කැනඩාවේ සමස්ත ජනගහනයෙන් සියයට 58 ක් පමණ අවම වශයෙන් කොවිඩ්-19 එරෙහි එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇතැයි කැනඩා එන්නත්කරණ සංඛ්‍යාලේඛන වාර්තා සඳහන් කරයි.  එන්නත් ලබාදීම ඇරඹූ මුල් මාසවලදී වෙනත් රටවලට වඩා ඉතාමත් පසුපසින් සිටි කැනඩාව, මේ වන විට අවම වශයෙන් රටෙහි ජනතාවගෙන් අඩකට වඩා  එන්නත එක මාත්‍රාවක් හෝ ලබාදීමට සමත්ව සිටී. ගෝලීය එන්නත්කරණ සංඛ්‍යාලේඛන හා සැසඳීමේදී පළමු මාත්‍රාව වැඩියෙන්ම ලබාදුන් රටවල් අතර කැනඩාව තෙවන ස්ථානයේ පසුවේ.

2021 ජූනි 01 දා දක්වා වන ourworldindata.org/covid-vaccinations එන්නත්කරණ දර්ශකයට අනුව එන්නත්කරණ වැඩසටහනේ පළමුවන තැන හිමිකරගෙන ඇත්තේ Seychelles රාජ්‍යයි. එරට සමස්ත ජනගහනයෙන් සියයට 70 කට වැඩි පිරිසක් මේ වන විට අවම වශයෙන් පළමු එන්නත ලබා ඇති බව එම දර්ශකය පවසයි. නමුත් සෙසු රටවල් හා සැසඳීමේදී එරට මුළු ජනගහනය 97,000 ක් පමණ සුළු සංඛ්‍යාවකි. සීෂෙල්හි එන්නත්කරණය සඳහා මූලික වශයෙන් චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත භාවිත කර ඇති  අතර එය කැනඩාවේ භාවිතය සඳහා මෙතෙක් අනුමත කර නොමැත.

ඊශ්‍රායලය මෙහි දෙවන ස්ථානයේ පසුවන අතර එරට ජනගහනයෙන් සියයට 62 කට වැඩි ප්‍රතිශතයකට අවම වශයෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත.

කැනඩාවේ එන්නත් සැපයුම හා එන්නත ලබාගැනීම සඳහා වන ජනතාවගේ උනන්දුව යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට හැකි වුවහොත් ජූනි මාසය අවසන් වන විට කොවිඩ්-19  එරෙහි එන්නතෙහි පළමු මාත්‍රාව සියයට 75 කට වැඩි පිරිසකටත් දෙවන මාත්‍රාව සියයට 20 කට පමණ වත් ලබාදීමට බලාපොරොත්තු වේ. මේ වන විට කැනඩාවට නොකඩවා එන්නත් ලැබෙමින් පවතින නිසා සෑම දිනකම ජනගහනයෙන් සියයට 1 කට ආසන්න ප්‍රමාණයකට එන්නත ලබාදීම සිදුකරයි. මෙය මේ ආකාරයට අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් ග්‍රීෂ්ම කාලය අවසන් වීමට පෙර ජනගහනයෙන් සියයට 75 ක ප්‍රතිශතයකට එන්නතේ පූර්ණ මාත්‍රා ලබා දීමේ ඉලක්කය සපුරාගත හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන්ම කැනඩාවේ බහුතර පිරිසක් එන්නත ලබාගැනීමට විශාල උනන්දුවක් දැක්වීම ඉතාමත් හොඳ ප්‍රවණතාවක් බව Health Canada පවසා සිටියි. මේ නිසා රටේ සමස්ත ජනගහනයෙන් සියයට 90 ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකට එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

මේ වන විට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීම බලාපොරොත්තු වූ කාලසීමාවට වඩා ඉක්මන් කිරීම කෙරෙහි පළාත් රජයයන්ගේ අවධානය යොමු වී ඇත. ඒ සඳහා මූලික පියවර ඔන්ටේරියෝ රජය විසින් මේ වන විටත් ගෙන ඇති අතර ඔන්ටේරියෝව තුළ වයස අවුරුදු 80 න් ඉහළ හා 70 න් ඉහළ ලෙස වයස් කාණ්ඩ කොට දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙමින් පවතී. ග්‍රීෂ්ම ඍතුව අවසන් වීමට පෙර පළමු මාත්‍රාව ලබාගත් සියලුම වයස් කාණ්ඩවල ඔන්ටේරියෝනුවන් හට දෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට රජය අපේක්ෂා කරයි. 

කෙසේ වෙතත් මේ වන විටත් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට ලියාපදිංචි වී හෝ නොමැති සැලකිය යුතු පිරිසක්ද ඔන්ටේරියෝව තුළ සිටින බව සෞඛ්‍ය සංඛ්‍යාලේඛනවල සඳහන්ව ඇත. සියලු ජනතාව එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගැනීම ඉක්මන් කරන තරමට ක්‍රමානුකූලව දෙවන මාත්‍රාව ලබාදීම පහසු වන බව රජය පවසයි. එනිසා මෙතෙක් එන්නත ලබා නොගත් වයස අවුරුදු 12 න් ඉහළ සියලුම ඔන්ටේරියානු වැසියන් අදාළ මධ්‍යස්ථානවල ලියාපදිංචි වී එන්නත ලබාගන්නා ලෙස රජය ඉල්ලා සිටියි. අවුරුදු 80 ඉක්මවූ ටොරොන්ටෝ වැසියන් සියයට 27 ක් පමණ තවමත් ඔවුන්ගේ එන්නත් පළමු මාත්‍රාවට ලියාපදිංචි වී නොමැත. කොවිඩ්-19 රෝගය තුළ ඉතාමත් දැඩි අවදානම් කාණ්ඩයක පසුවන මොවුන් අනිවාර්යයෙන්ම එන්නත ලබා ගැනීම සිදුකළ යුතු බව සෞඛ්‍ය ප්‍රධානීන් සහතික කොට සිටී. ටොරොන්ටෝවේ පවතින මෙම සංඛ්‍යා දත්ත මෙන්ම සෙසු ප්‍රදේශවලද වැක්සීනය ලබා නොගත් වැඩිහිටියන් සිටිය හැකි බව රජය පවසයි. එම නිසා වැඩිහිටි නිවාසවල ජීවත් නොවන, වයස අවුරුදු 70 ට වැඩි තමන්ගේ දෙමව්පියන්, නෑදෑයන් ආදි වැඩිහිටියන් හා තම අසල්වැසියන් ලෙස සිටින වැඩිහිටියන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස රජය ජනතාව වෙත දන්වා සිටී. ඔවුන් එන්නත ලබා නොමැති නම්  අදාළ එන්නත් සායන වෙත දැන්වූ විට ඔවුන්ට එන්නත ලබාදීමට අවශ්‍ය කටයුතු එම සායන මගින් සිදුකරගත හැකි බව රජය පවසයි.  

එසේම අවුරුදු 30 ත් 54 ත් අතර වයස් කාණ්ඩය කැනඩාව තුළ කොවිඩ්-19 එන්නත පිළිබඳ අඩුවෙන්ම ප්‍රතිචාර දක්වා ඇති කණ්ඩායම බව සංඛ්‍යාලේඛන තොරතුරු සඳහන් කරයි. මේ වන විට එම වයස් කාණ්ඩයේ  එන්නත ලබා ඇති ප්‍රතිශතය සියයට 61 ත් 67 ත් අතර ප්‍රමාණයකි. ඒ අනුව මෙම වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතරින් විශාල පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන නොමැත. කුඩා දරුවන්, වැඩිහිටියන් ආදී මොවුන්ගෙන් යැපෙන්නන් සමග එදිනෙදා ජීවන බර ගෙන යන කැනඩාවේ ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් මෙම වයස් කාණ්ඩයට අයත් වීම නිසා මේ පිරිස කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂා වී යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවීම අත්‍යවශ්‍ය බව රජය සඳහන් කරයි. එසේම මෙම වයස් කාණ්ඩයේ පුද්ගලයන් කැනඩාව තුළ දැනට පවතින විවිධ කොවිඩ්-19 ප්‍රභේදයන්ට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක්ද පෙන්නුම් කරන බව රෝහල් වාර්තා සඳහන් කරයි. 

මැයි 17 වැනිදා සිට ඔන්ටේරියෝවේ ඇරඹුණු වයස අවුරුදු 12-17 ත් අතර වයස් කාණ්ඩයේ එන්නත් වැඩසටහන ඉතාමත් ප්‍රශංසනීය මට්ටමකින් ක්‍රියාත්මක වේ. මේ වන විට එම වයස් කාණ්ඩයේ සියයට 45.9 ක පමණ ප්‍රතිශතයක් පළමු එන්නත් මාත්‍රාව ලබා ඇත.

ඇමරිකාව හා සැසඳීමේදී කැනඩාවේ එන්නත් ලබාගැනීමට පවතින උනන්දුව ඉතාමත් ඉහළ මට්ටමක පවතී. 2021 ජූලි 04 වන දින වන විට ඇමරිකානු ජනතාවගෙන් සියයට 70 කට පමණ සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා දීමට එක්සත් ජනපදය අපේක්ෂා කර ඇතත් එන්නත ගැනීම සඳහා ඇමරිකානුවන් තුළ පවතින උදාසීනත්වය මත එය ගැටලුවක් විය හැකි බව එරට සෞඛ්‍ය අංශ පවසයි. Centers for Disease Control and Prevention(CDC) පවසන ආකාරයට මෑත සතිවලදී එන්නත් ලබාගන්නා ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව තුනෙන් එකකින් පමණ පහත වැටී ඇත. එන්නත්කරණය ඇරඹි මුල් කාලයේ එරට එන්නත් ලබාගත් ජන අනුපාත සීඝ්‍රයෙන් ඉහළ ගියත් මේ වන විට එම අනුපාත අගයයන් එක තැන පවතින තත්ත්වයකට පත්ව ඇත. සෙසු රටවල පවතින එන්නත් හිඟය නොමැතිව පහසුවෙන් එන්නත ලබාගැනීමේ අවස්ථාව ඇමරිකානුවන්ට සලසා තිබියදීත් ඔවුන් ඒ සඳහා උනන්දු නොවීම අවාසනාවන්ත තත්ත්වයකි. එක්සත් ජනපදයේ කොවිඩ්-19 එන්නත සඳහා ඇති ඉල්ලුම පහත වැටීමත් සමග ඇතැම් කැනේඩියානුවන් ඇමරිකාවට ගොස් එන්නත ලබාගැනීමට පෙළඹී ඇත. විශේෂයෙන්ම පළමු මාත්‍රාව ලබා දෙවන මාත්‍රාව ලබාගැනීමට පොරොත්තු ලේඛනවල සිටින කැනේඩියානුවන් විශාල පිරිසක් ඔවුන්ගේ දෙවන මාත්‍රාව මේ ආකාරයට ලබාගෙන ඇත. කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා කැනඩා-ඇමරිකා දේශ සීමා වසා දමා ඇති අතර අත්‍යවශ්‍ය නොවන කිසිදු සංචාරයක් සඳහා එය තරණය කළ නොහැක. එසේ තිබියදීත් මේ ආකාරයට එන්නත සඳහා ඇමරිකාවට යන කැනේඩියානුවන් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. 

මේ වන විට එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත එන්නත ගැනීම සඳහා තම ප්‍රජාවන් දිරිගැන්වෙන විවිධ වැඩ සටහන් දියත් කරමින් සිටී.  ඒ අතර ඩොලර් ලක්ෂ ගණන් ප්‍රධානය කෙරෙන ලොතරැයි දිනුම් ඇදීම් ආදියද වේ. අවශ්‍ය ප්‍රමාණවලින් එන්නත් සැපයුම සහිතව ඉතාමත් පිළිවෙළට එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කළද මේ වන විට එක්සත් ජනපදයෙහි පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පිරිස සියයට 38 කි.

Share this Post