May 1, 2017

ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි

බහුතරයක් දෙනා ආහාර ගැනීමේදී එහි රසය පිළිබඳව බොහෝ දුරට විමසිලිමත් වුවත් එහි ගුණාගුණ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. ඇතැම් විට රසයට මුල්තැන දී ලබාගන්නා එවැනි ආහාර වර්ග නිසා නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ පාන්නෝද එමට සිටිති. අප අද මෙම ලිපිය තුළින් විමසා බලනුයේ ආහාර පිසීමේදී මෙන්ම පිසූ ආහාර භාවිතයට ගැනීමේදී දැන සිටිය යුතු වැදගත් කරුණු කීපයක් පිළිබඳවයි.

ඉස්සො දැල්ලො අන්නාසි අගුණද

නොයෙකුත් ආකාරවලට පිසගත් ඉස්සන් සහ දැල්ලන් අප කවුරුත් ප්‍රිය කරන ආහාර වර්ග වේ. එහෙත් ඇතැම් අයට ඉස්සන්, දැල්ලන්, අන්නාසි වැනි ආහාර කන්නට නොහැක්කේ ඔවුන් ඒවාට අකමැති නිසා නොව, කෑ සැණින් ඔවුන් තුළ අහිතකර තත්ත්වයන් ඇතිවන හෙයිනි. මෙවැනි තත්ත්වයන් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ ‘ආහාර අසාත්මිකතා’ එසේත් නැතිනම් Food Allergy ලෙසයි. මෙහිදී ශරීරය පුරා පලූ දැමීම, සම රතු වීම, කැසීම, ඇස් ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම ආදි තත්ත්වයන් ඇතිවිය හැකි අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදුවන අසාත්මික තත්ත්වයන් විවිධාකාර විය හැකියි. මෙවැනි තත්ත්ව වර්ධනය වීමෙන් ඇතැම් විට මරණය ගෙන ඒමට වුවත් හැකිවීම මෙහි ඇති භයානකත්වය වේ.

ආහාර අසාත්මිකතා

අප ලබාගන්නා ආහාරය නරක් වූ හෝ පරණ වූ එකක් නොවූවත් එය කෑමෙන් පසු අප තුළ අසාත්මිකතා ඇති වන්නේ නම් එය අප දැඩි පීඩාවට ලක් කරන්නක් වේ. විශේෂයෙන්ම ඉස්සො, දැල්ලො, ඌෂ්ණ අධික යැයි පැවසෙන මාලූ වර්ග, අන්නාසි, අච්චාරු වැනි දෑ ආහාරයට ගැනීමෙන් පසු ඇතැම් අය තුළ මෙවැනි තත්ත්වයන් හට ගනී.

ඇත්තෙන්ම මෙහිදී සිදුවන්නේ අප ආහාරයට ගන්නා දේ පිළිබඳ වැරදි වැටහීමක් අපගේ සිරුරෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ ඇති වීමයි. අපගේ සිරුර ස්වයංව ආරක්ෂා කිරීම සඳහා සැකසුණු ‘ප්‍රතිශක්තිකරන’ පද්ධතිය sh (Immune System) මගින් ශරීරයට සිදුවන බාහිර උවදුරු (විෂබීජ හෝ එවැනි ආගන්තුකයන්) බොහෝ සංඛ්‍යාවක් වළකාලනු ලබයි. එහිදී ඇතැම් අය විසින් ගනු ලබන ඉහත ආකාරයේ ආහාරයන් විෂබීජයන් යැයි මෙම පද්ධතිය නිර්ණය කිරීමෙන් පසු ඊට විරෝධය පා සටන් කිරීම නිසා මෙම අසාත්මික තත්ත්වයන් හට ගනී.

මේ පිළිබඳව තව දුරටත් වටහා ගැනීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපට දෙන ආරක්ෂාව ගැන තරමක් සොයා බලමු.

අප සිරුරට ඇතුළු වන විෂබීජ හෝ ආගන්තුකයන් වෛද්‍ය විද්‍යාවේදී ‘ප්‍රතිදේහජනක’ (Antigen) ලෙස හඳුන්වනු ලබයි. මෙම ප්‍රතිදේහජනකයක් ශරීරයට ඇතුළු වූ සැණින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ස්වයංක්‍රීයව එයට විරුද්ධව සටන් කිරීම සඳහා ආයුධයක් නිර්මාණය කරනු ලබයි. මෙලෙස නිර්මාණය වන ආයුධය වෛද්‍ය භාෂිතයේදී ‘ප්‍රතිදේහ’ (Antibody) ලෙස හඳුන්වනු ලබයි.

ඒ ඒ ප්‍රතිදේහජනකය සඳහා විශේෂිත වූ ප්‍රතිදේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළ නිර්මාණය වන අතර ඒ එක් එක් ප්‍රතිදේහයකින් විනාශ කරනු ලබන්නේ ඊටම ආවේණික වූ ආගන්තුක සතුරකු පමණි. මේ ආකාරයට විෂබීජයක් හෝ වෙනත් ආගන්තුකයෙක් සිරුරට ඇතුළු වූ සෑම විටකම ප්‍රතිදේහ සිය සටන අරඹනු ලබයි. මෙහිදී සිදුවන සටන විද්‍යානුකූලව inflammatory reaction ලෙස හඳුන්වනු ලබන අතර සිරුර තුළ සිදුවන සටනේ ප්‍රතිඵලයක් ලෙස අපේ සම මතුපිට රතුපාට වීම, ඉදිමීම, කැසීම, එම ස්ථානයට ලේ ගමනය වැඩිවීම, එම ස්ථානයේ උෂ්ණත්වය වැඩිවීම ආදිය සිදුවේ.  gdgd

අප සිරුරු තුළ සිදුවන ඉහත සංසිද්ධිය දෙස බැලු විට අප ආහාරයට ගන්නා ඇතැම් ආහාර පිළිබඳව සිදුවන වැරදි වැටහීම නිසා ප්‍රතිදේහ ඇති කරන සටන්හි ප්‍රතිඵල ලෙස අසාත්මිකතාව ඇතිවන බව ඔබට පැහැදිලි වනු ඇත. මෙම ප්‍රතිදේහ තුළ තිඛෙන ඉතාමත් වැදගත් ගති ලක්ෂණය වන්නේ මේවායේ පවතින මතක ශක්තියයි. මේ ගති ලක්ෂණය නිසා එක්වරක් අප ආහාරයට ගත් දෙයක් වැරදි ලෙසින් හෝ විෂබීජයක් යැයි වටහා ගෙන ඇතොත් නැවත අපි එය ආහාරයට ගත් විටද එය විෂබීජයක් ලෙස වැරදියට වටහාගත් අයුරින්ම ඒ සමග නැවතත් සටන් වදී. එම නිසා ඉස්සන්, දැල්ලන්, අන්නාසි වැනි දෑ කන වාරයක් පාසා ඇතැම් අයගේ සිරුරෙහි පලු දමා, රතු වී, කැසීම් හටගෙන මහත් අපහසුතාවන්ට පත්වේ.

අතැම් විට අප නැවත එය ආහාරයට ගත් විට පෙර වතාවන්ට වඩා දරුණු ලෙස සටන් කිරීමට පවා ප්‍රතිදේහ ඉදිරිපත් වන අවස්ථා දක්නට ලැබේ. මෙහිදී අසාත්මික වූ පුද්ගලයා තුළ පෙරට වඩා වැඩි රෝග ලක්ෂණ හා අපහසුතා දක්නට ලැබේ. එම නිසා යම් ආහාරයක් අසාත්මික බව හැඟුනහොත් එයින් වැළකී සිටීම සුදුසු බව වෛද්‍යවරුන් පෙන්වා දෙන්නකි. මෙහිදී ඔබට අසාත්මික වන ආහාර ද්‍රව්‍ය හෝ ආහාර සංඝටකය පිළිබඳ වැටහීමක් තිබීම ඉතා වැදගත් වේ.

විශේෂයෙන්ම ඉස්සො, දැල්ලො, කකුළුවො, බල මාලූ, කෙළවල්ලො, හුරුල්ලො ආදි උෂ්ණාධික ආහාරයන් තුළ හිස්ටැමින් (Histamine) නම් ද්‍රව්‍ය අධිකව ඇති නිසා ඇතැම් අයට දැඩි ලෙස අසාත්මිකතා ඇති වෙනවා. මෙම ආහාර වර්ගවලට අමතරව රටකජු හා වෙනත් කජු වර්ගත්, බිත්තර, අන්නාසි, තක්කාලි, අච්චාරු වර්ගත් ඇතැම් අයට අගුණ විය හැකියි. මෙහිදී මෙන්න මේ ආහාරයට අසාත්මිකයි යන්න බැලු පමණින් අපට නිර්ණය කළ නොහැක්කක් වන අතර ඒ සඳහා විශේෂිත පරීක්ෂණ තුළින් ඔබට අසාත්මික කුමන ආහාරදැයි යන්න පිළිබඳ සොයා බැලිය යුතු වේ.

ආහාර අසාත්මිකතා භයානකද?

සරලව සැලකුවහොත් බොහෝ අවස්ථාවල ආහාර අසාත්මිකතා එතරම් භයානක ප්‍රතිඵල අත් නොකරයි. එහෙත් කලාතුරකින් ඇතැම් අයෙකුට  Anaphylaxis නම් තත්ත්වය ඇති වුවහොත් එයින් හානිකර ප්‍රතිඵල ඇතිවිය හැක. මෙහිදී මෙම Anaphylaxis නම් තත්ත්වයේ පෙර ලකුණු ලෙස ඇඟ ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාව, කලන්ත ස්වභාවය ආදිය දැක්විය හැක. එනිසා කුමන ආකාරයේ අසාත්මිකතාවක් ඇති වුවත් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසුම ආකාරය බව කිව යුතුව ඇත. විශේෂයෙන්ම කුඩා දරුවන් හට මෙවැනි අසාත්මිකතාවක් ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත ගෙන යා යුතුම වේ.

ප්‍රතිකාර

අසාත්මිකතාව යන්න නිට්ටාවට සුව කළ හැක්කක් නොවේ. ඇතැම් අයට අසාත්මිකතා නිසා කාලයක් තිස්සේ  ලබා ගැනීමට නොහැකි වූ ආහාර කිසියම් විටෙක ආහාරයට ගත හැකි වනු ඇත. නමුත් එයින් එම ආහාර සඳහා ඔවුන් තුළ පැවති අසාත්මිකතාව දුරු වී ඇතැයි කිව නොහැක.

අසාත්මිකතා ඇති වන්නන් සඳහා ඖෂධ, එන්නත් ආදිය පවතින අතර වෛද්‍ය උපදෙස් මත මේවා ලබා ගැනීම තුළින් තාවකාලික සහනයක් ලබා ගත හැකිය. එහෙත් බොහෝ අවස්ථාවල වෛද්‍යවරුන් පෙන්වා දෙනු ලබන්නේ අසාත්මික ආහාර ද්‍රව්‍යවලින් වැළකී සිටීම සුදුසු බවයි.fALERGE

කිසියම් කෙනෙකුට ආහාර අසාත්මිකතාවක් ඇති වූ විටෙක වහාම රෝහලක් කරා රැගෙන යාම සුදුසු වන අතර ඒ වන තෙක් කළ යුතු ප්‍රධානම දෙය වන්නේ රෝගියා තුළ ඇති වී පවතින බිය තුරන් කිරීමයි. මෙවන් රෝගියකු කලබල වෙමින් අනවශ්‍ය ලෙස බිය වීමක් සිදුවුවහොත් සිරුර තුළ සිදුවන ඝට්ටනය වැඩි වී හානියද වැඩිවිය හැකියි.

තවද රෝගියාගේ සිරුරෙහි මතුවූ පලූ මතුපිට හෝ කැසීම් හා රතු වුණු තැන්වල කිසිදු ආලේපනයක් හෝ තෙල් වර්ගයක් තැවරීම නොකළ යුත්තකි. වෛද්‍යවරයා විසින් යමක් නිර්දේශ කරන තුරු බාහිරව හෝ අභ්‍යන්තරව කිසිදු ඖෂධයක් ලබා දීම සුදුසු නොවේ. එහෙත් රෝගියා සිහිසුන් තත්ත්වයක නොසිටින්නේ නම් හැකි තරම් ජලය පානය කිරීමට දීම සුදුසු වේ.

අසාත්මික වන්නේ ආහාර පමණද?

කොහෙත්ම නැත. අසාත්මිකතාව යනු පුළුල් මාතෘකාවකි. කිසිවෙකුත් කිසිවිටෙකත් නොසිතන ඇතැම් දෑ සඳහා ඇතමුන්ගේ සිරුරු තුළ අසාත්මිකතා ඇතිවිය හැක. මෙහිදී සුලබව සිදුවන අසාත්මිකතා අතර ඖෂධ ආසාත්මිකතා, විවිධ සතුන් දෂ්ටනය නිසා ඇතිවන අසාත්මිකතා, විවිධ රසායනයන් සඳහා වන අසාත්මිකතා, ගස්වැල් නිසා ඇතිවන අසාත්මිකතා, පරිසර විපර්යාසයන් නිසා ඇතිවන අසාත්මිකතා, එදිනෙදා පරිභෝජනය කරන ඇඳුම් පැළඳුම් ආදියෙන් ඇතිවන අසාත්මිකතා, රෝගී තත්ත්වයන් (ඇදුම වැනි) නිසා ඇතිවන අසාත්මිකතා ඇතුළු බොහෝ කරුණු නිසා ආසාත්මිකතා ඇති විය හැකියි.

සටහන – චමරි අබේසිංහ

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*