කිසිදා බැහැර නොයන අයුරිනි.
වසර හයක් පැවති යුද්ධය මුළු ලෝකයේම පැවැත්ම වෙනස් කළ අතර කැනඩාවද ඒ රැල්ලටම හසු විය. එවකට මිලියන 11 ක් පමණ වූ කැනේඩියානුවන් අතරින් මිලියනයකට වැඩි පිරිමින් සහ ගැහැනුන් නිල ඇඳුමට කැපවී කටයුතු කිරීමට යුද පෙරමුණට එක් විය. මෙයින් අතිමහත් බහුතර ජීවිත, වැඩි කාලයක් ඉදිරියට ඉතිරිව තිබූ තරුණ ජීවිත විය.
සන්නද්ධ හමුදාවන්හි සේවය කළ කැනේඩියානුවන්ගෙන් 42,000 කට වැඩි පිරිමින් සහ ගැහැනුන් යුද්ධය අවසානයේදී මිය ගොස් තිබුණි. තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා හෝ සිරුකරුවන් බවට පත් වී අතුරුදන්ව සිටියහ. තම ආදරණීයයන් කුමන අයුරකින් හෝ අහිමි වූ කැනේඩියානුවන්ට එය ඉතා දුෂ්කර කාලයක් විය. සියලුම තරුණ හඬවල් යුද්ධයේ කර්කශ ඝෝෂාවෙන් වැසී ගොස් තිබුණි.
Display of students’ poster competition winners, Eaton’s (July 2, 1943 – Photographer: John H. Boyd,
City of Toronto Archives – Fonds 1266, Item 86081) – Courtesy of Toronto Public Library
දරුවන් මෙහි භයානකම වින්දිතයින් විය. යුද්ධය ආරම්භ වූ වහාම, එතෙක් ඒ ළමා ජීවිත සමග නිරතුරුවම සිටි වැඩිහිටියන් අතුරුදහන් වීමට පටන් ගති. වැඩිමහල් සොයුරන් / සොයුරියන්, පියවරුන් සහ මාමාවරුන් හමුදාවට බැඳුණු අතර ඔවුන් රට පුරා හමුදා කඳවුරුවල හෝ විදේශගතව සේවය කිරීමට යොමු කර තිබුණි. පිරිමි/ගැහැනු
ගුරුවරු කෙමෙන් පන්ති කාමර අතහැර ත්‍රිවිධ හමුදා සේවාවලට එක් විය. ඔවුන් සිවිල් ඇඳුමින් සැරසුණු මිනිසුන්ගේ සිට නිල ඇඳුමින් සැරසුණු වීරයන් දක්වා, ඇතැම් විට දිවි පිදූ විරුවන් දක්වා ඉහළ තැන්වලට පත් විය.
කෙසේ වුවත් මෙම සියලු දුෂ්කරතා මැද කැනඩාව පරිණාමීය යුගයකට සම්ප්‍රාප්ත වෙමින් පවතින බව හොඳහැටි පෙනී ගිය කරුණක් විය. මෙම කාලය තුළ කැනේඩියානු කාන්තාවන්ගේ භූමිකාව විශාල අන්දමින් වෙනස් විය. සටන් කිරීමට පිරිමින් යෑමත් සමග, කම්හල්වල, ගුවන් තොටුපොළවල සහ ගොවිපොළවල ඇතුළු වරෙක පිරිමින් විසින් පුරවා තිබූ රැකියා සඳහා කාන්තාවන් බඳවා ගනු ලැබුණි. යුද්ධයේ ආරම්භක සමයේදී කැනේඩියානු කාන්තාවන් ලක්ෂ 6 ක් පමණ රැකියාවල නිරතව සිට ඇති අතර යුද්ධය අතරතුර එම සංඛ්‍යාව දොළොස් ලක්ෂයක්, එනම් දෙගුණයක් දක්වා වැඩි විය.
Salvation Army day care, Lisgar Street, February 17, 1943- Photographer John H. Boyd
City of Toronto Archives, Fonds 1266, Item 83552 – Courtesy of Toronto Public Library
එපමණක් නොව, පියවරුන් ඇතුළු නිවෙස්වල වැඩිහිටියන් යුද රාජකාරි සඳහා පිටත්ව ගිය පසු, මවුවරුන් ඇතුළු වැඩිහිටි කාන්තාවන් රැකියාවලට පිටත්ව ගිය පසු ඉවුම් පිහුම්, කුඩා ළදරුවන් බලා ගැනීම් සිට පිරිසිදු කිරීම් දක්වා සෑම වැඩක්ම වයස 8 න් පමණ ඉහළ දරුවන් පිට පැටවුණි. එකල ‘සාමාන්‍ය ගෙදර වැඩ සඳහා’, ‘දරුවන් බලා ගැනීම සඳහා’ වැනි උපකාර ඉල්ලන දැන්වීම් අතන මෙතන සුලභ විය. සුදු හෝ නිල් කරපටි වැටුප් ශ්‍රම බලකායට එක් වූ මවුවරුන් නිසා අවුරුදු 10-12 වයසේ කුඩා ගැහැනු ළමුන්ට ඉතා ඉක්මනින් ඉහත දැන්වීම්වල සඳහන් රැකියාවලට යෑමට අවස්ථාව ලැබුණි. දෙවන ලෝක යුද්ධය තුළ දරුවන්ගේ කාර්යභාරය එතෙකින් නිමා නොවුණි. ඔත්තුකරුවන් ගැන සෝදිසියෙන් සිටින ලෙස සිසුන්ව දිරිමත් කරවන පෝස්ටර් සෑම පාසලකම බිත්ති පුරා අලවා තිබුණි. විදේශීය යුද්ධය සහ සතුරා පරාජය කිරීමට කැනඩාවේ දායකත්වය ගැන පාඩම් පාසල්වල විෂයයන් අතරදී ඉගැන්වුණි.
ඒ සමයෙහි ‘සාමාන්‍ය ජන ජීවිතය’ කියා දෙයක් නොතිබුණු අතර සෑම කාර්යයක්ම යුද්ධය මත බැඳී තිබුණි. සියලුම සිවිල් වැසියන් (පිරිමි, ගැහැනු, ළමුන්, වැඩිහිටියන් ආදි) මැහුම් ගෙතුම් ආදියට දක්ෂයන් වූ අතර මේස්, ස්කාෆ්, ස්වේටර් වැනි මූලික ඇඳුම් ආයිත්තම් නිපදවා යුද සේවයට බැඳී සිටින්නන්ට පෞද්ගලිකව උපකාර කිරීමට කටයුතු කිරීම මෙකල ජනප්‍රියම ක්‍රමයක් විය. අත්වැසුම්, වානේ හිස්වැසුම් සඳහා යටින් පළඳින තොප්පි සහ යුද බිමේ තුවාල ලබා සුවය ලබන්නන් සඳහා තුවාල ආවරණ සහ ඇඳ ඇතිරිලි ආදි විශේෂිත භාවිතයන් නිපදවන හැටි සඳහන් පොත් පිංචක්ද මෙකල රතු කුරුස සංවිධානය විසින් සකස් කොට බෙදා හැර තිබුණි.
එදා ඔන්ටේරියෝව සහ ටොරොන්ටෝව
1834 වසරේදී කැනඩාවේ නගරයක් ලෙස සංස්ථාගත කෙරුණු ටොරොන්ටෝව, විදේශයන්හි සටන් ඇවිළුණු පළමු (1914-1918) සහ දෙවන ලෝක යුද්ධ දෙකේදීම යුද කටයුතු සම්පාදනය කිරීමේදී වැදගත් මධ්‍යස්ථානයක් බවට පත් වී තිබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් තමන් යටතේ සිටි රටවල් සටන් සඳහා බලමුලු ගැන්වීම නිසා ඒ යුද්ධවලින් ඉවත් වී සිටීමට කැනඩාවට කිසිසේත්ම නොහැකි විය.
පළමු ලෝක සංග්‍රාමයේදී යුද උපකරණ නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා කිහිපයක් ඔන්ටේරියෝව තුළ ආරම්භ කර තිබුණත් ඒවා විශාල ලෙස යුද උපකරණ නිෂ්පාදන කළ කම්හල් නොවුණි. ඒ නිසාම පළවෙනි ලෝක යුද්ධයෙන් පසු ඒවා වසා දමා හෝ සිවිල් නිෂ්පාදන කටයුතු සඳහා භාවිතයට ගෙන තිබුණි. නමුත් 1939 න් පසු ඇරඹි දෙවන ලෝක යුද්ධයත් සමග කැනඩාව මිත්‍ර පාක්ෂික යුද ප්රයත්නය සඳහා යුද ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රධාන නිෂ්පාදකයෙකු බවට පත් විය. ඊට ඔන්ටේරියෝහි බොහෝ කාර්මික මධ්‍යස්ථාන වැදගත් දායකත්වයක් ලබා දී තිබුණි. නැව් සහ ගුවන් යානා, ආයුධ සහ යුධෝපකරණ ඉදිකිරීම් සඳහා වූ යුද කර්මාන්ත මධ්‍යස්ථානයක් ලෙස එකල ටොරොන්ටෝව පැවතුණි. එහිදී මෙම කර්මාන්ත ශාලා කැනේඩියානු හමුදාවන්ගේ ඉල්ලීම් ඉටුකළා පමණක් නොව, බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සහ එක්සත් ජනපදයට අවශ්‍ය යුද භාණ්ඩද නිෂ්පාදනය කර බෙදා හැරීම සිදුකොට තිබුණි.
Bernice Coulter soldering airplane parts, DeHavilland factory (June 21, 1943 – Photographer: John H. Boyd,
City of Toronto Archives – Fonds 1266, Item 83188) – Courtesy of Toronto Public Library
එකල ඔන්ටේරියෝවේ යුද උපකරණ නිෂ්පාදනය කෙතරම් දියුණු වී ඇත්ද යත්, 1939 වෙද්දී සන්නද්ධ වාහන නිෂ්පාදනය නොකළ මෙරට 1944 අවසානය වන විට වාර්ෂිකව යුද ටැංකි සහ සන්නද්ධ පිරිස් වාහක රථ 14,000 ක් නිෂ්පාදනය කරන මට්ටමට පැමිණ තිබුණි. එපමණක් නොව, දෙවන ලෝක යුද්ධයේ පළමු වසර තුළ කාලතුවක්කු 200 ක පමණ නිෂ්පාදනයක් කළ මෙරට 1944 වන විට එය වසරකට 16,000 ක් දක්වා වැඩි කරගෙන තිබුණි. මෙම යුද නිෂ්පාදනවල සෑම අංශයකටම කාන්තා සේවිකාවන් තම ශ්‍රම දායකත්වය දැවැන්ත ලෙස ලබා දී තිබූ අතර ටොරොන්ටෝ Scarborough හි යුද උපකරණ කර්මාන්ත ශාලාවක් වූ General Engineering Company ඉන් එකක් විය. සියලුම ක්රමාංකනවල පතොරම් එහි නිෂ්පාදනය විය. එම කර්මාන්ත ශාලාවේ අනුග්‍රහයෙන් විකාශනය වූ Let’s Visit එකල ප්‍රචාරය වූ ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනක් විය. එය නව සේවිකාවක් එක්තරා කර්මාන්තශාලාවක් වෙත යොමුකිරීම හරහා එහිදී ඇය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ගැන විස්තර කෙරෙන්නකි. කාර්මික වැඩ සඳහා කාන්තාවන්ගේ යෝග්‍යතාව අවධාරණය කෙරෙන වැඩසටහනක් වූ මෙය එතෙක් කාන්තාවන්ට නුසුදුසු, රළු, අපිරිසිදු හා අනතුරුදායක යැයි සිතූ සාම්ප්‍රදායික දැක්මට එරෙහිව කළ පෙළගැස්මක් විය.
යුද ක්ෂේත්රයේ අවි ආයුධ උපකරණ නිෂ්පාදනය පමණක් නොව, රටෙහි ගමනාගමනය ඇතුළු විවිධ ක්ෂේත්රවලට අවශ්‍ය ලොකු කුඩා භාණ්ඩ නිෂ්පාදනය කිරීමටද ඔන්ටේරියෝව අත ගැසූ අවදිය මෙය විය. විශේෂයෙන්ම 1944 වන විට වසරකට මගී ගුවන් යානා දහස් ගණනක් නිෂ්පාදනය කිරීමට ඔන්ටේරියෝව සමත් වී තිබුණි. මේ ඔස්සේ කාන්තාවන් කැනඩා ශ්‍රම බලකායට එක් කර ගැනීමට දිරිමත් කළ තවත් සමාගමක් වූයේ Fort William (වර්තමානයේ Thunder Bay) සහ Brantford හි Canadian Car and Foundry Company යයි. මේ බොහෝ කර්මාන්ත ශාලා හරහා යුද භටයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ චිත්ත ධෛර්යය ගොඩ නැංවීමේ විවිධ ඉසව් (නාට්‍ය, සංගීත, නැටුම්, ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ දේශනා, රැළි) දියත් කොට තිබුණි.
යුද්ධය නිසා පවුල්වල සාමාජිකයින් සී සීකඩ වෙන් වීම වැනි සාමාජයීය ගැටලුත් සමගම මේ කාලයේදී කැනඩාවේ ජනාකීර්ණව තිබූ සියලු පළාත්වල වැසියන්ට නිමක් නොවූ ප්‍රශ්න තිබුණි. වර්තමානයේ මෙතරම් දියුණු උපක්‍රම තිබියදීත් කැනඩාවේ ශීත කාලය කෙතරම් දුෂ්කරදැයි ඔබ කවුරුත් දනී. එසේනම් 1939 වැනි කාලයක ඒ පිළිබඳව ඔබට සිතාගත හැකිද? එකල ශීත ඍතුවේදී කැනඩාවේ බොහෝ නිවෙස් තාපනය සඳහා ගල් අඟුරු යොදාගැනීම සුලභ වූවක් විය. නමුත් යුද්ධයත් සමග ගල් අඟුරු ආකාරවල සේවය කරන කම්කරුවන්ගේ බරපතල හිඟයක් රට තුළ ඇති විය. එය කැනඩාවටම බලපෑ නමුත් එකලත් වැඩි ජනගහනයක් සිටි ටොරොන්ටෝවට එය ඉතාමත් බරපතල ගැටලුවක් විය. 1943 මුල් මාසවල, ශීත කාලයේ දරුණුම සමයේදී, මෙම හිඟය පියවාගත නොහැකි තරම් උග්‍ර වී ඇති අතර එහිදී කැනඩාවේ ඉන්ධන පාලකවරයා ගල්අඟුරු සුරක්ෂිත කිරීම සඳහා ටොරොන්ටෝවේ නිවාස සියල්ල ෆැරන්හයිට් 650 (සෙල්සියස් අංශක 18.3) මට්ටමේ තබා ගන්නා ලෙස නියෝග දී තිබුණි. ඒ සමගම මාධ්‍ය ඔස්සේද ගල්අඟුරු රැක ගැනීම දිරිගන්වන වැඩ සටහන් ඉදිරිපත් කර තිබුණි. එහිදී Globe and Mail පුවත්පත විසින් සිසිල් නිවසක ඇඳුම් ඇඳිය යුතු ආකාරය ගැන විශේෂාංගයක්ද පළ කිරීමට කටයුතු කොට තිබුණි. ගල් අඟුරු පමණක් නොව, සත්ව ලොම් සහ සත්ව සම් හිඟයද එකල සමස්ත කැනඩාවම මුහුණ දී තිබූ තවත් අභියෝගයක් විය. විශේෂයෙන්ම ළමුන් සඳහා සපත්තු හා ලොම් ඇඳුම් නිෂ්පාදනයට මෙම හිඟය දැඩිව බලපා තිබුණි.
Buying food at Eatons using ration stamps (March 30, 1943 – Photographer: John H. Boyd
City of Toronto Archives, Fonds 1266, Item 84160) – Courtesy of Toronto Public Library
දෙවන ලෝක සංග්‍රාමයේදී ටොරොන්ටෝවේ අත්‍යවශ්‍ය ආහාරවල විශාල හිඟයක් පැවති අතර ඒවා ‘සලාක’ ක්‍රමයට නිකුත් කෙරුණි. ඒ සඳහා රජය ජනතාවට ‘සලාක පොත්’ නිකුත් කොට තිබුණි. මෙහිදී හමුදා නිලධාරීන්ට හැර සියලුම වැඩිහිටියන්ට සහ ළමුන්ට රජය මෙම සලාක පොත ලබා දී ඇත. සලාක භාණ්ඩයක නිශ්චිත ප්‍රමාණයකට හුවමාරු කළ හැකි කූපන් මෙම පොත්වල අඩංගු විය. සීනි, කෝපි, තේ, සීමාසහිත මත්පැන් වර්ග කීපයක්, සැකසූ ආහාර, මස්, ටින්මාළු, චීස්, ටින්කිරි, සහ බටර් වැනි දේ මෙම සලාකවලට අයත් විය. මෙම සලාක පොත Eatons වැනි වෙළඳසල්වලට ඉදිරිපත් කොට ආහාර ලබාගත හැකිවිය. (අයර්ලන්තයෙන් සංක්‍රමණය වූ Timothy Eaton විසින් 1869 දී ටොරොන්ටෝවේ ආරම්භ කරන ලද T. Eaton Company Limited පසුව Eaton’s සහ Eaton යන නම්වලින් හඳුන්වා ඇත. රජයට අයත් නොවූවද කැනේඩියානු දෙපාර්තමේන්තු ආහාර ගබඩා දාමයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙය යුද සමයේ රටේ විශාලතම ආහාර ගබඩාව ලෙස සලකනු ලැබුණි. නමුත් විසිවන ශතවර්ෂය අවසානයේ වෙනස් වූ ආර්ථික හා සිල්ලර භාණ්ඩ පරිසරය සහ ආයතනයේ වැරදි කළමනාකරණය හේතුවෙන් 1999 දී Eaton’s දාමය බංකොලොත්භාවයෙන් අවසන් වී ඇත.)
එපමණක් නොව, නිවාඩු ලබා සිටින සන්නද්ධ හමුදා සාමාජිකයින්ට හා සංචාරයන් සඳහා කැනඩාවට පැමිණෙන අමුත්තන්ට තාවකාලික සලාක කාඩ්පත් නිකුත් කිරීමටද කටයුතු කොට ඇත. ළමා සලාකය ලෙස ලබාදුන් සලාක පොතට කිරි සහ දොඩම් යුෂ වැනි සෞඛ්‍ය වර්ධනයට අවශ්‍ය ආහාර ලබාගත හැකි විය.
එකල සිටි, දැනටත් අප අතර සිටින ඇතැම් කැනේඩියානු වැඩිහිටියන් පවසන ආකාරයට සාමාන්‍ය කැනේඩියානුවකු අද මෙන් දෙගුණයක ආහාර ප්‍රමාණයක් එකල කෑමට ගෙන ඇත. නමුත් යුද්ධයත් සමග එය සීමා කිරීමට ඔවුනට සිදුවී ඇති අතර සතියකට සීනි කෝප්පයක්, තේ අවුන්ස 2 ක් හෝ කෝපි අවුන්ස 8ක්, බටර් අවුන්ස 4ක්, මස් අවුන්ස 24-32ක් ලෙස සෑහීමට පත්වීමට ඔවුනට සිදුවී ඇත. ඒ වැඩිහිටියන් පවසන ආකාරයට සලාක පොත්වල කූපන් දිගු කිරීම සඳහා රජය විසින් නිර්මාණශීලී ඉලක්ක ලබා දී ඇති අතර එහිදී Victory Gardens ලෙසින් නම් කර ප්‍රජා උද්‍යානවල ගස් සිටුවීමට මිනිසුන් උනන්දු කොට ඇත. ගෙවතු වගාවද මෙකල නව ප්‍රවණතාවක් විය. 1939 -1941 දක්වා මේ සියලුම දේවල් සඳහා මිනිසුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවත් යුද්ධය දිග්ගැස්සෙන විට මිනිසුන් මේවායින් වෙහෙසට පත් වී තිබුණි.
Mr. And Mrs. Sandy Stefanik at their Victory Garden plot in the Fleet Street gardens (May 9, 1940 – Photographer: John H. Boyd
City of Toronto Archives Fonds 1266, Item 65863) – Courtesy of Toronto Public Library
යෝර්ක් විශ්වවිද්‍යාලයේ කැනේඩියානු සූපශාස්ත්‍ර විශේෂඥ Mary F. Williamson ඇගේ මව විසින් ආහාර හිඟය ගැන 1942 දී ලියූ ලිපියක කොටසක් මෙසේ උපුටා දක්වා ඇත. ‘බ්‍රිතාන්‍ය වෙත ඇති අපේ බැඳීම්, වගකීම් සපුරාලීම සඳහා සති හතක් ඌරුමස් හෝ බේකන් භාවිත නොකරන්නැයි අපෙන් ඉල්ලීම් කර ඇත. එසේම වෙළඳපොළේ හරක් මස් හෝ අන් කිසිදු මසක් නැත. බැටළුවන් ඇති කරන්නන්ගෙන් එම සතුන් නොමරා ලොම් සඳහා ඇතිකරන ලෙස ඉල්ලා ඇති නිසා බැටළු මස්ද නොමැත. එනිසා මස් වෙළෙන්දෝ එම කඩ සාප්පු වසා අඟුල් දමා තිබේ’ මේරි විලියම්ස් ගේ මව පවසන ආකාරයට 1943 නත්තල ඉතාමත් දුගී නත්තලක් විය. ‘නත්තල් රාත්‍රි ආහාරය ඉතාමත් සරල විය. නත්තල සැමරීමට ආහාර ඇතුළු අනෙකුත් බඩු ගැනීමට වුවමනා නම් සාප්පුවෙන් සාප්පුවට පැය ගණනක්, දින ගණනක් පෝලීම්වල ලගිමින් එය කළ යුතු විය’. මස් සොයාගැනීම දුෂ්කර වූ විට එළවළු සෑම ගෙදරකම ප්‍රධාන ආහාර වේලෙහි අංගයක් විය. අර්තාපල් මිලෙන් අධික වූ අතර ඒ වෙනුවට ටර්නිප්ස් ආහාරයට එක්කර ගැනීමට මිනිසුන් හුරු විය. 1940 ගණන්වල කැනේඩියානු පවුල් සඳහා ලබාදුන් බටර් සලාකය නාස්ති නොකර උපරිම ප්‍රයෝජනයට ගන්නා ආකාරය ගැන සඳහන් වැඩසටහන් නිතර CBC රේඩියෝවෙන් ප්‍රචාරය වී තිබුණි.
රබර්, ගෑස්, ලෝහ සහ නයිලෝන් වැනි භාණ්ඩ යුද්ධයේදී අත්‍යවශ්‍ය වූ ද්‍රව්‍ය බැවින් ඒවා සොයා ගැනීම අතිදුෂ්කර විය. පැරෂුට් නිපදවීම සඳහා නයිලෝන් යොදා ගැනීම නිසා කාන්තාවන්ගේ ස්ටොකිං නිපදවීමට අවශ්‍ය නයිලෝන් හිඟ විය. අවසානයේදී කාන්තාවන් තමන්ගේ කකුල් පින්තාරු කරගනිමින් ස්ටොකිං මේස් ඇඳ ඇති බව පෙන්වීමට පටන්ගෙන ඇත.
නව ගෘහ උපකරණ සහ මෝටර් රථ ටයර් ආදි තවත් බොහෝ භාණ්ඩ රජය විසින් පාලනය කර තිබූ අතර ගුවන්විදුලි දැන්වීම්, පෝස්ටර් ආදියෙන් ජනතාවට උපදෙස් දී තිබුණේ, ර්“Use it Up, Wear it Out, Make it Do, or Do Without.” ලෙසිනි.
V-E (Victory in Europe) Day celebrations, University students, St. George Street (May 7, 1945 – Photographer: John H. Boyd
City of Toronto Archives, Fonds 1266, Item 96210) – Courtesy of Toronto Public Library
1945 සැප්තැම්බර් 2 යුද්ධය අවසන් වූ විට ඔන්ටේරියෝව ඇතුළු සමස්ත කැනඩාවේම ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නැගුවේ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නැවත නිවෙස්වලට පැමිණෙන නිසා පමණක් නොව, සාමාන්‍ය ජන ජීවිතයට නැවත පැමිණීමට ඔවුන්ට ලැබුණු අවස්ථාව සමරමිණි.
කෙසේ වුවත් දෙවන ලෝක සංග්රාමයෙන් පසු කැනඩාව ලෝකයට වඩාත් විවෘත වූ අතර සරණාගතයින්, යුද මනාල/මනාලියන්, සංක්‍රමණිකයින් ඇතුළු බොහෝ දෙනෙක් කැනඩාවට පැමිණීමට පටන් ගති. 1947 සිට 1952 දක්වා කාලය තුළ සරණාගතයින් 157,000 කට වැඩි පිරිසක් කැනඩාවට පැමිණ ඇති අතර මේ බොහෝ දෙනෙකු ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ඉතාලිය, ඔස්ටි්රයාව සහ ජර්මනිය වැනි යුරෝපීය රටවල්වලින් පැමිණ තිබුණි. ඔවුන් පතල් කර්මාන්තය, වන වගාව, කෘෂිකර්මය වැනි විවිධ අංශවලින් කැනඩාවේ ශ්‍රම දායකත්වයට එක් විය. යුරෝපයේ සිට මෙහි පැමිණි යුද මනාලියන් කැනඩාවේ කටුක ශීත දේශගුණයට හුරු වෙමින් විවිධ අභියෝගවලට මුහුණ දුන්හ. 1945 වන විට මිලියන 12 ක් වූ කැනේඩියානු ජනගහනය මේ ජන ගලනයත් සමග 1950 මැද භාගය වන විට මිලියන 16 දක්වා වැඩි විය. මෙසේ වෙනස් වූ ජනගහන මිශ්‍රණය කැනඩාවේ දේශපාලන, සංස්කෘතික ආදි සියලු කටයුතු කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල කරමින් වැඩී වර්ධනය වීමට පටන් ගති.