කැනඩාව තුළ රැකියා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් (people with disabilities) කොන් නොකර ඔවුන්ටද රැකියා ප්‍රවේශයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා කටයුතු හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ ඇමතිනි Carla Qualtrough පවසා ඇත්තේ ඇය මේ සම්බන්ධයෙන් වූ නීති පද්ධතියක් ගෙන එ්මට කටයුතු සොයා බලමින් සිටින බවයි. ඉදිරියේදී එම නීති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වන පනතට (Disabilities Act) එක් කරන බව එහිදී ඇය සඳහන් කොට තිබුණි.
යම් පුද්ගලයකු විශේෂ අවශ්‍යතා සහිත වූවකු වූ පමණින් ඔහු හෝ ඇය අතහැර දැමීම කළ නොහැක්කක් වන අතර සාමාන්‍ය පුරවැසියකු ලෙස ජීවත් වීමේ අයිතිය ඔවුන්ටද හිමිවිය යුතුයි. එහෙත් දීර්ඝ කාලයක සිට මේ පිරිස මුහුණ පා සිටින විරැකියා අර්බුදය නිසා එවැනි සාමාන්‍ය ජීවිතයකට යාම සිහිනයක් වී ඇත. මේ තත්ත්වය අවම කිරීම සඳහා ඔවුන්ටද රැකියා සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට මාර්ග සකස් කිරීම කළ යුතු දෙයක් බව ඇමතිනිය පවසා සිටී.
විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට රැකියා ලබා දීමේදීී ඉලක්කගත වැඩ පිළිවෙළක් යටතේ එය ක්‍රියාත්මක කළ යුතු අතර මෙවැනි පුද්ගලයන් රැකියාවලට ගැනීමෙන් පසු එම සේවා ස්ථානවල පහසුවෙන් රාජකාරි කටයුතු කිරීම සඳහා අවශ්‍ය සියලූම පහසුකම් ඇති කළ යුතු වේ. විශේෂයෙන්ම සේවා ආයතන පවත්වාගෙන යන ගොඩනැගිලිවල ප්‍රමිතිය මෙවැනි පුද්ගලයින්ට සරිලන සේ වර්ධනය කිරීම තුළින් අනාගතයේදී ඔවුන් වෙත වැඩි රැකියා අවස්ථාවන් ලබාදීමට රජය අපේක්ෂා කෙරේ.
මේ පිළිබඳව වූ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇමතිවරිය පවසා තිබුණේ මේ සියලූම දෙයින් බලපෑම් කරන්නේ එවැනි පුද්ගලයින්ට රැකියා අවස්ථා වැඩි කර ගැනීම සඳහා බවයි. ‘මෙවැනි පුද්ගලයින්ට රැකියා කිරීමට යෝග්‍ය අන්දමේ පරිශ්‍ර සහිත ගොඩනැගිලි නොමැති නම්, මෙවැනි අයට ගමන් කිරීමට පුළුවන් ආකාරයේ ප්‍රවාහන සේවා නොමැති නම් කොහොමද එ් අය රැකියා කරන්නෙ. එ් නිසා රැකියා ස්ථානවලත් ප්‍රවාහන ක්ෂේත්‍රයේත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණ පහසුකම් ඇති කිරීම කළ යුතුමයි’ ඇය පවසා සිටියි.
මේ සියලු අවශ්‍යතාවන් සලකා බලා කැනඩාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා වන පනත වෙත කාණ්ඩ 18 කින් යුතු අලූත් නීති මාලාවක් එක් කිරීමට අදහස් කර ඇති අතර මේ වන විට රට පුරා එ් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනිමින් පවතී. එම පනතට මේ නව නීති රෙගුලාසි එක්වීමත් සමග විශේෂ අවශ්‍යතාවන් සහිත වූවන් වෙත විශාල වාසි අත්කර දිය හැකි බවට රජය අපේක්ෂා කරයි.

Share this Post