ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස පිළිබඳව මෙම නීතිය ක්‍රියාත්මක නොවෙන බව පැවසේ. මෙම කරුණ‍ෙෆෙඩරල් රජයේ දැඩි අවධාටෙ ලක් කොට ගොඩබිම් මායිම්වලදී සිදුවන හෝටල් නිරෝධායනය පිළිබඳව වඩාත් නිරීක්ෂණය කළ යුතු බව ඔන්ටේරියෝව සඳහන් කරයි.

ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott සහ සොලිසිටර් ජනරාල් Sylvia Jones මෙම කරුණ පිළිබඳව කැනඩාවේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය Bill Blair සහ සෞඛ්‍ය අමාත්‍ය Patty Hadju වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. ඔන්ටේරියෝව තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින COVID-19 ප්‍රබේදයන් යම් තරමකට හෝ මන්දගාමී කර ගැනීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය වන බව එම ලිපියෙන් ඔවුන් පෙන්වා දී ඇත.

කැනඩාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් රජය මගින් අනුමත හෝටල් වෙත යොමු කෙරෙන අතර එහිදී දින තුනක නිරෝධායන කාලයකට ඔවුන් යටත් විය යුතුව ඇත. නමුත් ඇතැම් ගුවන් මගීන් මෙම හෝටල් නිරෝධායනය මගහැරීම සඳහා කැනඩා දේශසීමාවට ආසන්නව පවතින ඇමරිකාවේ ගුවන් තොටුපොළවල් වෙත පැමිණ එතැන් සිට කුලී රථ සහ ඇතැම් අවස්ථාවල  පාගමනින්ද ඇමරිකා-කැනඩා දේශසීමාව හරහා කැනඩාවට පැමිණෙන බව එම ලිපියෙහි දක්වා ඇත.

මෙසේ නිරෝධායන නීති නොතකා පැමිණෙන පුද්ගලයන් මහජනතාවගේ සෞඛ්‍යයට ඍජුවම තර්ජනයක් බවත් ඔවුන් හරහා මාරාන්තික COVID-19 ප්‍රබේදයන් ඔන්ටේරියෝව වෙත පැමිණීම ගැටලුවක්ව පවතින බව ලිපිය සඳහන් කරයි.

මෙම ලිපියේ සඳහන්ව ඇති ආකාරයට පසුගිය සති දෙකක කාලය තුළ ගොඩබිමින් ඔන්ටේරියෝවට ඇතුළුව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 150,000 ක් පමණ වේ. මෙම පිරිසට  ට්‍රක්-ලොරි රථ රියදුරන් සහ සේවකයන් මෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇමරිකා-කැනඩා මායිම් තරණය කරන්නන්ද අයත් වේ. කැනඩාව විසින් ඉන්දියාව සහ පාකිස්තානයෙන් පැමිණෙන ඍජු ගුවන් ගමන් නවතා දැමීමත් සමග අප්‍රේල් 24-26 අතර කාලය තුළ ඇමරිකාවට පැමිණ ගොඩබිමෙන් කැනඩාවට පැමිණෙන්නන් සංඛ්‍යාව ඉතාමත් අධිකව ඇතැයි එහි සඳහන් වේ.

මෙම තත්ත්වය ඔන්ටේරියෝවට පමණක් නොව සමස්ත කැනඩාවටම ගැටලුවක් වන බව එම ලිපිය පෙන්වා දේ.

මේ වන විට කැනඩාවේ ක්‍රියාත්මක වන නිරෝධායන නීතිවලට අනුව ජාත්‍යන්තර ගමනාන්තවල සිට පැමිණෙන සියලුම මගීන් දින තුනක් රජය මගින් අනුමත හෝටල්වල නිරෝධායනය විය යුතුව ඇත. සෑම මගියෙක්ම ගුවන් තොටුපොළේදී COVID-19 පරීක්ෂාවට භාජන කරන අතර එම ප්‍රතිඵල කුමක් වුවත් දින 3 ක හෝටල් නිරෝධායනය සිදුකිරීම අනිවාර්ය වේ. කොවිඩ් පරීක්ෂාවේ ප්‍රතිඵල ඍන (negative) වුවහොත් ඔවුනට පිටව යා හැකි නමුත් තවත් දින 14 ක නිවෙස් නිරෝධායනයක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුව ඇත. එහිදී නැවතත් දින 10 කින් කොවිඩ් පරීක්ෂාවක් සිදුකෙරෙන අතර එයද නෙගටිව් වූ පසු එම පුද්ගලයින් නිරෝධායනයෙන් නිදහස් වේ. යම් හෙයකින් පළමු කොවිඩ් පරීක්ෂාවෙන් ධනාත්මක (positive) වුවහොත් ඔවුන් රජය මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකරනු ලැබේ.

නමුත් මෙම තත්ත්වය ගොඩබිමෙන් පැමිණෙන පුද්ගලයින් සඳහා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොකෙරෙන අතර කැනඩාවට ඇතුළු වීමට පැය 72 කට පෙර ලබාගත් කොවිඩ් පරීක්ෂාවක ඍණාත්මක සහතිකය පමණක් ඔවුන්ගෙන් විමසනු ලැබේ. ඉන්පසු නිවෙස් වෙත ගොස් දින 14 ක අනිවාර්ය නිරෝධායනයකට යටත් වන ලෙසත් එසේ නිවෙස් වෙත පැමිණ දින 8 කට පසු කොවිඩ් පරීක්ෂාවකට ලක්වන ලෙසත් සඳහන් කර ඇත.

ගොඩබිමෙන් පැමිණෙන පිරිස සඳහා පවතින මෙම ලිහිල් නීතිරීති මෙම වසංගතය දැනට ඔන්ටේරියෝවේ පැතිරෙමින් පවතින තත්ත්වය සමග නොගැළපෙන බව එම ලිපිය සඳහන් කරයි. එම නිසා විශාල වශයෙන් මගීන් යාම්-ඊම් සිදුකරන නයගරා (Niagara), වින්ඩ්සර් (Windsor), සාර්නියා (Sarnia), බ්‍රොක්විල් (Brockville) යන දේශ සීමාවන් ආසන්නයෙහි පවතින හෝටල්වල මෙම මගීන්ටද දින තුනක් අනිවාර්ය හෝටල් නිරෝධායනය සඳහා නීතිරීති ප්‍රධාන රජය මැදිහත්ව පැනවිය යුතු බව මෙම ලිපිය පැහැදිලි කර සිටී.

 

 

 

 

 

 

Share this Post