තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර  අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව වීසා අයදුම් කිරීම සක්‍රිය කර ඇත.  මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කැනඩා ආගමන විගමන වෙබ් අඩවියට (TR to PR Pathway) පිවිසීමෙන් ඔබට ලබාගත හැක. මෙම අයදුම්පත් බාරගන්නා කාල සීමාව මැයි 06 සිට නොවැම්බර් 05 ලෙස සටහන් කර ඇතත් 90,000 ක අයදුම්පත් ප්‍රමාණය ලැබීමෙන් පසු මෙම වැඩසටහන අවසන් විය හැකි නිසා හැකි ඉක්මනින් අයදුම්පත් යොමු කිරීම සුදුසු වේ.

TR to PR Pathway යටතේ සෞඛ්‍ය සේවාවන් සඳහා තාවකාලික වීසා පදනම මත කැනඩාවට පැමිණ සිටින ශ්‍රමිකයන්ට ප්‍රමුඛස්ථානයක් ලබා දී ඇත. ඔවුන් ඉලක්ක කොට විවෘත කරන ලද මෙම නව මාවත ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ, කැනඩාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ සේවය කරන සේවකයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු විදේශික ශ්‍රමිකයකු වීම යන කරුණ සැලකීමේදී ඔවුන් වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීම ඉතාමත් වැදගත් වූවක් බවයි. සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මිනිස් ශ්‍රම බලකායක් නොමැති වීම වසංගත තත්ත්වයක් පවතින මේ මොහොතේ රට මුහුණ පා ඇති දැඩි අර්බුදයක් බව රජයේ සෞඛ්‍ය බලධාරීයකු මේ අවස්ථාවේදී පෙන්වා දී ඇත.

අධ්‍යාපනය වීසා සහ අත්‍යවශ්‍ය සේවා වීසා සඳහා නව සංක්‍රමණික ධාරා හයක් කැනඩාව මෙවර නිකුත් කළ මාර්ගෝපදේශනයේ සඳහන් කොට ඇත.

එම නව අවස්ථා හය මෙසේ දැක්වේ.

  1. දැනට කැනඩාවේ සිටින සෞඛ්‍ය සේවයේ නිරත වන්නන් (මේ යටතේ අයදුම්පත් 20,000 සලකා බැලේ) – Workers in-Canada: Stream A (healthcare)
  2. දැනට කැනඩාවේ සිටින අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන් (මේ යටතේ අයදුම්පත් 30,000 සලකා බැලේ) – Workers in-Canada: Stream B (essential non-healthcare)
  3. දැනට කැනඩාවේ සිටින විදෙස්  සිසුන් ((මේ යටතේ අයදුම්පත් 40,000 සලකා බැලේ) – International Graduates
  4. ප්‍රංශ භාෂාව කතා කරන දැනට කැනඩාවේ සිටින සෞඛ්‍ය සේවකයින් – French-speaking Workers in-Canada: Stream A (healthcare)
  5. ප්‍රංශ භාෂාව කතා කරන දැනට කැනඩාවේ සිටින අත්‍යවශ්‍ය සේවාවල නිරත වන්නන් – French-speaking Workers in-Canada: Stream B (essential, non-healthcare)
  6. ප්‍රංශ භාෂාව දැනට කැනඩාවේ සිටින කතා කරන විදෙස් සිසුන් – French-speaking International Graduate

ඒ අනුව විදෙස් සිසුන් ලෙස කැනඩාවේ උසස්  අධ්‍යාපනය ලද අයට මෙම ක්‍රමයට යටත්ව PR අයදුම් කිරීමට අවශ්‍ය ප්‍රධාන සුදුසුකම් කීපයක් මෙසේයි.

  • කැනඩාවේ පිළිගත් අධ්‍යාපන ආයතනයකින් (Designated Learning Institution (DLI)) වසර 2017 ජනවාරි මාසයට පෙර අදාළ සහතික පත් ලබා තිබීම. මෙය විශ්වවිද්‍යාල උපාධියක්, විශ්වවිද්‍යාල ඩිප්ලෝමාවක්, වෙළඳ /කාර්මික පාසලක හෝ Quebec CEGEP වෙතින් ලද පිළිගත් සහතික පතක් වීම අනිවාර්ය වේ.
  • වීසා අයදුම් කරන අවස්ථාව වන විට අයදුම්කරුවන් කැනඩාවේ රැකියාවක නිරත වීම අනිවාර්ය වන අතර එම රැකියාවේ තරාතිරම පිළිබඳ සැලකිල්ල යොමු නොකෙරේ.
  • එම රැකියාව සඳහා අධ්‍යයන බලපත්‍රය සමග නිකුත් කෙරෙන නීත්‍යනුකූළ රැකියා බලපත්‍රය ඔවුන් සතු විය යුතුයි.

මෙම නව රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ සෞඛ්‍ය සේවයේ නියුතු තාවකාලික අයදුම්කරුවන් ස්ථිර පදිංචිය අයදුම් කිරීමේදී මූලික වශයෙන් අනුගමනය කළ යුතු නිර්ණායකයන් කීපයක් මෙසේය.

  • අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර වසර 3 ක් තුළ පිළිගත් ආයතනයක සෞඛ්‍ය සේවයේ රැකියාවක අවම වශයෙන් වසරක පූර්ණකාලීන හෝ අර්ධ පූර්ණකාලීනව සේවා පළපුරුද්දක් තිබීම (පැය 1560 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබී)
  • අයදුම් කරන අවස්ථාවේදී වලංගු රැකියා බලපතක් සහිතව සේවය කිරීම (ස්වයං රැකියාවක නිරත වීම සුදුසුකමක් ලෙස නොසැලකේ.)
  • භාෂා නිපුණතා අංශයෙන් අයදුම් කරන්නේ නම්, පසුගිය වසර 2ක තුළ අවම වශයෙන් ඉංග්‍රිසි හෝ ප්‍රංශ භාෂාවෙන් CLB level 4 සපුරා තිබිය යුතුයි.

ඉහත කරුණු සමග සපුරාලිය යුතු සෙසු සුදුසුකම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු අප පෙර සඳහන් කළ වෙබ් අඩවියට පිවිස ඔබට ලබාගත හැක.

Share this Post