නවසීලන්ත අගමැතිනි Jacinda Ardern 2023 ජනවාරි 19 වන දින සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ විට, එරට ජනතාව මවිතයට පත් විය. ඇය අගමැති ධුරයේ සිටියේ වසර පහක් පමණක් වන අතර, පත් වී වසර දෙකක් යන විටම ඇයගේ පක්ෂය පිරිහීමට ලක් විය. මෙහිදී තම පාලනය තුළ පවතින අඩුලුහුඬු කම් නිසා එසේ වන බව තේරුම් ගත් ඇය, ගෞරවණීය ලෙස තම ධුරයෙන් ඉල්ලා අස්වීම කළ යුතු බව තීරණය කෙරුණි. තම ඉල්ලා අස්වීම නිවේදනය කරමින් Ardern පැවසූවේ, “මෙම වටිනා භූමිකාවට අදාළ වගකීම් හොඳම ආකාරයට ඉටු
කිරීමට මට හැකියාවක් නොමැති බව වටහා ගැනීමෙන් පසු, මම මින් ඉවත් වීමට තීරණය කළෙමි. නායකත්වය භාර ගැනීමට සුදුස්සෙකු වන අවස්ථාව සහ එසේ නොවන අවස්ථාව හඳුනාගැනීම වටිනා වගකීමකි” යනුවෙනි.
එළඹෙන වසන්ත කාලය තුළ කැනඩාවේ ලිබරල් පක්ෂය විසින් නව නායකයෙකු තෝරා ගැනීමෙන් පසු, අගමැති ජස්ටින් ටෘඩෝ ඉල්ලා අස්වීමට සැලසුම් කරන බව ඔහු පසුගිය දා ප්‍රකාශයට පත් කිරීමේදී, නවසීලන්තයේ ඉහත සිදුවීම නැවතත් අප මතකයට නැගුණි. නමුත් Ardern ගේ තම රටට මුල් තැන දී ඉල්ලා අස්වීමේ තිබූ විශිෂ්ටභාවය කිසිසේත්ම ටෘඩෝගේ පෞද්ගලික අභිලාෂයන් හා තනතුරු කෙරෙහි ලොබින් සිට නික්ම යාම හා සැසඳිය නොහැක. ටෘඩෝ වෙත කිසිදු
විටෙක ස්ව-කැමැත්තෙන් ඉවත්ව යාමේ සූදානමක් නොතිබුණු අතර, දේශපාලනමය බලපෑම් දැඩි වීමත් සමග ඔහුට පසුබැසීමට සිදුවිය.
දේශපාලනයෙන් ඉවත් වීමට සුදුසු කාලය කුමක්දැයි හඳුනාගැනීමේදී තිබූ දුෂ්කරතාව, ටෘඩෝගේ නායකත්වය ප්‍රතික්ෂේප වීමට බලපෑ විශාලතම හේතුව විය. ටෘඩෝ විසින් මෙම පියවර මීට මාස 18 කට පමණ පෙර ගෙන තිබුණා නම්, මෙතරම් පීඩනයකට ලක් නොවී යම් තරමක හෝ ගෞරවනීය ආකාරයකට ඔහුට නික්ම යෑමට තිබුණි.
රටෙහි ජනතාව, අගමැති ටෘඩෝට සහ ඔහුගේ පක්ෂයට කෙතරම් පිටු පා ඇත්ද යත්, පසුගිය මැතිවරණ දෙකෙන්ම ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාවෙන් එය පැහැදිලි වේ. 2015 දී බහුතර බලයක් ලබා ගත් ටෘඩෝ රජයට 2019 දී හිමිවූයේ සුළුතර පාර්ලිමේන්තු බලයකි. පසුව පාර්ලිමේන්තුව තුළ බහුතරයක් දිනා ගැනීමේ අදහසින්, 2021 දී ඔහු හදිසි මැතිවරණයක් කැඳවූ අතර, ඔහු ගත් එම තීරණය දේශපාලන විරුද්ධවාදීන්ගේ පමණක් නොව, මිත්‍ර පාර්ශ්වයන්ගේ පවා දැඩි විවේචනයට ලක් විය. නමුත් ටෲඩෝ බලාපොරොත්තු වූ ආකාරයේ බහුතර බලයක් එම මැතිවරණයෙන්ද දිනාගැනීමට අසමත් විය. එම මැතිවරණය බොහෝ දෙනා හඳුන්වා තිබුණේ, ‘කිසිවෙකුටත් අවශ්‍ය නොවූ, අවශ්‍ය වූ අයටත් අවශ්‍ය දේ නොලැබුණු මැතිවරණයක්’ ලෙසයි.

කෙසේ හෝ 2019-2021 දක්වා වූ වසර දෙක තුළ කැනේඩියානුවන් විසින් ටෘඩෝගේ පක්ෂය නැවතත් සුළුතර රජයක් බවට පත්කර තිබුණි. කොරෝනා වසංගතය පැවති කාලයේ, ටෘඩෝ විසින් පෙන්වූ යම් යම් නායකත්ව කුසලතා පවා එහිදී ජනතාව අමතක කර තිබුණේ ඔහු රටට හිතකාමී නායකයකු නොවන බව තේරුම් ගෙන සිටි හෙයිනි. එසේම, පසුගිය කාලය පුරා රටෙහි නොයෙක් පළාත්වල පැවති අතුරු මැතිවරණවලදීද ලිබරල්වරුන්ට බොහෝ විට පරාජය හිමි වී තිබුණි. නමුත් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ ටෘඩෝගේ මමත්වය නිසා ඔහුට හා පක්ෂයට රට තුළ පවතින පිළිගැනීම වටහා ගැනීමට නොහැකි විය. එනිසාම, නැවතත් සුළුතරයක් ලෙසින් හෝ සිව්වන වාරයක් ලබා දීමට තරම්, රට ඔහුට ආදරය නොකරන බව විශ්වාස කිරීම ඔහු සෑම විටෙකම ප්‍රතික්ෂේප කළේය. සැබෑ නායකයකු තුළ නොතිබිය යුතු මෙම අහංකාරය රටකට කෙතරම් හානිකරද?
මෙවැනි අහංකාර මමත්වයක් තුළින් පරිහානියට පත් දේශපාලන ව්‍යුහයකට හොඳම සහ නවතම උදාහරණය අපට අපගේ අසල්වැසි රටෙන්ම ගත හැක. ඒ එක්සත් ජනපද හිටපු ජනාධිපති Joe Biden ය. බරපතල සෞඛ්‍ය ගැටලු මතු වී තිබියදීත් නැවතත් ජනාධිපතිවරණය සඳහා රට නියෝජනය කිරීමට බයිඩන් විසින් ගත් මුල් තීරණය නිසා Democratic පක්ෂයට සහ පසුව ඉදිරිපත් වූ කමලා හැරිස්ට දැඩි අස්ථාවර අභියෝගයන්ට මුහුණ පෑමට වූ අතර එයම ඔවුන්ගේ පරාජයට හේතුවක් විය. ඔහුගේ ආත්මාර්ථකාමීත්වය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත පැමිණීමට මග පෑදූ අතර ටෘඩෝගේ ක්‍රියා කලාපයද අනාගතයේදී Pierre Poilievre ට සහ කොන්සර්වේටිව්වාදීන්ට බොහෝ දුරට කැනඩාවෙහි නායකත්වය සහ පාලන බලය නියෝජනය කිරීමට මග පෙන්වනු ඇත.
පසුගිය කාලයේ අගමැතිවරයාගේ තත්ත්වය කෙසේද යත්, ඔහු ජාත්‍යන්තර වශයෙන්ද සිනහවට ලක් වන්නෙකු විය. ට්‍රම්ප් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වහාම Mar-a-Lago වෙත දිව ගිය ඔහු එහිදී ‘51 වෙනි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවයා’ ලෙස ට්‍රම්ප්ගේ නොමඳ උපහාසයට සහ සමච්චලයට ලක් වුණි. නමුත් ටෘඩෝ කිසිදු ප්‍රකාශයක් ඒ වෙනුවෙන් නොකර සිටී. සාඩම්බර කැනේඩියානුවන්ට මෙම තත්ත්වය නැරඹීම පවා අතිශය දුෂ්කර සහ පිළිකුල් සහගත වූවකි.
2013 දී ටෲඩෝ ලිබරල් නායකත්වය දිනා ගන්නා විට, ලිබරල් පක්ෂය දැඩි ලෙස පසුබැසීමකට ලක් වූ පක්ෂයක් විය. ඔහුගේ නායකත්වය තුළින් පක්ෂය නැවත කළ එළියට පැමිණ නව පණක් ලබා ගැණුනි. එවකට බලයේ සිටි කොන්සර්වේටිව් නායක ස්ටීවන් හාපර්ගේ නීරස, ඒකාකාරී පෞරුෂයට එරෙහිව වඩා දීප්තිමත් ලෙස බැබළුණු ටෘඩෝ, ජනතාවට කෙසේවත් ප්‍රතික්ෂේප කළ නොහැකි නායකයෙක් ලෙස පෙණුනි. ඒ තුළින් 2015 මහ මැතිවරණයේදී ටෘඩෝට, ලිබරල් පක්ෂය අතිවිශිෂ්ට බහුතරයක් වෙත ගෙන යෑමට හැකි විය. 2015 අගමැති ලෙස තේරී පත් වූ වහාම ඔහු ජනතාවට පොරොන්දු වූයේ, ‘සැබෑ වෙනසක්’ (a real change) කරන බවටයි. නමුත් පසුගිය වසර 9 ක කාලය තුළ රටට සිදුවී ඇත්තේ කුමක්ද?
ටෘඩෝ රජයේ නොගැලපෙන ආර්ථික සැලසුම් නිසා සෑම විටෙකම අසමතුලිත අයවැයක් සහිත වූ අතර, පසුගිය දෙසැම්බර් මාසය වන විට අයවැය හිඟය, ඩොලර් බිලියන 61.9 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. පසුගිය කාලය තුළ, කැනඩාව විසින්, විදේශීය මිලිටරි කටයුතු සහ රාජ්‍ය තාන්ත්‍රික සේවාවන් සඳහාද විශාල මුදලක් යොදවා ඇත. එසේම, සංක්‍රමණ කටයුතු තුළදී ගත් බොහෝ අත්තනෝමතික තීරණ නිසා රට විශාල ලෙස පරිහානියට පත් විය. අවසානයේදී, ටෘඩෝ පැමිණීමට පෙර සිට ක්‍රමානුකූලව කරගෙන ආ ශිෂ්‍ය වීසා,
දෙමාපිය ස්ථිර පදිංචි වීසා ඇතුළු සංක්‍රමණික අංශ ගණනාවක් දැඩි ලෙස සීමා කිරීමට සිදුවිය. Angus Reid ආයතනය විසින් සැප්තැම්බරයේ පැවැත්වූ මත විමසුමකට අනුව, පසුගිය වසර දෙක තුළ සංක්‍රමණිකයන්ගේ පැමිණීම සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව හෙළිදරව් වී ඇත. නිවාස, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය දේවල්වලට ඔරොත්තු නොදෙන තරමේ අධික ජනගහනයක් රටට පිරවීමේ හානිය දැන් දැන් කැනේඩියානුවන්ට යහමින් දැනෙමින් පවතී.
ආර්ථිකය ප්‍රධාන කොට ටෘඩෝ රජයෙන්, ජනතාවට දැනෙන පීඩනය වැඩි වෙත්ම, නොසිතූ විරූ ඉක්මණින් ලිබරල්වරුන්ගේ බලය වාෂ්ප වීමට පටන් ගත් අතර අනෙකුත් පක්ෂවල සහයෝගයට ස්තූතිවන්ත වෙමින් 2019 සහ 2021 බලය හිමිකර ගති. නමුත් වර්තමානය වන විට ලිබරල් පක්ෂය, ටෘඩෝ 2013 පටන් ගත් තැනටත් වඩා අන්ත තත්ත්වයකට පත්ව, ඔවුන්ගේ ජනප්‍රියත්වය මුළුමනින්ම ගිළිහී ගොස් පවතින බව, විවිධ මත විමසුම්වලින් මෙන්ම ජනතාව සමග කතාබහ කිරීමෙන්ද පෙනී යයි.
අගමැති ජස්ටින් ටෘඩෝගේ කාර්යභාරය පැවති කාලය තුළ, ඔහු ජයගත් කාර්යයන් සහ පරාජයට පත් වූ අවස්ථා සලකා බැලීමේදී පෙනී යන්නේ, ඒ බොහෝ විට ඔහුගේ සාර්ථකත්වයන් ඔහුගේ අසාර්ථක අරමුණු, හිතුවක්කාර තීරණ සහ අභ්‍යන්තර ගැටලුවලින් වළක්වා ඇති බවයි. මතුපිටින් බලන විට, අගමැති ජස්ටින් ටෘඩෝගේ ඉල්ලා අස්වීම අනෙකුත් බොහෝ දේශපාලන නායකයින් සිදුකළ ආකාරයටම සිදුව ඇති බව පෙනෙතත්, ඔහු ඒ සඳහා ඉදිරිපත් වූයේ, ඔහුට සමීපවම සිටි අයට පවා තවදුරටත් ඔහු වෙත සහාය දිය නොහැකි වන තරමට එපා වනතෙක් බලා සිටීමෙන් පසුව වීම කණගාටුවට කරුණකි.
කෙසේ වෙතත්, බලයෙන් පිරිහුණු ආසාදිත ලිබරල් පක්ෂය නැවතත් නගා සිටුවීමේ බරපතළ කාර්යභාරය කවුරුන් භාරගනු ඇත්ද? මේ වන විට ලිබරල්වාදීන් දෑස් දල්වා බලා සිටින්නේ එය දැන ගැනීමටයි. අපිත් ඒ ගැන ඉදිරියේදී කතා කිරීමට ඉඩ තියමු.

Share this Post