අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ ප්‍රදේශය විදේශීය සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්තයකි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ සමගම කැනඩාව, එංගලන්තය, නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව යන රටවල්ද ශ්‍රී ලංකාවේ සිටින එම රටවල සංචාරකයින්ට ඇමරිකානු තානාපති කාර්යාලයේ අනතුරු ඇඟවීම පිළිබඳව දැනුම් දීමට කටයුතු යොදා ඇත. එසේම රුසියානු තානාපති කාර්යාලයද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේදී විශාල ලෙස රැස් වී සිටීමෙන් වළකින ලෙසයි.
මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසා ඇත්තේ, ආරුගම්බේ ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් පවතින බවට වූ අනතුරු ඇඟවීමේ විශ්වසනීය තොරතුරු තම කාර්යාලයට ලැබී ඇති බවයි. ඒ නිසා නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශයට නොයන ලෙස තානාපති කාර්යාලය දැඩි ඉල්ලීමක් කර ඇත.
ආරුගම්බේ ප්‍රදේශයේ හා රටේ සමස්ත ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පසුගිය දා මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවත්වුණි. එහිදී අමාත්‍යවරයා පැවසූවේ එම ප්‍රදේශයේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවට සැක පිට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට පෙර සිට විදේශීය බුද්ධි අංශවලින් මෙවැනි ප්‍රහාරයක් විය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබී තිබුණු බවද ඇමතිවරයා පැවසීය. මෙය පාස්කු ප්‍රහාරය වැනි තර්ජනයක් නොවන බවත් ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන්නක් බවත් ඇමතිවරයා සඳහන් කර ඇත.
මේ වන විට රට තුළ සිටින සංචාරකයින්ට නිදහසේ තම කටයුතු කරගෙන යෑමට හැකි වාතාවරණයක් පවතින රටවල් කිහිපයකින් ආරුගම්බේ සංචාරය කිරීමෙන් වළකින ලෙස පනවා ඇති අනතුරු ඇඟවීමේ නිවේදනද ඉදිරි දිනවලදී ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් විජිත හෙරත් අමාත්‍යවරයා පවසා සිටී. රජය අදාළ රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම් සමග මෙම තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
ආරුගම්බේ තත්ත්වය මත විවිධ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකරන ලෙසද මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලීම් කර ඇත.
ආරුගම්බේ ආරක්ෂක තත්ත්වය ගැන වැඩ බලන පොලිස්පතිවරයාද විශේෂ ප්‍රකාශයක් කර තිබුණි.
මැදපෙරදිග පවතින යුද වාතාවරණයත් සමග ත්‍රස්තවාදී කටයුතු විවිධ පාර්ශවවලට ව්‍යාප්ත වී ඇති බවත් ශ්‍රී ලංකාව තුළත් යම්කිසි විදේශීය ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමක් ඇති බවත් ඔක්තෝබර් 07 වන විට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව වැඩ බලන පොලිස්පතිවරයා සඳහන් කර ඇත. මීට සති 3 කට පෙර පටන් ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුන්සිලයේ මේ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවත් එහිදී ලැබුණු උපදෙස් පරිදි එම විදේශිකයින්ගේ ආරක්ෂාව, අදාළ ස්ථානවල ආරක්ෂාව, ආගමික කටයුතු කරන ස්ථානවල ආරක්ෂාව ආදි කටයුතු විශේෂ සැලසුමක් යටතේ පොලිසිය,STF, බුද්ධි නිලධාරීන් යොදවා සලස්වා තිබූ බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙහිදී දේශීය පුද්ගලයන් ඉලක්ක කර කිසිම තර්ජනයක් නිරීක්ෂණය වී නොමැති බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් කිසියම් ත්‍රස්තවාදී තර්ජනයක්, වෙනස්වීමක් , තොරතුරක්, පුද්ගලයෙක් සම්බන්ධයෙන් හෝ ප්‍රහාරයක් ගැන වාර්තා වුවහොත් වහාම පොලිසියට හෝ 1997 අංකය ඔස්සේ ඕනෑම වේලාවක දැනුම් දීමක් කරන ලෙස ඔහු මහජනයාගෙන් ඉල්ලා සිටී.
මෙය ජාතික ආරක්ෂාවට සම්බන්ධව ශ්‍රී ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නොමැති බවත් මෙය විදේශීය ජාතිකයන් සම්බන්ධ යම් ගැටලුවක් බවත් එය ලෝකයේ අනෙකුත් රටවලටත් පොදු වූවක් බවත් වැඩ බලන පොලිස්පතිවරයා එහිදී පවසා තිබුණි.

 

Share this Post