කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී.

මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය යුතු ආකාරය පිළිබඳ පෙර සූදානමක් ලබා ගැනීමට මෙවැනි සංගණන බෙහෙවින් උපකාරී වේ. එම නිසා රටෙහි සියලුම ජනතාව මෙයට සහභාගි වීම ඉතාමත් අත්‍යවශ්‍ය වූවකි.

මෙම සංගණනයේ ප්‍රතිඵල සටහන් 2022 දී නිකුත් කිරීමට නියමිත අතර එයින් කැනඩාවේ සිටින සියලුම පුද්ගලයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ වන විට 2021 සංගණනය සඳහා මිලියන 15 ක් පමණ ෆෝරම තැපෑලෙන් ලැබීමට සලස්වා ඇති අතර අන්තර්ජාලය හරහාද අදාළ ෆෝරම පිරවීම සිදුකළ හැකියි.

කැනඩාව තුළ දළ වශයෙන් මිලියන 38 ක පමණ ජනතාවක් වාසය කරන බව පැවසෙන අතර මෙම ගණනය කිරීම්වලින් පසු එම සංඛ්‍යාව කෙතෙක්දැයි හරියටම දැනගැනීමට හැකිවනු ඇත.

මෙම ජාතික සංගණනයට සහභාගි වීම අනිවාර්ය වූවක් බවත් සංගණන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට සියලුම කැනේඩියානුවන් බැඳී සිටින බවත් සංගණන වැඩසටහන් අධ්‍යක්ෂ Geoff Bowlby පවසයි. බහුතරයක් කැනේඩියානුවන්ට මෙම සංගණන තොරතුරුවලට පිළිතුරු සැපයීම එතරම් අපහසුවක් නොමැති බව ඔහු විශ්වාසයෙන් යුතුව පවසා සිටියි. යම් විදියකින් එසේ පිළිතුරු සැපයීමේ අපහසුතා ඇති අය වෙතොත් ‍ කරුණු විමසා තොරතුරු ලබා ගැනීමට ෆෝරම පිරවීමේ අදාළ කාල සීමාව අවසන් වීමට පෙර නිලධාරීන් එවීමට අදහස් කරන බවද ඔහු පැවසීය.

මෙම සංගණනය සඳහා තොරතුරු රැස් කිරීම අද දින සිට ජූලි අවසානය දක්වා සිදුවෙනු ඇත. ඔබ විසින් ලබාදෙන සියලු තොරතුරුවල රහස්‍යතාව සුරකින බවට කැනඩා සංඛ්‍යාලේඛන තොරතුරු මධ්‍යස්ථානය සහතික කර සිටී. 

Share this Post