2018 වසර සඳහා කැනඩාවේ සංක්‍රමණික ඉලක්ක නිශ්චය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතින අතර එම නිල නිවේදනය නොවැම්බර් 01 දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ආගමන අමාත්‍ය ආමඩ් හුසේන් පවසා ඇත්තේ, කැනඩාව අලුත් සංක්‍රමණිකයන්ට ආරාධනා කරන බවත් ඔවුන් සඳහා කැනඩාව තුළ ඛෙහෙවින් ඉඩකඩ පවතින බවත්ය.

නව දරු උපත් අඩුවීමත් වයස්ගත ජනගහනය වැඩිවීමත් නිසා අනාගතයේදී කැනඩාව තුළ ඇති වන ශ්‍රම බලකාය හිඟ වීමේ අභියෝගය ජය ගැනීමට හැකි හොඳම ක්‍රමය මේ ආකාරයට වැඩි වැඩියෙන් සංක්‍රමණිකයන් ගෙන්වීම බව ආගමන අමාත්‍යවරයා පවසයි.

එහෙත් මෙසේ නව සංක්‍රමණිකයන් විශාල වශයෙන් ගෙන්වීම කෙරෙහි ඇතැම් පාර්ශ්වයන් සිය විරෝධය පළකරන අතර මෙය අනාගතයේදී ගැටලුකාරී විය හැකි බව ඔවුන්ගේ අදහසයි. විශේෂයෙන්ම කැනඩාවේ වර්තමානයේ පවතින රැකියා අර්බුදයත්, අඩු ආදායම්ලාභීන් සංඛ්‍යාව ඉහළ යෑමත්, රජයේ සුභසාධන යටතේ ජීවත් වන්නන් වැඩිවීමත්, නිවාස ගැටලුවත්, දිනෙන් දින වැඩි වන ජීවන වියදමුත් වැනි කරුණු පිළිබඳව සලකා බැලීමේදී තවත් වැඩියෙන් සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීම සුදුසුදැයි ඔවුන් ප්‍රශ්න කොට සිටී.

එහෙත් සාම්ප්‍රදායික රාමුවක සිට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට වඩා ඉන් එහා ගිය තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වීම සුදුසු බව ආගමන ඇමතිවරයා ප්‍රමුඛ රජයේ අදහසයි. ජනගහනය වැඩිවීම නිසා අනාගතයේදී ඇතිවිය හැකි ගැටලු කළමනාකරණය කර ගැනීම රජයේ සහ ඊට සම්බන්ධ සියල්ලන්ගේම වගකීමක් බවත් එ් සඳහා අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළවල් තුළින් පිළියම් සෙවීම කළ යුතු බවත් රජය පෙන්වා දේ. එහෙත් අනාගතයේදී රටේ ආර්ථීකය ශීඝ්‍රව ඉහළට නංවා ගැනීමට නම් එ් සඳහා අවශ්‍ය පිරිස් බලය වර්ධනය කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.  විශේෂයෙන්ම අනාගතයේදී   වැඩ කළ හැකි පිරිස හිඟ වීමත් සමග ඇතිවන හිඩැස පියවාගැනීම සඳහා  ගත හැකි එකම ක්‍රියාමාර්ගය රටට අලුතින් සංක්‍රමණිකයන් ගෙන්වා ගැනීමයි.

මේ වන විට වාර්ෂිකව නව සංක්‍රමණිකයන් 300,000 කට කැනඩාව දොරටු විවර කර ඇතත් රටේ ජනගහන වර්ධනය ඉන් සිදුවන්නේ සියයට 0.82 ක දායකත්වයකි. ඉදිරියේදී මෙම ප්‍රතිශතය සියයට 1 දක්වා ඉහළ නැංවීමට කැනඩාව බලාපොරොත්තු වන අතර 2025 වන විට සංක්‍රමණිකයන් 450,000 ක් ගෙන්වීමට අපේක්ෂා කෙරේ.

Share this Post