යම් පුද්ගලයකු තම මවුපියන්ගෙන්, තමන් උපන් ජන කොට්ඨාසයෙන්, තම සංස්කෘතික උරුමයන්ගෙන් බලහත්කාරයෙන් ඉවත් කළහොත් ඔහුට හෝ ඇයට ඇතිවන පීඩනයේ බලපෑම කොතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. එවැනි බලහත්කාරකම් මොන ආකාරයේ සමාජ ස්ථරයක සිදුවුවත් එ්වා ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් හැඳින්වීම සුදුසුය.

මීට දශක කීපයකට පෙර ආරම්භ වී මෑත කාලය වනතුරුම අතිශය ඛේදජනක ඉරණමකට ගොදුරු වූ කැනේඩියානු ආදිවාසී දරුවන් පිළිබඳ කතාව සැබවින්ම ශිෂ්ට සමාජයක සිදුනොවිය යුත්තකි. 1960, 70, 80 දශකවලදී ආදිවාසී ස්වදේශීය පවුල්වල දරුවන් දහස් ගණනක් ඔවුන් අයත් ජන සමාජයෙන් බලහත්කාරයෙන් වෙන් කොට ඔවුන්ගේ සියලු අනන්‍යතාවන් සොරාගෙන ඇත්තේ ඉතාමත් පිළිකුල් සහගත ආකාරයෙනි. මෙසේ පවුල්වලින් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබ දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින් විසින් තමන්ගේ නියම අයිතීන් කඩ කිරීම පිළිබඳව නඩු ගණනාවක් මේ වන විට කැනඩාවේ අධිකරණ තුළ ගොනු කොට ඇත. එසේ බලහත්කාරයෙන් පවුල්වලින් ඉවත් කර ඇති දරුවන් ප්‍රමාණය 20,000 ක් පමණ වෙතැයි ඇස්තමේන්තුගත කොට ඇතත් මෙම සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බවද සඳහන් වේ.

මෙම දරුවන් ඔවුන්ගේ මවුපියන්ගෙන් ඉවත් කොට වෙනත් පවුල් වෙත ලබා දී ඇති අතර එසේ දුන් ඇතැම් දරුවන් බරපතල අපචාරවලට ගොදුරු කරගැනීම බහුලව සිදුවී ඇත. තවත් දරුවන් ප්‍රමාණයක් සිය ජීවිතවලින් පවා වන්දි ගෙවා ඇත්තේ අතිශය ඛේදනීය ලෙසය. ආදිවාසී ස්වදේශීය ජනයාගේ පාරම්පරික ඉන්දීය සංස්කෘතිය නූතන කැනඩාවට දැඩි හිසරදයක් වී තිබී ඇති අතර එහිදී ඔවුන්ගේ අනන්‍ය ගති මකා දැමීමට නූතන කැනේඩියානුවන් උත්සාහ ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස 1840 සිට 1996 දක්වා කාලය ඇතුළත Metis සහ Inuit පවුල්වලට අයත් ලක්ෂ සංඛ්‍යාත වූ දරු පිරිසක් ඔවුන්ගේ පවුල්වලින් ඉවත් කොට ඇත. ඇතැම් දරුවන් ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළත් කොට ඇති අතර ඇතැම් දරුවන්ට සිදුවූයේ කුමක්ද යන්න මේ වන තෙක් හෙළිදරව් වී නොමැත. මෙසේ පාසල්වලට ඇතුළත් කළ දරුවන් එම පාසල් තුළදී විවිධ හිංසාවන්ට ගොදුරු වී ඇති අතර මවුපියන්ගේ හා තම නෑසියන්ගේ වියෝව දරාගැනීමට නොහැකි වූ ඇතැම් දරුවන් මානසික ව්‍යාධිවලට ලක්වී සියදිවි නසාගැනීමට පවා පෙළඹී ඇත.

1980 සිට 2012 දක්වා වූ මෑත කාල සීමාවේදීද ආදිවාසී ජන පිරිස්වල සිටි ස්වදේශීය කාන්තාවන් හා දැරියන් 1200 කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බව 2016 නිකුත් කළ කැනේඩියානු රාජකීය පොලිස් හමුදා වාර්තාවක දැක්වේ. මෙසේ අතුරුදහන් වූවන් අතරින් බහුතරයක් ඝාතනය කොට ඇති බව මේ වන විට හෙළිදරව් වී ඇත.

පසුගිය දශක ගණනාව පුරා තම ජන ප්‍රජාවට සිදුවූ පීඩාවන්, අඩන්තේට්ටම් සහ අපරාධ පිළිබඳව කැනඩාවේ ආදිවාසී ජනතාව දිගින් දිගටම හඬ නගමින් සිටින අතර ඔවුන් රජයට බල කොට කියා සිටින්නේ අගතියට පත් තමන්ගේ මිනිසුනට සාධාරණය ඉටුකර දෙන ලෙසයි.

මේ සිදුවීම් පිළිබඳව දැඩි විමසිල්ල යොමු කළ කැනඩා රජය, පවුල්වලින් වෙන් කරනු ලැබූ දරුවන් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටුකිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි. එ් අනුව එම සාහසික අපරාධයට වන්දි වශයෙන් ඩොලර් මිලියන 750 ක් ගෙවීමට ෆෙඩරල් රජය එකඟත්වය පළ කොට තිබුණි. මෙහිදී මෙම දරුවන්ට හෝ දරුවන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් පිළිබඳව උරුමකම් කියන්නකුට ඩොලර් 25,000 සිට 50,000 දක්වා වන්දියක් ලැඛෙන ආකාරයට මෙම මුදල ඛෙදී යනු ඇත.

කැනඩාවේ දේශීය සබඳතා පිළිබඳ අමාත්‍යවරිය කැරොලයින් ඛෙනට් විසින් මේ පිළිබඳව නිවේදනය නිකුත් කරනු ලැබූ අතර එහිදී ඇය විසින් රටෙහි පැවති අඳුරු කාල පරිච්ඡේදය පිළිබඳව සිය කණගාටුව පළ කර තිබුණි. රජය විසින් ගත් මෙම තීරණය එම වේදනාකාරී සිදුවීම් යම් තරමකට හෝ නිවැරදි කිරීමට තැබූ පියවරක් ලෙසද ඇය එහිදී පැවසීය.

අද වන විට කැනඩාව තුළ ආදිවාසී ස්වදේශීයයන් දාහතර ලක්ෂයක් පමණ සිටින අතර ඔවුහු මෙරට සමස්ත ජන පිරිසෙන් සියයට 4.3 ක් නියෝජනය කරති.

Share this Post