ආරම්භයේ සිට පෞද්ගලික සමාගමක් යටතේ පාලනය වූ Trans Mountain pipeline හි සියලූ කටයුතු කැනේඩියානු රජය යටතට ගෙන බාහිර ආයෝජකයින් යොදා ක‍්‍රියාත්මක කරන බවත් එම නළ මාර්ගය ඩොලර් බිලියන 4.5 කට මිල දී ගැනීමට අදහස් කර ඇති බවත් පසුගිය මැයි මාසයේදී ෆෙඩරල් රජය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි. එ් අනුව මෙතෙක් කලක් එම තෙල් නළ පද්ධතියේ නඩත්තු සහ සියලු හිමිකම් පැවති Kinder Morgan, Inc සමාගම පසුගිය අගෝස්තු 31 වෙනි දින නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ Trans Mountain තෙල් නළ පද්ධතිය පිළිබඳව කැනඩා රජය ගෙන ආ ගනුදෙනුව තම සමාගම විසින් අනුමත කළ බවයි.
එම සමාගම නළ පද්ධතිය විකිණීම සඳහා අනුමැතිය දුන් දිනට පෙර දින (අගෝස්තු 30 දා)ෆෙඩරල් අධිකරණය විසින්ද අපූරු තීන්දුවක් දී තිබුණි. එ් ඩොලර් බිලියන 9.3 ක් ආයෝජනය කරමින් Trans Mountain තෙල් නළ පද්ධතිය පුළුල් කිරීමේ අනුමැතිය සඳහා ජාතික බලශක්ති මණ්ඩලය (National Energy Board) ඉදිරිපත් කළ කරුණු අධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කරන ලද තීන්දුවයි. මෙම තෙල් නළ පද්ධතිය නිසා වඩාත් අගතියට පත්වන කැනඩාවේ පළමු පුරවැසියන් කණ්ඩායම් ප‍්‍රමාණවත් ලෙස දැනුවත් නොකිරීමත් එම ව්‍යාපෘතිය නිසා පරිසරයට සිදුවන බලපෑමත් තක්සේරු කොට මෙම නළ පද්ධතියේ කටයුතු අත්හිටුවන ලෙස එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබුණි.
අධිකරණය මගින් ලබාදුන් එම තීන්දුව සම්බන්ධයෙන් කරුණු දක්වන ෆෙඩරල් රජය පවසන්නේ රජයේ කැබිනට් අනුමැතිය ලැබූ ට‍්‍රාන්ස් මවුන්ටේන් නළ පද්ධති ව්‍යාපෘතිය ඉරා දැමීමට දුන් අධිකරණ තීන්දුවට එරෙහිව නැවතත් අභියාචනා ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි. නමුත් මෙම නළ පද්ධතියේ කටයුතු ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් පළමු ප‍්‍රජාව හා සාකච්ඡා කිරීමට අදහස් කර ඇති බවත් එ් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයකු වන Frank Lacobucci ගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට තීරණය කොට ඇති බවත් රජය සඳහන් කර ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ ස්වභාවික සම්පත් අමාත්‍ය අමර්ජීට් සෝහි පවසන්නේ, පළමු ප‍්‍රජාව සමග ඉදිරියේදී සිදුකිරීමට නියමිත සාකච්ඡුාවලදී මීට පෙර ආරම්භ කර ඉදිරියට ගෙන යමින් පැවති තුන්වෙනි අදියර මුල සිට නැවතත් ඇරඹීමට සූදානම් නැති බවයි. නමුත් අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයේ පවතින දුර්වලතා විසඳීමට මෙම අවස්ථාව යොදාගන්නා බව ඔහු පවසයි.

Share this Post