May 1, 2017

බසක වරුණ

භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා සාරධර්ම පද්ධතියේ සාරය උකහාගෙන ජාතිය පෝෂණය කරයි. සිංහල භාෂාව ජාතියේ මුදුන් මුලයි.

‘සිංහලයන්ගේ භාෂාව වූ කලී වාග් ශක්තියෙන් අනූන වූ, එය කථා කරන ජනතාව මෙන්ම ශ්‍රේෂ්ඨ වූ, සුලලිත සුඛනම්‍ය සුමධුර භාෂාවකි. එ් භාෂාව කථා කිරීමට ඉමිහිරිය. රසවත් ඇමතුමෙන් හා ජනකාන්ත භාවයෙන් පරිපූර්ණය’

මෙය රොබට් නොක්ස් (Robert Knox) විසින් 1681 දී ලියන ලද An Historical Relation of the Island Ceylon නමැති කෘතියෙන් උපුටා ගත් පාඨයකි. ඔහු දෙවැනි රාජසිංහ රජුගේ රාජ්‍ය පාලන සමයෙහිදී වසර විස්සක් පමණ සිරකරුවෙකු වශයෙන් කන්ද උඩරට ජීවත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ එක්දහස් හයසිය ගණන්වල පවා අපට සම්භාවනීය භාෂාවක් තිබූ බවය.
සිංහල භාෂාවේ විශේෂ ලක්ෂණයක් නම් ග්‍රන්ථ භාෂාව නොහොත් ලේඛන භාෂාව සහ කටවහර නොහොත් ජනවහරයි. අදහස් හුවමාරු කරගැනීමේ දී කටවහර යොදාගන්නා අතර ලිවීමේ දී උපයෝගී කොට ගන්නේ ව්‍යාකරණානුකූල භාෂාවකි.
අනුරාධපුරය අවධියේ සිටම යුගයෙන් යුගය ලියැවුණු ගද්‍ය කෘතීන්හි භාෂාව විමංශනයට භාජන කරන විට එදා සිටම උසස් ගණයේ භාෂාවක්, විශිෂ්ට ලේඛන රීතියක් සිංහලයේ තිබූ බව පැහැදිලිව පෙනෙයි. පහත සඳහන් වන්නේ පොළොන්නරු යුගයේ රචිත ගුරුළුගෝමින්ගේ ‘ධර්ම ප්‍රදීපිකාව’ නම් වූ ග්‍රන්ථයෙහි එන පාඨයකි

‘කියග සොඳුර මහබඹතෙමෙහෙ සඳින් සොමි ගෙනැ රන් ගලින් පහන් පැහැ උකහාගෙනැ වන විලින් මත් හස්යුවළක් ගෙනැ තුන්රත්පියුමක් ඇරැ එයින් එකක් තබා දෙකක් හිරාගෙන සිනිඳු සුනිල් මහනෙල්මල් දෙකක් ගෙනැ ළහෝපල් ලෙහි මෙළෙකක් ගෙනැ ළහෙල්මැල්ලෙහි සිහිලස් ගෙනැ සැහැසි හනා වනා බමරබර පුල් ලෙළ ලියෙක්හි එව තී මවමින් ළය කිසෙ ගල කෙළෙහො යි? කී’

මහාබෝධිවංසයට පරිකථාවක් ලෙස වියතුන් සඳහා ලියැවුණු මෙම කෘතියෙහි අර්ථ හා ශබ්ද මාධුර්යයෙන් අනූන වූ භාෂාවක් උපයෝගී කොටගෙන තිඛෙන බවට මෙම පාඨය කදිම සාධකයකි. ගුරුළුගෝමීන්ගේම තවත් කෘතියක් වූ ‘අමාවතුර’ පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහ මෙසේ පවසයි.

‘ගුරුළුගෝමීහු අතින් හැඩගැසුණු දේශීය මාර්ගයක් ලෙස සැලකිය යුතු අමාවතුර රීතිය නවීන කවර බසක වුවද උසස් සරල රීතියට දෙවන නොවන්නකි’

‘යශෝධරා දේවී….. සිහි මැදුරු විවර කොට බලන්නී බුදුන් නන් විසිතුරු පැහැයෙන් දිලියෙන සිරුරු රැසින් නුවර මහ වේ බබුළුවමින් රශ්මි ප්‍රවාහයෙහි ගැලී සිටි අසූ අනූ ව්‍යඤ්ජනයෙන් බබළන දෙතිස් වර ලකුණෙන් සැදුම් ලද රූපකාය ඇතියවුන් උපමා නැති බුදු සිරින් වොරජනන් දැක හිස පටන් ගෙන පතුල් දක්වා නර සී ගා නම් අට ගයකින් බුදුන් වනා සුදොවුන් මහ රජාණන් කරා ගොස්,
“තොප පුතණුවෝ අතුරු වේ බැස සිඟති” යි කීහු.
මහරජාණෝ බිය පත්වැ සළුව හඳිමින් වෙළෙව්ව ගොස් බුදුන් පෙරට සිට
“වහන්සේ ! මට ලජ්ජා කුමට කරව? කුමක් සඳහා සිඟව? මා මෙසඟනට බත් නොදිය හෙතියි ගත්තාව” යි කීහු.
“මහරජ ! මේ අපේ වංශය” යි වදාළෝ ‘

මෙම කෙටි වර්ණන1යෙන් පාඨකයාගේ සිතට නංවන්නේ රමණීය චිත්‍රයකි. බුදුන් සිඟා වඩිනු ඇසූ යශෝධරා දේවිය සීමැදුරු කවුළුව හැර බැලීම, ඇගේ නෙත ගැටුණු අසිරිමත් දර්ශනය සහ දිවගෙන ගොස් සුදොවුන් රජුට දැන්වීම හා සුදොවුන් රජු බුදුන් පෙරමඟට දිවගෙන යාම නාට්‍යමය ආකාරයෙන් නිරූපණය වෙයි. පිඬු සිඟා යාම ගැන ඇය තුළ හා රජු තුළ ඇති වූ ලජ්ජාව කදිමට විද්‍යමාන වෙයි. චරිත නිරූපණයෙහි හා අවස්ථා නිරූපණයෙහි ලා ගුරුළුගෝමීන් දක්වන ප්‍රතිභා ශක්තිය මනාව පැහැදිලි වෙයි. මෙය නූතන සාර්ථක නවකතාවක අවස්ථා හා සිද්ධි නිරූපණයට ඛෙහෙවින් සමීප වෙයි.

‘බුත්සරණ’ කතුවරයා වූ විද්‍යාචක්‍රවර්තීන්ගේ භාෂා රීතිය මෙයට වඩා වෙනස් මගක් ගනී.

‘ඈත ධුලින් වැසී ගිය ඇත් රජ යැ. මෑත සවණක් ඝන බුදු රැසින් සැදී ගිය බුදුරජාණෝ ය. ඈත කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇත් රජ යැ. මෑත කරුණායෙන් තෙත් වැ ගිය නිල්මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝ යැ….’

නාලාගිරි ඇතාගේ භයංකර විලාසයත්, බුදුන් වහන්සේගේ ශාන්ත දාන්ත වූ ගමන් විලාසය සහ මහා පෞරුෂයත් කතුවරයා පාඨකයා හමුවට ගෙනෙන්නේ නාට්‍යමය විලාසයෙනි. මනා පද සංඝටනය නාට්‍යමය සංඝටනය හේතු කොට ගෙන මෙම සිදුවීම මනසින් දකින පාඨකයා භීතියෙන් හා සන්ත්‍රාසයෙන් ඇළලී යයි. බුදුන්වහන්සේට ඇඳිලි බැඳ වැඳ වැටෙයි.

මයුරපාද හිමියන් විසින් රචනා කරන ලද ‘පූජාවලිය’ නම් වූ ග්‍රන්ථයෙහි රචනා ශෛලිය ඉහත සඳහන් කතුවරුන්ට වඩා වෙනස්ය. බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්යය දක්වා ඇත්තේ මෙසේය.

‘දකුණු දසරුවෙන් නාඹතල්කඳක් සා දියකෙඳක් හෙන්නට වන. වම්දසරුවෙන් නාඹතල්කඳක් සා දියකෙඳක් හෙන්නට වන. දකුණුදසරුවෙන් නාඹතල්කඳක් සා ගිනිකෙඳක් හෙන්නට වන….’

පද සංකලනය හා පද ඛෙදා ඇති ආකාරය හේතු කොටගෙන දිය ඇල්ලක් සහ ගිනි ජාලාවක් මාරුවෙන් මාරුවට ගලාගෙන යන්නාක් මෙන් චිත්ත රූප නංවන සුලූය.
දඹදෙණි යුගයෙහි බිහි වූ ‘සද්ධර්ම රත්නාවලිය’ කෘතියෙහි කතුවරයා වූ ධර්මසේන හිමියන්ගේ රචනා ශෛලිය කතා කිීමට ඉතාම උචිතය. රත්නාවලිය රචනා කොට ඇත්තේ ද විද්වතුන් සඳහා නොව සාමාන්‍ය ගැහි ජනතාව සඳහාය. එය ගැමි වහර සහ ගැමි ජීවිතය ඇසුරින් සකසා ගත් සුන්දර, සුගම රීතියකි. එහි එන චුල්ලපත්ථක තෙරුන් වහන්සේ පිළිබඳ විස්තරය මෙසේය.

‘මහණ වන්නා ම බත් කෑ කලට බඩ සාය නැති වන්නා සේ, පැන් පූ කලට පැන් පවස් නැති වන්නා සේ, ගොයම් දා ගෙන කුඹුරු සේන් කළ කලට වැට කොටු නැති වන්නා සේ, නියඟ තර හෝ ආදියෙහි පැන් නැති වන්නා සේ, ත්‍රි හේතුක හෙයින් ඇති නුවණ පසු ව කලෙක දී ඇති වත ත් අකුශල කර්ම බලයකින් නුවණ නැති විය’

මෙහි පද ඛෙදීම වර්තමාන සිංහලයෙහි පද ඛෙදීමට ඛෙහෙවින්ම සමානය. චුල්ලපන්ථක තෙරුන් පසුබට ශිෂ්‍යයෙකු වීමට හේතුව ගැමියාට අවධාරණය කරන්නේ එදිනෙදා ගැමි ජීවිතයේ පරිසරය ආශ්‍රිත උපමාවන් යොදා ගනිමිනි.

කුරුණෑගල අවධියෙහි රචිත ‘ජාතක පොතෙහි’ රීතිය, භාෂාව වෙනස් වීමත්, ඉගෙනුම පැතිරී යාමත් හේතු කොට ගෙන ඇති වූ සමාජ විපර්යාසය නිසා පහළ වූවකි. ‘පොදු ජනයාම සලකාගෙන ලියන ලද සිංහල ගද්‍යය ජාතකපොත ය. ජාතක කතා ලක්දිව උපන් ජනකතා මෙන් පොදු ජනයා අතර පැතිර ගියේය’ යි මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසයි. ජාතක පොතට උපයෝගී කොටගෙන ඇත්තේ කතන්දර කීමේ ශෛලියයි.

වර්තමාන කතාවෙන් පසුව එන අතීත කතාවෙන් පාඨකයා ඈත ඈත යුගයකට රැගෙන යයි. ‘යටගිය දවස බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන සමයේ හී……’ සිදු වූ ඕනෑම සිදුවීමක් අසන්නට පාඨකයා පුල පුලා සිටී. 2බුදුරජාණන් වහන්සේ දාන කතා, සීල කතා, සග්ග කතා ගැමි ජනතාවට වටහා දුන්නේ මෙම ක්‍රමය උපයෝගී කොට ගෙනය. ගාථාවකින් කතාවෙන් දෙන දහම් පණිවුඩයෙන් පසු පූර්වාපර සන්ධි ගැලපීම සිදුවෙයි. අතීතයට රැගෙන ගිය පාඨකයා වර්තමානයට කැඳවාගෙන එයි. කාලය අතීතයට හා වර්තමානයට ගමන් කරවීම නූතන Fantasy (මනෝමය ලෝකය වස්තු කොට ගත්) කතාවක සන්දර්භයට සමානය. ‘ජාතක පොත් වහන්සේ’ නමින් ගෞරවාදරයට පාත්‍ර වූ මෙම කෘතිය ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ බිහි කරවීමට සහාය වූ අනභිභවනීය ග්‍රන්ථයකි. ‘පිරුවානා පොත් වහන්සේ’ සහ ‘සතිපට්ඨානය’ අනෙකුත් ග්‍රන්ථයි.

‘එසමයෙහි සිල්වත් ගුණවත් තාපස කෙනෙක් එකියන පිටිසර ගම මනුෂ්‍යන්ගෙන් සිවුපසය අනුභව කරන්නාහ. බෝධිසත්වයෝ ඒ තාපසයන්ගේ මියුරු ධර්මදේශනා ව අසන නිසා දවසක දෙවිටක් අවුත් තාපසයන් වැඳ යන්නාහ’ ගෝධ ජාතකයෙහි එන මෙම පාඨය කෙතරම් දුරට නූතන ලේඛක භාෂාවට සමීප ද යන්න පැහැදිලිය.

ජාතක පොතෙන් ජන වහර ද, පෝෂණය විය. ‘පෝරිසාදයා, සද්දන්තයා, පිංගුත්තරයා, කාලකණ්ණියා’ ආදි වචන සිංහල ගැමි වහරට පැමිණියේ ජාතක කතාවන්හි බලපෑමෙනි.

එපමණක් නොව, චිත්‍ර හා මූර්ති ශිල්පයේ ද ජන කවි හා සාහිත්‍යයේ වර්ධනයට ද හේතු වූයේ ජාතක පොතෙහි එන කතන්දරයි. දේශීය සුවඳ වහනය වන සිංහල නාට්‍ය කලාවේ බිහිවීමට තුඩු දුන්නේ ද ජාතක කතායි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘මනමේ’ නාට්‍යයට පාදක වූයේ ‘චුල්ල ධනුග්ගහ’ ජාතකයයි. ඔහුගේම ‘වෙස්සන්තර, බව කඩතුරාව, කදා වළළු, ලෝමහංස, මහාසාර, පබාවතී, පෙමතො ජායතී සෝකෝ හා හස්තිකාන්ත මන්තරේ’ ජාතක කතා පාදක කොටගත් නාට්‍යයි. ‘විලාසිනියකගේ ප්‍රේමය’ නමැති නවකතාව ද ‘කණවේර ජාතකය’ පසුබිම් කොට ගත්තකි. එමෙන්ම ජී. බී. සේනානායකගේ ‘වරදත්ත, චාරුමුඛ’ ආදි ‘මනෝවිද්‍යාත්මක නවකතා’ නමැති නවාංගය සිංහල සාහිත්‍යයට එකතු වූයේ ද ජාතක කතාවන්හි භාෂාව, පසුබිම හා පරිසරයෙහි ආභාසයෙනි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් පැrrrරණි ග්‍රන්ථ භාෂා ශෛලිය උපයෝගී කොටගෙන නිර්මාණය කළ අපූර්
ව භාෂා ශෛලිය ‘මළවුන්ගේ අවුරුදු දා’ කෘතියෙන් හෙළි වෙයි. මේ දෙවෙන්දොරා සං සහ නොරිකෝ සං තුළ පීදීගෙන එන ප්‍රේමය නිරූපණය කළ සැටියි.

‘නොබෝ දවසකින් තෝකියෝ පුරා ම සකුරා පිපෙන්ට විය.
“මේ වතාවෙ වත් යමු සකුරා බලන්න. මීට ඉස්සර යන්න හදපු දවස මතක නේද?” යි දෙවෙන්දොරා සං කීවේය.
….. එහෙත් එදා රාත්‍රියෙහි රුප්පාවල හිඳගෙන ගී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රමෝද්‍යයෙන් විසඥ වූ කලක් මෙන් නිහඬව ඔහු සමග සක්මන් කරමින් හුන් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන් සේ…..’

අනාදිමත් කාලයක් තිස්සේ සිංහලයටම සුවිශේෂ වූ ලේඛන රීතියක් තිඛෙන බව මෙයින් පැහැදිලි වෙයි. වියරණ, පද ඛෙදීම, අක්ෂර වින්‍යාසය ආදිය මෙහිලා වැදගත් වෙයි. පරිගනක යුගයේ ආරම්භයත් සමගම සිංහල ලේඛන රීතියේ පරිහානිය ද ආරම්භ වී ඇත. ක්‍රමානුකූල සිංහල ලේඛන රීතිය ආරක්ෂා කර ගැනීම ලේඛකයාගේ වගකීමකි.

ගද්‍ය භාෂාව පමණක් නොව අර්ථ හා ශබ්ද මාධුර්යයෙන් පරිපෝෂිත වූ කාව්‍යමය භාෂාවක් ආදියේ සිටම වූ බවට නිදසුන් වශයෙන් කව්සිළුමිණ, කෝට්ටේ අවධියේදී රචිත සන්දේශ කාව්‍ය, ගුත්තිල ජාතකය පසුබිම් කොටගත් ගුත්තිල කාව්‍යය, සත්තු හත්ත ජාතකය පාදක කොට ගත් කාව්‍ය ශේඛරය වැනි අගනා කාව්‍ය කෘතින්ගෙන් පැහැදිලි වෙයි. මෙම කාව්‍යයන් පද බැඳ ඇත්තේ ඡන්දස්, අලංකාර, එලිවැට ආදිය උපයෝගී කොටගෙනය. මෙම කාව්‍ය ග්‍රන්ථ විද්වතුන්ගේ පරිශිලනයට භාජන විය.
පැරණි ගද්‍ය හා පද්‍ය ග්‍රන්ථයන්හි ආභාසයෙන් නූතන ගීත රචකයා අපූර්ව වූ කාව්‍යමය භාෂාවක් නිර්මාණය කොටගෙන ඇති ආකාරය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘ඈ නුවන් ලැබුවා’ ගීත නාටකයෙහි එන පහත සඳහන් ගීත ඛණ්ඩයෙක් පැහැදිලි වෙයි.

අහසට එසවූ විවිධ වර්ණ ඇති
ආතප වාරණ ඡත්‍ර රැසක් සේ
අග පිපි මල් කළඹින් ගැවසුණු තුරු
හෙලයි සිසිල් සෙවනක් මඟ දෙපසේ

මහගම සේකරයන් ද සමහර ගීත රචනා කිරීමට යොදාගෙන ඇත්තේ ද පැරණි ග්‍රන්ථ භාෂාවෙන් සකසා ගත් කාව්‍යමය රීතියකි. මේ ‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ එන ගීත ඛණ්ඩයකි.

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලූ හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළද ලියන්ගේ සීන අතරේ
මැවේ එ් රූපේ….

සිංහලයට අනාදිමත් කාලයක් තිස්සේ උසස් ගණයේ ව්‍යවහාර භාෂාවක්ද වූ බව ජන සාහිත්‍යයෙන් පැහැදිලි වෙයි. ‘කටවහර’ ඇසුරින් නිර්මාණය වූ සරල වූත්, සුඛනම්‍ය වූත්, අර්ථ හා ශබ්ද රසයෙන් පරිපූර්ණ වූත්, සුන්දර භාෂාවක් දුහුනන්ට ද තිබිණ. ගැමියන් සමග ගැමියෙකු ලෙස ජීවත් වූ රොබට් නොක්ස්ගේ ප්‍රකාශය මෙම ‘ව්‍යවහාර භාෂාව’ පිළිබඳව විය යුතුය.

ලිවීමේ හැකියාව නොලත් සාමාන්‍ය ජනතාව අධ්‍යාපනය ලැබුවේ ‘කතන්දර’ කීමෙන් හා ඇසීමෙනි. බ්‍රිතාන්‍ය ජාතික එච්. පාකර් මහතා විසින් මෙම කතන්දර Village folk-tales of Ceylon නමින් කාණ්ඩ දෙකකට 1910 දී මුද්‍රණය කරන ලදී. වියතුන් ජාතක කතා වස්තු කොටගෙන කව් සිළුමිණ, ගුත්තිලය, කාව්‍යශේඛරය වැනි මහා කාව්‍ය කෘතීන් නිර්මාණය කරද්දී, ගැමියෝ සරල රීතියකින් තමා නිතර දෙවේලේ දකින හා ඇසූ දුටු දෑ ඇසුරින් කවිපද බැඳීමට යුහුසුලූ වූහ. මේවා ‘ජනකවි’ නමින් හැඳින්වෙයි. අතීතයේ දී පොහෝ දිනවල පන්සලේ බණ මඬුවේ වියතෙකු විසින් කියවන ලද ‘ජාතක පොත් වහන්සේට’ සවන් දීම සම්ප්‍රදායක්ව පැවතිණ. ‘වෙස්සන්තර ජාතකය’ සිංහල සංස්කෘතියේ අංගයක් බවට පත් වූ ආකාරය ‘වෙස්සන්තර කතාව’ මළ ගෙවල රාත්‍රි භාගයේ ගායනා කිරීමෙන් පැහැදිලි වෙයි. වෙසතුරු රජු හා මද්‍රි දේවිය අතර තපසට යාමට පෙර වූ සංවාදය ජන කවියා දුටුවේ මෙසේය.

බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්
තපසට නොගනිති වන්නා
දෙකනේ පුස්කොළ තෝඩු තිබූවත්
තපසට නොගනිති වන්නා

මද්‍රි දේවිය මෙසේ පිළිතුරු දෙයි.

බාලේ පෙම්බර කොණ්ඩා බැන්දට
සැඩපලූ ගොතවා ගඤ්ඤයි
දෙකනේ පුස්කොළ තෝඩු තිබූවට
බණ පොත් ලියවා දෙඤ්ඤයි

ජාතක කතාවන්හි සඳහන් වන හිමාලය අඩවියෙහි පිපෙන ස්ත්‍රියකගේ රුව වැනි වූ ‘නාරිලතා’ මල් ජනකවියා දුටු ආකාරයයි මේ.

සිරිදරු මල් උයනේ – අතරු ලතරු – බඹරු ලතාවයි
හිමගිරි කුළු අරණේ – නිතර නිතර – කිඳුරු ලතාවයි

‘බඹරු ලතා’, ‘කිඳුරු ලතා’ ආදි අනුප්‍රාස ශබ්ද මගින් අපූර්ව වූ ධ්වනි රටාවක් නිර්මාණය කර ඇති ආකාරය චමත්කාරජනකය. නාරිලතා මල මඳ සුළෙඟ් නැළවෙන අයුරින් චිත්ත රූප මැවෙයි.

විදුර ජාතකයෙහි එන පූර්ණක යක්ෂයා මනුලොව පැමිණි එරන්දතී නමැති නාග කන්‍යාව දුටු අයුරු ජන කවියා වාග් චිත්‍රයකට නඟන්නේ මෙලෙසය.

වරලස නිල් පැහැයෙන්ද – අඩසඳ පටු නළලින්ද
තුනඟුල් බැම සඟලින්ද – ඉඳුනිල් නෙත් දෙකිනී

සංසන්දනාත්මක උපමාවන් යොදාගෙන පද සංඝටනය කොටගෙන රසවත් කාව්‍යමය භාෂාවක් නිර්මාණය කොට ඇති ආකාරය අපූරුය.

ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා
නෙළුම් මලයි මල් වඩමයි දොංත තකිට තා

ගැමි ජනතාව රබන් පද සඳහා යොදාගත් භාෂාව සහ ධීවරයින් දැල් අදින විට ටිකෙන් ටික ගොඩට ඇදෙන ආකාරයට සහ මුහුදේ රළ පෙළ ඉහළ පහළ නඟින බසින ආකාරය ශබ්ද මාධුර්යය ජනිත වන අයුරින් යොදාගෙන ඇත. ඔවුන් තුළ වූ බස හැසිරවීමේ හැකියාව මෙයින් පෙනෙයි.

ඕඩි හෙලයි හෙලයියා
ඕඩි හෙලයි හෙලයියා
පවුල බරයි ලිහිණියෝ
කොකර වටන් ලිහිණියෝ

ශබ්ද රසය පමණක් නොව අර්ථ රසය ද ජනනය වන අයුරින් බුද්ධිගෝචර රටාවකට පබැඳුණු කවි විශේෂයක් ලෙස ‘තේරවිලි කවි’ හැඳින්විය හැකිය.

ටං ටං ගාන්නා තෝරා එවන්නේ
ටිං ටිං ගාන්නා තෝරා එවන්නේ
මග වැලි පිසින්නා තෝරා එවන්නේ
දෙගංබඩ රජා තෝරා එවන්නේ

පිළිතුරු කවිය මෙසේය

ටං ටං ගාන්නේ ගෝනා නොවේදෝ
ටිං ටිං ගාන්නේ ලේනා නොවේදෝ
මග වැලි පිසින්නේ කුකුළා නොවේදෝ
දෙගංබඩ රජා කිඹුලා නොවේදෝ

සර්ප විෂ සඳහා කරන ප්‍රතිකාරයක්, එනම් කරපිංචා ගසේ පංචාගය කොටා මිරිකා යුෂ ගෙන එ් සමග කැඳ පිස එළඟිතෙල් ප්‍රතිවාපකර දෙන ලෙස කවියෙන් කියා ඇත්තේ මෙලෙසිනි.

දොරකඩ මිදුලේ තැනූ ගසේයා
පිට පට ගසමින් නැඟ මුදුනේයා
මිට මිට දෙමිටක් පත් සමසේයා
කැඳ පිස ගිතෙලින් දෙන් සතොසේයා

දරුවන් නැළවීම සඳහා යොදාගත් නැළවිලි ගී දරුවාගේ නින්දට කෙතරම් උචිත ආකාරයකට පද බැඳ ඇතිදැයි සලකා බැලූවමනාය.

නුඹෙ අම්මා කොතන ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගෙඟ් ගියා
ගඟ දෙගොඩින් තලා ගියා

නූතන කවියාද ජන කවියාගේ අභාසය ලැබූ අයුරු කුමාරතුංග මුනිදාසයන්ගේ ‘නැළවිල්ල’ නමැති ළමා කාව්‍යයෙන් විද්‍යමාන වෙයි.

හඳපානේ වැලිතලා
සුර කුමරියො මල්සලා
නටති මෙදෙස බලබලා
ගිගිරි වළලූ පයනොලා

සුන්දර ගැමි යුවතියක දුටු ගැමි තරුණයෙකුගේ සිත තුළ මෝදු වූ ප්‍රේමය කවියට නැෙඟන්නේ මෙසේය.

කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ
නළල් වටින් එන දාඩිය මුතු කැටියේ
අත පා මුදු පය පා මුදු වයිරොඩියේ
මට පිටු පා ගෙට යනවද සුරතලියේ

ඉහත කී ජන කවිය මහගම සේකරයන් අතින් ගීතයකට නැගිණ. එය අමරදේවයන් විසින් ගායනා කරන ලදී.

කන්ද උඩින් එන ගෝමරියේ
ඇයි මට පිටුපා ගෙට යන්නේ
නළලේ දහදිය මුතුපට පටලා
වළාකුලේ සුදු සේලය රැලි ලා
අත පා මුදු පය පා මුදු ලාගෙන
ළමැදේ ගෝමර මල් ගවසාගෙන…..

විමංශනයට භාජන කරන ලද ඉහත කී ගද්‍ය හා පද්‍ය කාව්‍යයන්ගෙන් පැහැදිලි වන්නේ අනාදිමත් කාලයක් තිස්සේ විශිෂ්ට වූ ලේඛන භාෂාවක් හා කටවහරක් සිංහලයා සතු වූ බවය. එය ආරක්ෂා කරගැනීම සිංහලයන් වන අපගේ යුතුකමකි. යටත් විජිත සමයේ දී ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබූ අපේ මුතුන්මිත්තෝ පන්සලේ පිරිවෙනින් සිංහල, පාලි, සංස්කෘත ආදි භාෂා හැදෑරූහ. බොහෝ විද්වත්හු භාෂා හතරක්ම ප්‍රගුණ කළහ. මෙහිලා භික්ෂූන් වහන්සේලාගෙන් ඉටු වූ මෙහෙය අගය කළ යුතුමය.

කැනඩා ජාතිකයන් ද භාෂා ඉගෙනීමට දක්වන්නේ බලවත් උනන්දුවකි. මා පුස්තකාලයාධිපතිනියක ලෙස සේවය කරන අවධියෙහි ප්‍රංශ, ඉතාලි, ජර්මන්, ස්පාඤ්ඤ ආදි භාෂා අධ්‍යයනය සඳහා Rosetta Stone නමැති පරිගණක පාදක කොටගත් වැඩසටහන භාවිත කිරීමට නිරතුරුව පුස්තකාලයට පැමිණි අතර ජපන්, චීන, හින්දි ආදි භාෂාවන් ගැනද ඔවුහු උන්නදුවක් දක්වති. සිංහල පරිගනක විද්වතුන් ද මේ පිළිබඳව අවධානය යොමු කළහොත් විදේශගතව සිටින සිංහල දරුවන්ට පමණක් නොව සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට ද ප්‍රයෝජනවත් වනු ඇත.
කැනඩාව විවිධ ජාතීන් ජීවත්වන විවිධ භාෂා භාවිත කෙරෙන රටකි. මෑතක සිට ‘සිංහල භාෂාවේ’ ද ප්‍රබෝධයක් ඇතිවී තිබීම සතුටට කරුණකි. පීල් අධ්‍යාපන කොට්ඨාශයෙහි (Peel School Board)  සිංහල භාෂාව ලකුණු ලබාගත හැකි විෂයයක් බවට (Credits Course) පත් වී ඇත. එමෙන්ම මාස් පතා ‘දසත’ හා ‘යාත්‍රා’ නමින් සිංහල පුවත්පත් දෙකක් ද අප අතරට පැමිණීම භාග්‍යයකි. මෑතදී කැනඩාවේ පාසල් අධ්‍යාපනය ලැබූ තරුණ ලේඛිකාවක වූ පවිත්‍රා කුරුවිටආරච්චිගේ දෙවැනි යෞවන නවකතාව වන ‘විජිතපුර’ නමැති කෘතිය දොරට වැඩීම ද ප්‍රීතියට කරුණකි.
නුදුරු අනාගතයේ දී නවකතා, කෙටිකතා පමණක් නොව ශාස්ත්‍රීය ලේඛන ද සිංහල භාෂාවෙන් ලියා පළවනු දැකීම අපගේ අපේක්ෂාවයි. එයට පෙරහුරුවක් ලෙස ‘දසත’ හා ‘යාත්‍රා’ පුවත්පත්වල ළමා පිටුවට ලිවීම ආරම්භ කළ යුතුය. කතුවරුන් දෙපළම කියා සිටින්නේ දරුවන්ගේ නිර්මාණ පළ කිරීමට පුල පුලා බලාසිටින බවය. මේ පිළිබඳව ද ‘බසක වරුණ’ තරගාවලිය සඳහා ද දරුවන් උනන්දු කරවීමට ද දෙමාපියන් උනන්දු විය යුතුය. දරුවන්ගේ මුල්ම ගුරුවරුන් වන්නේ දෙමාපියන්ය.
2011 දී කොන්සල් ජෙනරල් පරණවිතාන මහතා විසින් සංවිධානය කරන ලද ‘බසක වරුණ’ භාෂා සාහිත්‍යය නඟා සිටුවීමෙහිලා මහඟු මෙහෙයක් ඉටු කළ හැකි වැඩසටහනකි. එම වැඩසටහන දියත් කිරීමේ කාර්යභාරයට උර දුන්නේ ‘කැනඩා සිංහල සංගමයයි” මෙහිලා එවකට සිටි සභාපති තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයටද වර්තමාන සභාපති තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට ද අපගේ කෘතඥතාව හිමිවිය යුතුය. පොදු අරමුණ වන්නේ සිංහල භාෂාව හා සාහිත්‍යය නඟා සිටුවීමයි. මෙය සාර්ථක කරගත හැකි එකම මාර්ගය ‘සාමූහික ප්‍රයත්නයයි’.

 

Swarna Chandrsekare

ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර විසිනි

 

 

 

Share This:

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*