කැනඩාවේ වෙළඳපොළ තුළ ඇති කෘත්‍රිම ආභරණ රැසක සෞඛ්‍යයට අහිතකර කැඩ්මියම් ලෝහය අඩංගුව ඇති බව 2016 ජනවාරි මාසයේදී සිදුකළ සමීක්ෂණයකින් හෙළිදරව් වී තිබුණි. එහිදී අනාවරණය වූයේ එ් වන විට වෙළඳපොළෙහි තිබූ ත්‍රිකෝණාකාර නිල් පැහැති පෙන්ඩනයක කැඩ්මියම් සියයට 99.6 ක ප්‍රතිශතයක් අඩංගුව තිබූ බවයි. මෙය එතෙක් කැනඩාවෙන් සොයාගත් වැඩිම කැඩ්මියම් ප්‍රතිශතය සහිත ආභරණය ලෙසද එහි දක්වා තිබුණි.
මේ පිළිබඳව සිදුකළ පරීක්ෂණවලදී Ardene, Aldo වෙළඳසල් තුළින් කැඩ්මියම් බහුල විසිතුරු ආභරණ සොයාගෙන තිබුණි. මිලෙන් අඩු මෙම ආභරණ චීනයෙන් ආනයනය කරන ලද එ්වා වූ අතර විශේෂයෙන්ම දරුවන්ද මෙම ආභරණ භාවිතයට හුරුවී ඇති නිසා සෞඛ්‍යයට දැඩි තර්ජන එල්ල විය හැකි බව පැවසුණි.
කැඩ්මියම් යනු ශරීරයට අහිතකර බැර ලෝහයක් බව කවුරුත් දන්නා කරුණකි. කැඩ්මියම් ස්පර්ශ කිරීම මගින් එතරම් දරුණු ප්‍රතිඵලයක් අත් නොවුණත් හැපීම, ගිලීම වැනි අවස්ථාවකදී තත්ත්වය භයානක විය හැක. මේ පිළිබඳව සැලකිල්ලට ගනිමින් ෆෙඩරල් රජය විසින් ‘සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් සහිත’ ද්‍රව්‍යයක් ලෙස කැඩිමියම් හඳුන්වා දී ඇත.
සෞඛ්‍ය අංශ විසින් සිදුකළ මෙම හෙළිදරව්වෙන් පසු මහජන සෞඛ්‍යට තර්ජනයක් එල්ල වන මෙම ආභරණ පිළිබඳව Ardene වෙළඳ ආයතනය විශේෂ අවධානයක් යොමු කර ඇති බව පැවසේ. එහි අලෙවියට තබා ඇති විසිතුරු ආභරණ තුළ විෂ සහිත ලෝහ වර්ග ඇත්දැයි නිරීක්ෂණය කොට නිසි ප්‍රමිතිගත කිරීමක් සඳහා විශේෂ වැඩ පිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කොට ඇතැයිද පැවසේ.
ෆෙඩරල් රජයේ නීති රෙගුලාසිවලට යටත්ව කැඩ්මියම්වලින් තොර ආභරණ හඳුන්වා දීමටත් බාල ලෝහ වර්ගවලින් යුත් ආභරණ වෙළඳපොළට නොදැමීමටත් ඉදිරියේදී වගබලා ගන්නා බව එ් පිළිබඳව අදහස් දැක්වූ ආර්ඩේන් හි ප්‍රකාශකයෙකු පවසා තිබුණි.
කෙසේ වුවත් වෙළඳ පොළ තුළ ඇති මිලෙන් අඩු ආභරණ වර්ග මිල දී ගෙන පැළඳීමට පෙර එ්වායේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම කළ යුතු බව මේ අනුව වටහාගත යුතු වේ.

Share this Post