කාන්තාවන් හට වසරකදී රුධිරය පරිත්‍යාග කළ හැකි වාර ගණන සීමා කරමින් කැනේඩියානු රුධිර සේවාව විසින් හඳුන්වාදෙනු ලැබූ නව මාර්ගෝපදේශන මාලාව නිසා රුධිර පරිත්‍යාගශීලීන් සංඛ්‍යාව අඩුවීමෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.
මෙම නව මාර්ගෝපදේශනය පසුගිය වසරේ දෙසැම්බර 10 වනදා සිට කැනඩාව තුළ ක්‍රියාත්මක වේ.
වරක් රුධිරය පරිත්‍යාග කළ කාන්තාවකට සති 8 ක කාල සීමාවකින් පසු (දින 56 කින් පසු) නැවතත් රුධිරය පරිත්‍යාග කළ හැකි ලෙස පෙර පනවා තිබූ සීමාව නව නිර්ණයන් යටතේ සති 12 ක් එසේත් නැතිනම් දින 84 ක් දක්වා දීර්ඝ කොට ඇත. මෙවැනි කාල පරිච්ඡේදයක නොසිට රුධිරය පරිත්‍යාග කිරීමෙන් කාන්තාවන් යකඩ ඌනතාවට මූණ පෑ හැකි බැවින් හෙල්ත් කැනඩා විසින් මෙසේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කොට ඇත.
කාන්තාවන්ට පමණක් නොව, 2017 මාර්තු 5 වන දින සිට රුධිරය පරිත්‍යාග කරන පිරිමින්ටද බලපාන නව නිර්ණයන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු යොදා ඇත. එ් අනුව රුධිරය පරිත්‍යාග කිරීමට අදහස් කරන්නන් ඊට පෙර පවත්වනු ලබන විධිමත් හිමොග්ලොබින් පරීක්ෂණයකින් සමත් විය යුතු වේ. එහිදී ඔවුන්ගේ හිමොග්ලොබින් මට්ටමේ අවම සීමාව 130 g/L අගයෙහි පැවතිය යුතු වේ. මෙම මට්ටම පෙර පැවතියේ 125 g/L ලෙසිනි.
මෙම නව නිර්ණයන් ක්‍රියාත්මක වීමත් සමග වසරකදී රුධිර පරිත්‍යාගශීලීන් 35,000 කින් පමණ අඩු විය හැකි බව කැනඩා රුධිර මධ්‍යස්ථානය පවසයි. සාමාන්‍යයෙන් කැනඩාව තුළ නිරන්තරයෙන් රුධිර පරිත්‍යාග කරන්නන් වැඩි පිරිසක් නොමැති අතර මෙම නව නිර්ණායක නිසා එම ප්‍රමාණය තවදුරටත් අඩුවන තත්ත්වයක් පෙන්නුම් කෙරේ. මෙහිදී අලූත් රුධිර පරිත්‍යාගශීලීන් කෙරෙහි අවධානය යොමු කිරීමට රුධිර මධ්‍යස්ථානයට සිදුවනු ඇත.
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් සියයට 3.4 ක පමණ ප්‍රමාණයක් මේ වන විට රුධිරය පරිත්‍යාග කිරීමට සුදුසුකම් ලබාගෙන සිටින අතර සෑම වසරකම කැනේඩියානුවෝ 400,000 ක් පමණ රුධිරය පරිත්‍යාග කරති. මෙම සංඛ්‍යාව ගැහැණු-පිරිමි වශයෙන් 50-50 ලෙස පවතී. පෙර තිබූ ආකාරයටම මේ පිරිස විසින් රුධිරය පරිත්‍යාග කළහොත් රට පුරා සිටින රුධිරය ලබා දිය යුතු රෝගීන් හට අඩුවක් නොමැතිව රුධිරය සැපයිය හැකි වුවත් නව නිර්ණයන්වලින් පසු ඇතිවන රුධිර හිඟයත් සමග එම සැපයුම කෙසේ කළ හැකි වේදැයි කිව නොහැකි බව රුධිර මධ්‍යස්ථානය පවසයි.

Share this Post