COLD SORES ආසාදනය යනු
Herpes labialis ලෙස හඳුන්වන මෙය Herpes simplex virus type-1(HSV-1) හි රෝග ලක්ෂණයකි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ Cold sores හෝ Fever blisters ලෙස හැඳින්වේ. ඉතා කරදරකාරී නිදගන්ගත වෛරස ආසාදනයකි. එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 50-80 ක් දක්වා ප්‍රතිශතයක් හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසයට ගොදුරුව ඇති අතර කැනඩාවේ සියයට 89 ක්ම මෙම වෛරසයට නිරාවරණය වී එහි ගොදුරක් බවට පත්ව ඇත. එනම් සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම 4 දෙනෙකුටවත් HSV-1 ආසාදනය වී ඇත.
COLD SORES ආසාදනයට හේතුව
මෙම රෝගය පිළිබඳව ඉහත ඉතා සරලව විස්තර කළත් මෙය සරල ලෙස ගත යුතු රෝගයක් නොවන බව කිව යුතුයි. Herpes simplex virus type 1 (HSV-1) වැළඳෙන ප්‍රධාන වෛරසය වුවත් Herpes simplex virus type 2 (HSV-2) වෛරස නිසාද මෙම රෝගය හට ගැනේ. HSV-1 ඍජුවම මුඛයේ ආසාදනවලට සම්බන්ධ වෛරසය වේ. HSV-2 කියන්නෙ ලිංගික හර්පීස් ආසාදනය ඇති කරන වෛරසය වේ. නමුත් Herpes labialis මුඛ ආසාදනයට ගොදුරු වී සිටින අයෙකු ඉහත කුමන වෛරසය නිසා ඊට ගොදුරු වී ඇත්දැයි මතුපිටින් බලා පැවසිය නොහැක. මන්ද, HSV-1 සහ HSV-2 දෙකටම මුඛ ආසාදන සමාන ආකාරයෙන් ඇති විය හැකි හෙයිනි. එසේම මෙම වෛරස දෙකම මුඛය සහ ලිංගේන්ද්‍රිය යන අවයවයන්වලට බලපෑම් කළ හැකි සමාජ රෝගී තත්ත්වයන් නිසා මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත් වේ.
එසේම මෙහි දැනගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ, HSV වෛරසය ආසාදනය වූ පසු ජීවිත කාලය පුරාම හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය ශරීරය තුළ පවතින බවයි. වෛරසය සක්‍රීය නොවන විට එය ස්නායු සෛල තුළ නිද්‍රාශීලීව පසුවේ. ඇතැම් පුද්ගලයින් කිසි විටෙකත් වෛරස රෝග ලක්ෂණ නොපෙන්වන අතර ඇතැම් අයට වරින් වර ආසාදන මගින් එය පෙන්නුම් කරයි.
වෛරසය මතුවීමට හේතු
වෛරසය වරින් වර මතු වීමට පැහැදිලි හේතුවක් මෙතෙක් අනාවරණය කරගෙන නැති නමුත් පහත සඳහන් කරුණු එසේ වීමට හැකි අවදානම් සාධක ලෙස හඳුනාගෙන ඇත.
- සූර්යාලෝකයට දිගු කාලයක් හෝ දැඩිව නිරාවරණය වීම
- ශීත කාලය ආසන්නයේදී මෙය මතුවිය හැකි අතර දැඩි ශීතලට, ශීතල සුළඟට මුහුණ නිරාවරණය වීමෙන් පහසුවෙන් මෙම රෝගය අවදි විය හැක.
- උණ රෝගය හෝ එවැනි වෙනත් අසනීප තත්ත්ව ඇති විට රෝගය මතු වීමේ ඉඩ ඇත.
- ආතති තත්ත්වයන්ද නිදන්ගත රෝග හිස එසවීමට පහසු කරයි.
- දුර්වල ප්‍රතිශක්තිකරණය
- ඔසප් කාලය තුළ ඇතිවන හෝමෝන අසමතුලිතතාව
- ශල්‍යකර්ම ආදි අවස්ථාවලින් පසු
- ශාරීරික තුවාල ඇති අවස්ථාවල
HSV මුඛ ආසාදනයේ රෝග ලක්ෂණ
මුඛ හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසයේ ආරම්භක(ප්‍රාථමික ) ආසාදන අවස්ථාව බොහෝ විට ඉතාමත් වේදනාකාරී සහ සංකුලතා සහිත වේ. දරුණු උණ වැනි රෝග ලක්ෂණ, ඉදිමුණු වසා ගැටිති (lymph nodes) සහ හිසරදය මෙහිදී හට ගත හැක. ආරම්භක ආසාදනයේදී තොල්වල සහ අවට මුඛය වටා තුවාල ඇති වී දැඩි වේදනාවක් සහිත විය හැක. නමුත් ඇතැම් අයට එතරම් සංකුලතා ඇති නොවිය හැක. වෛරසය ඇඟට පැමිණ කාලයක් ගත වීමත් සමග ශරීරය තුළින්ම ප්‍රතිදේහ ගොඩ නගන නිසා රෝගය මතු වීම සහ මතු වූවත් ඇති වන සංකුලතා අඩු වී යයි. ඇතැම් අයට ආරම්භක ආසාදනයෙන් ඔබ්බට කිසි දිනෙක නැවත රෝගය එළියට පැමිණ නොමැත.
බොහෝ විට Cold sores හට ගැනීමේදී තොල් වටා, දිව, විදුරුමස් ආදි ඒ ආසන්න ප්‍රදේශවල කුඩා දියර පිරුණු බිබිලි හට ගනී. මෙවැනි බිබිලි කීපයක් එකවර හටගෙන ඉන්පසු ඒවා එකට එක් වී දැඩි වේදනාවක් ගෙන දේ. දින කිහිපයකට පසු බිබිලි පුපුරා යාමෙන් තුවාල හට ගැනෙන අතර සති 2-3 ත් අතර කාලයකදී කැළලක් හෝ ඉතිරි නොකර සුව වී යයි.
අසාත්මික ප්‍රතික්‍රියා වැනි ආසාදන රෝගී තත්ත්වයන් සමග ව්‍යාකූල විය හැකි නිසා හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය ගැන රෝග විනිශ්චය කිරීම තරමක් අපහසු කරුණකි. එම නිසා හරියටම HSV බව තහවුරු කර ගැනීමට නම්
Virus culture රුධිර පරීක්ෂාවක් හෝ තරල කොටස් සාම්පල මගින් රසායනාගාර පර්යේෂණ සිදුකළ යුතු වේ. නමුත් මුඛ ආසාදන තත්ත්වය හටගත් පසු ඒවා නිසි පළපුරුදු වෛiවරයකුගේ පරීක්ෂාවට ලක් වුවහොත් ඒවායේ ස්වභාවය මත හඳුනාගත හැකිවනු ඇත.
COLD SORES වැළදිය හැකි ආකාර
හර්පීස් සිම්ප්ලෙක් වෛරසය නිසා හටගත් තුවාල ඇති විට වඩාත් ඉක්මනින් තවත් අයෙකුට බෝ විය හැකි අතර රෝග ලක්ෂණ නැති විටද රෝගය සම්ප්‍රේෂණය විය හැක. සමෙන් සමට සම්බන්ධ වීමෙන් හෝ ආසාදිත පුද්ගලයෙකුගේ කෙල, ශ්ලේෂ්මල පටල හෝ තුවාලයක ඇති තරල ස්පර්ශ වීමෙන් මෙය හටගත හැක. එසේම ආසාදිතයකු හා කුමන ආකාරයේ හෝ ලිංගික සබඳතාවක් පැවතුණහොත් ඉතාමත් ඉක්මනින් මෙය වැළඳිය හැක. තොල් ආලේපන, කෝප්ප, වීදුරු, මුහුණ පිසදමන තුවා ආදිය පොදුවේ භාවිත කරන්නේ නම් මෙම රෝගය බෝවීමට ඇති ඉඩකඩ ඉතාමත් වැඩිය.
නමුත් මෙම HSV වෛරස කාණ්ඩ දෙකම ඉතාමත් සුලභ වුවත් මෙම හර්පීස් වෛරස ශරීරයෙන් පිටතදී ඉක්මනින් මිය යයි. එබැවින් ආහාර බෙදා ගැනීමෙන් වැසිකිළි ආසන මත හිඳ ගැනීම වැනි ක්‍රියාවලින් හර්පීස් වැළඳීමට ඉඩක් නැත.
රෝගය සඳහා ප්‍රතිකාර
HSV වෛරස තිර ලෙස සුව කිරීමට කිසිදු නිශ්චිත ප්‍රතිකාරයක් තවමත් සොයාගෙන නොමැත. නමුත් හර්පීස් එන්නත් නිපදවීමට NIH හි Cohen පර්යේෂණ කණ්ඩායම මේ වන විට කටයුතු කරමින් සිටී. ඒ සඳහා ඔවුන් එන්නත් වර්ග දෙකක් සංවර්ධනය කරමින් පවතී. එකක් වෛරසය ආසාදනය වී නොමැති පුද්ගලයින්ට එය වැළැක්වීමේ එන්නතක් වන අතර අනෙක දැනටමත් ආසාදනය වී ඇති පුද්ගලයින් සඳහා වේ.
දැනට පවතින්නේ නිර්දේශිත ප්‍රතිවෛරස ඖෂධ හෝ ආලේපන වර්ග මගින් වෛරසය නිසා හටගන්නා තුවාල සුව කර ගත හැකි ක්‍රම පමණි. තුවාල බිබිලි සහිත ප්‍රදේශය පිරිසිදුව හා වියලිව තබා ගැනීමට කටයුතු කිරීමෙන් සහ නිතර ස්පර්ශ නොකර සිටීමෙන් මෙයින් ඉක්මන් සුවයක් ලබාගත හැක.
වැළැක්වීම සඳහා
හර්පීස් තුවාලයක් ස්පර්ශ කොට අත් සේදීමෙන් තොරව ඔබේ මුඛය, ලිංගික අවයව හෝ ඇස් ස්පර්ශ කළහොත් ඔබේ ශරීරයේ අනෙකුත් කොටස්වලට හෝ වෙනත් කෙනෙකුට රෝගය පැතිර යා හැක. එම නිසා තුවාල බිබිලි සහිත ප්‍රදේශ ස්පර්ශ කරන සෑම විටෙකම අත් පිරිසිදු කරගැනීමට වග බලා ගැනීමෙන් රෝගය පැතිරීම වළක්වා ගත හැක.
විශේෂයෙන්ම රෝගය වැළඳුණු අයකුට කළ හැකි වැදගත්ම දේ වන්නේ තමන්ගෙන් වෙනත් අයෙකුට රෝගය පැතිර යෑම වැළැක්වීමට හැකි ලෙස කටයුතු කිරීමයි.
කුඩා දරුවන් පහසුවෙන්ම මෙම රෝගයට ගොදුරු විය හැකි අතර එය වළක්වා ගැනීමට දරුවන් ඒ පිළිබඳව දැනුවත් කරන්න. නිතර අත් සෝදා පිරිසිදු කරගැනීමේ වැදගත් කම දරුවාට පහදා දෙන්න. නොදන්නා පුද්ගලයන්ට ඔබේ ළදරුවා සිප වැළඳ ගැනීමට නොදෙන්න.