‍මිලියන 14 ක් පමණ වන ඔන්ටේරියෝ ජනගහනයෙන් සියයට 40 ක පමණ ප්‍රතිශතයකට මේ වන විට කොවිඩ් වැක්සීනයේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව රජයේ සෞඛ්‍ය දත්ත සහතික කොට සිටී. මෙසේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙනුවෙන් දෙවන එන්නත් මාත්‍රාවද ලබා දීම අනිවාර්ය වන අතර ඒ සඳහා දෙවන මාත්‍රාව ලබාදීමට අදහස් කරන පළමු කණ්ඩායම් පිළිබඳ රජය නිවේදනයක් කර ඇත.

මෙහිදී කොවිඩ්-19 රෝගීන් සමග ඍජුවම කටයුතු කරන වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවයේ නිරත වන්නන් කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. විශේෂයෙන්ම කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සහ රෝගීන් වෙත පළමු ප්‍රතිචාර දක්වන ගිලන්රථ කාර්ය මණ්ඩල සඳහා දෙවන මාත්‍රාව නියමිත කාල සීමාවන් තුළම ලබා දීමට රජය බලාපොරොත්තු වේ.

ඒ අනුව මේ සතිය අග සිට කොවිඩ්-19 රෝගීන් සමග ඍජුව කටයුතු කරන හා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති සියලුම රෝහල් කාර්ය මණ්ඩල(all hospital staff dealing with COVID-19 patients or at high risk of infection), කොවිඩ්-19 නිදර්ශක එකතු කිරීම සහ විද්‍යාගාර පරීක්ෂණ නිලධාරීන් (COVID-19 specimen collection and lab testing personnel), ගිලන් රථ සේවා ඇතුළු පළමු ප්‍රතිචාරකයින් (first responders – paramedics, firefighters, and police officers…), ප්‍රජා සෞඛ්‍ය සේවකයින් (community health workers), වැඩිහිටි නිවාසවල සේවය කරන්නන් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් ලබයි.

මැයි මාසය අවසන් වන විට පළාතේ වැඩිහිටි ජනගහනයෙන් (18+) සියයට 65 කට එන්නතේ පළමු මාත්‍රාව දී අවසන් කිරීමටත් ඔන්ටේරියෝ රජය අපේක්ෂා කරයි.

මෙතෙක් රෝගීන් බහුල අධි අවදානම් කලාපවලට පමණක් කොවිඩ් එන්නත ලබාදෙමින් පැවති අතර අඟහරුවාදා (11) උදෑසන 8.00 සිට මුළු ඔන්ටේරියෝවම ආවරණය වන පරිදි වෙන් කරන ලද පුද්ගල කාණ්ඩවලට එන්නත සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇත. ඒ අනුව පිළිකා රෝගීන්, ඩිමෙන්ෂියා, දියවැඩියා වැනි රෝගවලින් පෙළෙන ඔන්ටේරියෝවේ සියලුම පුද්ගලයන්ට හෙට සිට එන්නත සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලැබේ.

එසේම බ්‍රහස්පතින්දා (13) දා උදෑසන 8.00 සිට වයස අවුරුදු 40 ට වැඩි සියලුම ඔන්ටේරියෝ වැසියන් සඳහා එන්නත සඳහා ලියාපදිංචි වීම විවෘත කෙරේ.

එන්නත් නිෂ්පාදකයින් විසින් දෙවන මාත්‍රාව සඳහා නිර්දේශ කර ඇති දින 21 සහ 28 යන කාල පරාසයන් කැනඩා ෆෙඩරල් රජයේ සෞඛ්‍ය අංශ සති 16 ක් දක්වා කල් දැමීමට පියවර ගෙන තිබුණි. එන්නත් ලබාගැනීමේ අපහසුතාවත් ලැබෙන එන්නත්වලින් අවම තරමේ පළමු මාත්‍රාව හෝ සියයට 70 කට වැඩි පිරිසකට දීමේ අවශ්‍යතාවත් මත මෙම කාල පරාස වෙනස  සිදුකරන ලද බව රජය මේ සම්බන්ධව පවසා සිටී. ප්‍රධාන රජයේ මෙම මාර්ගෝපදේශය අනුව යමින් පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනාට දෙවැන්න සඳහා දින  ලබා දීමට පළාත් රජයයන්ද කටයුතු කොට තිබුණි.

නමුත් එන්නත් දෙක අතර කාල පරාසය මේ ආකාරයට වැඩි කිරීම ආසාදනයෙන් ලැබෙන ප්‍රතිශක්තිය පිළිබඳව පිළිගත හැකි සහතිකයක් නොවන බව වෛරස පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි. විශේෂයෙන් කොවිඩ් රෝගීන් බහුල කලාපවල පුද්ගලයින් සඳහා එක එන්නත් මාත්‍රාව කිසිසේත් නොසෑහෙන බව ඒ පිළිබඳ පරීක්ෂණ තහවුරු කොට ඇත.

ඔන්ටේරියෝ පළාත් රජය මේ පිළිබඳ විශේෂ සැලකිල්ල යොමු කර ඇති අතර දෙවන මාත්‍රාව ලබාදීම සඳහා වන අවස්ථා වඩාත් පුළුල් කිරීමට පියවර ගනිමින් සිටී. ඒ අනුව මෙම සතියේ අග සෞඛ්‍ය අංශවලින් ආරම්භ කෙරෙන දෙවන මාත්‍රාව ලබා දීමේ වැඩසටහන ජූනි මුල සිට සාමාන්‍ය මහජනතාවට ලබාදීම දක්වා පුළුල් කිරීමටත් ඔන්ටේරියෝ රජය අපේක්ෂා කරයි.

Share this Post