අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින Pfizer සමාගම විසින් කැනඩා රජයට යොමු කළ අයදුම්පතට අනුව එන්නත පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමෙන් පසු මෙම අනුමත කිරීම සිදුකරන ලද බව සෞඛ්‍ය ප්‍රධානීන් පවසා සිටියි. Pfizer එන්නත අවුරුදු 16 ට සහ ඊට වැඩි අය සඳහා භාවිතය දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද අතර කොවිඩ්-19 මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ එය මේ වන විට කැනඩාවේ සාර්ථකව භාවිත කරමින් සිටී.

එක්සත් ජනපදය මෙම වයස් කාණ්ඩයේ 2,200 කට වැඩි පිරිසකට මෙම එන්නත ලබාදෙමින් මේ සඳහා වන මූලික පරීක්ෂණ සිදුකර ඇති අතර එන්නත ලබාදුන් ළමුන් අතර කොවිඩ්-19 රෝගීන් වාර්තා වී නොමැති බව ඒ පිළිබඳ වාර්තා සඳහන් කරයි. මෙම අත්හදා බැලීම සඳහා වැඩිහිටියන්ට ලබාදෙන එන්නත් මාත්‍රා දෙක ඒ ආකාරයෙන්ම යොදාගෙන තිබුණි. දෙවන මාත්‍රාව ලබා දීමෙන් පසු එම වයස් කාණ්ඩයේ එන්නත් සඵලත්වය (efficacy) සියයට සියයක් ලෙස ප්‍රතිචාර දක්වා ඇත.

එක්සත් ජනපද CDC විසින් මෙම වයස් කාණ්ඩයට Pfizer එන්නත ලබාදීම සඳහා අනුමැතිය ලබන සතියේදී කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වන අතර කැනඩාව පියවරක් ඉදිරියට ගොස් එම අනුමැතිය අද දින ලබා දී ඇත.

කැනඩාවේ කොවිඩ්-19 රෝගීන් අතරින් පහෙන් එකක ප්‍රතිශතයක් කුඩා දරුවන් හා තරුණ වයසේ පසුවන දරුවන් වීමත් සමග ඔවුන් සඳහා එන්නතක් ලබා ගැනීම කැනඩාවේ තීරණාත්මක අංගයක් වී තිබුණි. ඒ අනුව කොරෝනාවෛරස වසංගතයට එරෙහිව කැනඩාව ගෙන යන සටනේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස මෙය දැක්විය හැකි බව වෛද්‍ය ෂර්මා පවසා සිටියි.

මෙම අනුමැතිය වහාම ක්‍රියාත්මක වන පරිදී යාවත්කාලීන කරන ලද බව Health Canada ප්‍රකාශ කර සිටින අතර පළමු වටයට එන්නත් කළ යුතු පළාත් තෝරා ගැනීමෙන් පසු මෙම වයස් කාණ්ඩයට එන්නත ලබාදීම ආරම්භ කරන බව සඳහන් වේ.

මේ වන විට කොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ එන්නත්කරණ වැඩසටහන වයස මාස 6 සිට අවුරුදු 11 දක්වා වූ වයස් කාණ්ඩවල පසුවන දරුවන් පිළිබඳවද අවධානය යොමු කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී.

කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත්කරණ වැඩසටහන යටතේ අද දින වන විට කැනේඩියානුවන් තුනෙන් එකකට වැඩි පිරිසකට අවම වශයෙන් එන්නතෙහි පළමු මාත්‍රාව හෝ ලබා දී ඇති බව Health Canada දත්ත දක්වා සිටී. මෙය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා මැයි මාසය තුළ පමණක් එන්නත් මිලියන 10 ක් පමණ ලබාගැනීමට කටයුතු සූදානම් කොට ඇති බව රජය පවසා සිටියි.

 

 

Share this Post