ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ පළාත් කිහිපයක් අවම වැටුප සීමාව ඉහළ නැංවීමට සිදු කර ඇත. ඔන්ටාරියෝ, ඇල්බර්ටා, ප්‍රින්ස් එඩ්වඩ් දිවයින සහ සස්කච්වාන් මෙසේ වැටුප් ඉහළ නැංවූ පළාත අතර වෙති.
මෙම පළාත් අතරින් ඇල්බර්ටා විශාල අගයකින් වැටුප වැඩි කොට ඇති අතර මෙතෙක් එහි අවම වැටුප ලෙස සඳහන් වුණු ඩොලර් 11.20 ඩොලර් 12.20 දක්වා ඉහළ නංවා ඇත. මෙම වැටුප් ඉහළ නැංවීම නිසා ආසන්න වශයෙන් අඩු ආදායම් සහිත සේවකයන් 300,000 කට සහන සැලසෙන බව ඇල්බර්ටා පළාත් රජය පවසා සිටී. තම පළාතේ ජනතාවට තවදුරටත් සහන සැලසීමට අදහස් කර ඇති පළාත් රජය 2018 වසරේදී අවම වැටුප ඩොලර් 15 දක්වා ඉහළ දැමීමට අදහස් කර ඇත.
ප්‍රින්ස් එඩ්වඩ් දූපතද ඔක්තෝබර් 01 දා සිට සිය පළාතේ අවම වැටුප ඉහළ දමා ඇති අතර එය ඩොලර් 10.75 සිට ඩොලර් 11.00 දක්වා වැඩි කර ඇත. මෙම වසර තුළ P.E.I. පළාත සිය අවම වැටුප වැඩි කළ දෙවැනි අවස්ථාව මෙය වේ. පසුගිය ජූනි මාසයේදීද එහි වැටුප් වැඩිවූ අතර එවිට ඩොලර් 10.50 ක්ව තිබූ වැටුප ඩොලර් 10.75 දක්වා ඉහළ නැංවුණි.
සස්කච්වාන් අවම වැටුපද ඔක්තෝබර් 01 දා සිට ඉහළ ගිය අතර එහි පෙර තිබූ අගය ඩොලර් 10.50 ක් විය. වැඩි වී ඇති අලූත් අවම වැටුප පැයට ඩොලර් 10.72 කි.
ඔන්ටේරියෝ පළාතද තම අවම වැටුප් මට්ටම ඉහළ දමා ඇතත් එය එතරම් විශාල අගයක් ගෙන නැත. පසුගිය කාලයේදී මෙහි අවම වැටුප ඩොලර් 11.25 ක් වූ අතර එය ඔක්තෝබර් 01 සිට ඩොලර් 11.40 දක්වා වැඩි කර ඇත. සිසුන් සඳහා පෙර පැවති අවම වැටුප ඩොලර් 10.55 ඩොලර් 10.70 ක් වී ඇත.
බි්‍රටිෂ්කොලොම්බියාවේ අවම වැටුප් මට්ටම ඉහළ දැමීම සැප්තැම්බර් 15 වෙනිදා සිදුකර ඇති අතර එහිදී එතෙක් ඔවුන් ලැබූ පැයකට ඩොලර් 10.45 ක් වූ අවම වැටුප ඩොලර් 10.85 දක්වා වැඩිකර තිබුණි. මෙතෙක් කැනඩාවේ අවම වැටුපෙහි අඩුම අගයෙහි සිටි බි්‍රටිෂ් කොලොම්බියාව මෙම වැටුප් වැඩිකිරීමත් සමගම දෙවන අඩුම වැටුප සහිත පළාත බවට පත්වී ඇත.
මෙවර නිව්බ්‍රවුන්ස්වික් පළාත අවම වැටුප් මට්ටම ඉහළ දමා නොමැති අතර එම පළාතේ අවසන් වැටුප් වැඩි කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා කෙරුණි. එහි අවම වැටුප ඩොලර් 10.65 ක් වන අතර මේ වන විට කැනඩාවේ අඩුම අවම වැටුප සහිත පළාත නිව්බ්‍රවුන්ස්වික් වේ.

Share this Post