ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි.

සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel  පළාතෙහි සංවිධානය කර තිබූ Doses After Dark එන්නත් වැඩ පිළිවෙළ විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. කැනඩාව තුළ රාත්‍රියක් පුරා නොකඩවා කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ  ප්‍රථම අවස්ථාව මෙයයි. එන්නත් මැරතන් සායනයක් ලෙස හඳුන්වා තිබූ මෙය සෙනසුරාදා (15) දහවල් 12.30 ආරම්භව ඉරිදා(16) සවස 8.30 දක්වා නොකඩවා පැය 32 ක්  ක්‍රියාත්මක විය. මිසසාගාහි ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (The International Centre) පැවැත්වුණු Doses After Dark වැඩසටහන තුළ එන්නත් මාත්‍රා 7600 කට වැඩි ප්‍රමාණයක් ලබාදීමට සැලසුම් කර තිබුණි. වයස අවුරුදු 18 ට වැඩි Peel  පළාතේ පදිංචි සියලුම පුද්ගලයන්ටත් එම පළාත් සේවය කරන්නන්ටත් එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව ලැබුණි.

පළාතේ වඩාත් ක්‍රියාකාරී ජන සමූහය ඉලක්ක කර ගනිමින් මෙම රාත්‍රි කොවිඩ්-19 එන්නත් වැඩසටහන පැවැත්වූ බව එහි සංවිධායකයින් පවසයි. විශේෂයෙන්ම සේවා වැඩමුර (Shift) සේවකයන්, කුලී රථ හා ට්‍රක් රථ රියදුරන් සහ තරුණ වයස් කාණ්ඩයේ (18-39) පසුවන්නන් පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කොට ඇත. එසේම ඔන්ටේරියෝ health card පහසුකම නොමැති ජාත්‍යන්තර සිසුන්ටද මෙම සායනය තුළින් එන්නත ලබාගත හැකි  විය.

කැනඩාවේ සියලුම පළාත් තුළ මේ වන විට එන්නත් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන අතර ඉරිදා (16) උදෑසන වන විට  ඔන්ටේරියෝව තුළ පමණක් සමස්ත එන්නත් මාත්‍රා මිලියන 7 ක් ඉක්මවා ලබා දී තිබුණි.

Share this Post