අද මෙම ලිපිය ලියන මොහොත වන විට කැනඩාව තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1435 ක් ලෙස සඳහන් වී ඇත. ඔවුන් අතරින් 21 දෙනෙකු මරණයට පත් වී ඇත. ඔන්ටේරියෝව 424, බ්‍රිටිෂ්කොළොම්බියාව 424, ඇල්බර්ටා 226, කුබෙක් 219 ආදි ආකාරයට රටෙහි පළාත් 10 න්ම සහ හුදෙකලා වූ පළාත් ලෙස පවතින Yukon, Northwest Territories තුළිනුත් රෝගීන් වාර්තා වෙමින් පවතී. කැනඩාව වැනි විශාල රටක් මෙතරම් අඩු රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ අනුපාතයක් පවත්වා ගැනීම විශාල ජයග්‍රහණයක් ලෙස ඇතැමෙකුට සිතිය හැක. නමුත් රටෙහි විශාලත්වයට සාපේක්ෂව මෙරට ජීවත් වන්නේ අඩු ජනගහනයකි. (2019 සංගණන වාර්තාවලට අනුව කැනඩාවේ සමස්ත ජනගහනය මිලියන 37.59 ක් පමණි) එම නිසා මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් සිටීම අතිශයින්ම සැලකිලිමත් විය යුතු භයානක තත්ත්වයකි.  අනික් අතින් ගත් විට ක්‍රමානුකූලව Covid-19 පරීක්ෂාවන් සිදු නොවන නිසා සැබෑ දත්තයන් කෙතෙක්දැයි අප නොදනී. අඩුම තරමේ ආසාදිත වූ පුද්ගලයකු වත් තමන් එසේ රෝගී වී ඇති බව නොදැන සිටීම නිසා පහසුවෙන්ම ඔවුන් වාහකයන් වී සිටිය හැකියි.

සහන පැකේජ

රජය මගින් රට තුළ සිදුකරන දෛනික කටයුතු අතරට අගමැති ජස්ටින් ටෘඩෝගේ දිනපතා ජාතිය ඇමතීමද දැන් එක් වී ඇත. බිරිඳට කොවිඩ් -19 ආසාදනය වීම නිසා self quarantine වී නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරත අගමැතිවරයා මාධ්‍ය තුළින් සෑම දිනකම කැනේඩියානුවන්ට ලබා දෙන සහන පැකේජ ගැන පවසනු ලබයි. (නමුත් මේ දේවල් ලබාගත හැකි ආකාරය කෙසේද යන්න පිළිබඳව අදාළ අංශයන්ගෙන් විමසූ විට මේ වන තෙක්  ඔවුන් නිරුත්තරව පසු වේ. උදාහරණයක් ලෙස මාස හයකට ලබාදෙන mortgage සහනය පිළිබඳ බැංකුවට කතා කොට ඇසූ විට තවමත් ඒ ගැන තොරතුරු ලැබී නැත කියා අදාළ වාරිකය කපා ගනු ලබයි. මෙවැනි සහන Covid-19  වැළඳුණු අයට සහ සැක සහිත නිසා self quarantine වී සිටින අයට පමණක්ද  එසේත් නොමැති නම් සමස්ත කැනේඩියානුවන්ටමද යන්නවත් තවමත් අප කිසිවෙකුත් පැහැදිලිව නොදනී.) සැබවින්ම මේ දේවල් මෙසේ දීම ගැන අප කිසිවෙකුත් අතිශයින් පුදුම විය යුතු නැත. අමුතුවෙන් රජයට ස්තූති කිරීමට හෝ ලෝකෙ කොහේවත් නැති අනර්ඝ අගමැති කෙනෙක් අපට සිටිනවා යැයි උදම් අනන්නට හෝ අවශ්‍ය නැත. මේ සියල්ල අප මෙතෙක් කල් බදු ලෙස ගෙවූ මුදල් සඳහා අපට ලැබිය යුතු ප්‍රතිලාභයි. සෑම කැනේඩියානුවකුම ඒ ඒ ප්‍රදේශවලට අනුකූලව විශාල බදු මුදලක් ගෙවීමට යටත්ව සිටී. එම බද්ද පඩි පත ලබා ගැනීමේදී මෙන්ම බඩු භාණ්ඩ ලබාගැනීමේදීත් අප විසින් ගෙවනු ලබයි. මෙවැනි අතිශයින් ව්‍යසනකාරී මොහොතක එසේ බදු ගෙවූ කැනේඩියානුවන් සෑම අතකින්ම සුරක්ෂිත කොට රැක බලා ගැනීම රජයේ පූර්ණ වගකීමයි. ජස්ටින් ටෘඩෝගේ කතාවල සඳහන් ඔහු විසින් කැනේඩියානුවන්ට දෙන බවට පොරොන්දු වන සහන පැකේජයන් ලෝකයේ විවිධ රටවල් මේ වන විට විශාල වශයෙන් උත්කර්ශයට නගමින් සිටින බව අපට පෙනේ.

අද දින ටෘඩෝගේ ජාතිය ඇමතීමේ ප්‍රධාන මාතෘකාව වූයේ කැනඩාවෙන් පිටත මාර්තු නිවාඩුවට සංචාරය සඳහා ගොස් සිටින කැනේඩියානුවන් සහ වෙනත් කාර්යයන් සඳහා රටින් පිටව ගොස් සිටින කැනේඩියානුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමයි. ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔහු සම්පූර්ණ පරීශ්‍රමය යොදමින් ඇත. ඊට අමතරව අඟහරුවාදා 24 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවා මෙම ව්‍යසන අවස්ථාවේ කැනේඩියානුවන්ට ආර්ථික වශයෙන් සහාය දීම සඳහා අවශ්‍ය හදිසි සම්මත කිරීම් සිදුකරන බවද පැවසීය. ඒ අතරට මාධ්‍යවේදීන් කළ විමසීම්වලදී පැවසුවේ සාමාන්‍ය ජනතාවට නිවෙස්වලටම වී සිටින ලෙසත් Social distance පවත්වා ගන්නා ලෙසත්ය. මෙතෙක් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ටෘඩෝ රජය විසින් ගත් විශාලම ප්‍රශසංසනීය පියවර වන්නේ කැනඩා-ඇමරිකා දේශ සීමාව යම් තරමකට වසා දැමීමට පියවර ගැනීමයි. මෙය ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කළද එය රටවල් දෙකේ නායකයන් අතර සිදුවූ සාකච්ඡාවලින් පසුව ගත් පියවරක් නිසා එහි ගෞරවය ටෘඩෝ වෙතද හිමිවිය යුතුයි. මෙහිදී දෙරට අතර රැකියාවලට යන්නන්ට සහ බඩු භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ ආදි අත්‍යවශ්‍ය කරුණු සඳහා දේශ සීමාව තවමත් යම් තරමකට විවෘතව තබා ඇත. නමුත් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් ඇමරිකාව තුළ ඉතාමත් සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් වුවත් එම දේශසීමාව විවෘතව තැබීමෙන් කැනඩාවට ඇමරිකාවෙන් එල්ල විය හැකි කොවිඩ්-19 ප්‍රහාරයේ විනාශය නවතා ගත නොහැකි වනු ඇත. ඒ සමගම ඇමරිකාවේ සංචාරවලට ගොස් සිටි සියලුම කැනේඩියානුවන්ට කැනඩාවට පැමිණීමට තාමත් අවස්ථාව දී ඇත. මෙවැනි අවස්ථාවක කැනඩා-ඇමරිකා දේශසීමාව දින කිහිපයකට හෝ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ටෘඩෝ රජය අවධානය යොමු කළ යුතුව ඇත.

මෙම පියවර හැරුණු විට Covid-19 මර්ධනය සඳහා ටෘඩෝ රජය ගත් වෙනත් පැහැදිලි සහ සැලසුම් සහගත ක්‍රියාමාර්ගයක් ඔහුගේ කතා තුළින් අපට අසන්නට නොලැබුණි.

 කොවිඩ්-19 සහ කැනඩාවේ අපි

මේ වන විටත් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ජනතාව නිවෙස්වලින් බැහැරට නොයන තත්ත්වයක් රට පුරා දක්නට ලැබේ. අප ජීවත් වන ටොරොන්ටෝ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවත් හැකි සෑම අවස්ථාවකදීම නිවෙස්වල රැඳී සිටීමටත් නිවෙස්වල සිට රැකියා කළ හැකි අය එම කටයුතු කිරීමටත් විශේෂයෙන්ම Social distance පවත්වා ගැනීමටත් උත්සාහ ගනිමින් සිටී. බොහෝ රැකියා ස්ථාන තම සේවකයින් සඳහා නිවාඩු ලබා දී ඇත. ගෙදර සිටින කාලය සඳහා රැකියා රක්ෂණ ආවරණය(EI) ලබාගැනීමේ අවස්ථාව රජය මගින් ලබා දී ඇත. පාසල් නිවාඩුව දින නියමයක් නොමැතිව ලබා දී ඇති අතර ඇතැම් විට මෙම පාසල් වසරම පාසල් විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි පැවසේ. කෙසේ නමුත් අධ්‍යාපන කටයුතු නතර නොවන ලෙස එම කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් සිටී. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්වයද මේ ආකාරයෙන්ම වේ. එම ආයතන වසා දමා අධ්‍යාපන කටයුතු online සිදුකිරීමට කටයුතු කරමින් සිටී.

කැනඩාව පුරාම විසිරී සිටින අපේ ආදරණීය හිතවතුන්ගෙන් මේ අවස්ථාවේදී අප ඉල්ලා සිටින්නේ කරුණාකර නිවෙස්වල රැදෙන්න. ඉදිරි දින කිහිපය කැනඩාවට ඉතාමත් තීරණාත්මකයි.   මේ වන විට රටෙන් බැහැරව සිටි දහස් සංඛ්‍යාත පිරිසක් රට තුළට පැමිණෙමින් සහ පැමිණ සිටින බව අප කවුරුත් දන්නවා. ඔවුන් කොයි ආකාරයට මෙම රෝගය රැගෙන විත් ඇත්ද ඔවුන් කොයි  ප්‍රදේශවල ජීවත් වනවාද යයි අපි නොදනී. සිය ගණනක් වූ ජාතීන් සමග මෙරට ජීවත් වන අපට කිසිසේත්ම අප අවට සිටින අසල්වැසියා විදේශගතව සිට පැමිණියාද යන්න දැනගැනීමට නොහැක. කැනඩාව තුළට පැමිණෙන ඔවුන් self quarantine වනවා මිස ඊට එහා ක්‍රියාත්මක වන නීතියක් මෙරට තුළ නොමැත. එම නිසා Social distance නීතිය අකුරටම හරි ආකාරයටම පිළිපදින්න. අපේ කෑම බීම තියෙන ශ්‍රී ලංකන් ග්‍රොසරි ස්ටෝර්ස්වල මේ තත්ත්වය පවත්වා ගෙන යන ආකාරය හරිම දුර්වල බව පේනවා. ඒ නිසා එවැනි ස්ථානවල ගැවසීම පුළුවන් තරම් අඩු කරන්න. පිටතට ගොස් යම් පෘෂ්ඨයක අත ගැටුණු බව දැණුනහොත් hand sanitizer නොමැති නම් සබන් යොදා අත සෝදන්න. එසේ පිටතට ගොස් පැමිණ මුහුුණ, නාසය, කට ඇල්ලීම සිදුකරන්න එපා. නිවසේ පරිහරණය කරන බඩු භාණ්ඩවලට අත ගසන්න එපා. නිවසට පැමිණි විගස අත් සබන් යොදා හොඳින් සෝදා ගැනීම ප්‍රධාන කාර්යය කර ගන්න. හැකි සෑම විටෙකම පිටතට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදී ඇද සිටි ඇඳුම් පැළඳුම් සෝදා දමා ඔබත් පිරිසිදු වන්න. අත්‍යවශ්‍යම භාණ්ඩ නිවසේ නැතිනම් ඒවා online ආකාරයට ලබාගත හැකි ආකාර පිළිබඳව විමසිලිමත් වන්න. ඒවා එසේ ගෙන්වා ගන්න.  ඔබට උපකාරයක් ලෙස ඔබගේ මිතුරෙකු යමක් රැගෙන ආවත් ඔබගේත් ඔවුන්ගේත් ආරක්ෂාව තහවුරු වන ලෙස හැසිරෙන්න. සතුටු සාමිචී, දුක සැප විමසීම් කතාබහ සඳහා දුරකථනය, whatsapp, skype, viber ආදි ලෙස පවතින දහසකුත් එකක් දුරස්ථ ක්‍රම භාවිත කරන්න.  පුළුවන් ආකාරයට ආහාරපාන නිවසේම පිස ආහාරයට ගන්න.  pizza delivery, uber eats වැනි දේවල් ටික කලකට නවතන්න. විශේෂයෙන්ම දේශගුණය හොඳ වූ විගස (ඍන දේශගුණය ධන වූ විගස අප මෙතෙක් පුරුදු වී සිටි ආකාරයට) නිවසේ රැඳී සිටීමට අපහසුයි කියා Walking, jogging යන්න එපා. මෙම වෛරසයේ ස්වභාවය පිළිබඳව දිනෙන් දිනම පරීක්ෂණ මගින් තහවුරු වන තත්ත්වයන් ඉතා දරුණුයි.  Coronavirus වාතය මතත් (airborne) පැවතිය හැකි බවත් එය පැය 3 ක් පමණ වාතය තුළ සක්‍රීයව ක්‍රියා කරන බවත් නවතම සොයා ගැනීමයි.  – The researchers used a nebulizer to blow coronaviruses into the air. They found that infectious viruses could remain in the air for up to three hours. The results of the study were published in the New England Journal of Medicine on March 17, 2020.

එම නිසා neighborhood walking නවතා දමන්න. ඔබ ඉදිරියෙන් ගිය අයෙකුගෙන් පිට වූ කිවිසුමකින් වාතය තුළ ශේෂව ඇති බිඳිති (droplets) මගින් ඔබ  Covid-19 ආසාදිතයෙකු විය හැකියි. ඔබට සුරතල් සතුන් (dogs) සිටී නම් අනිවාර්යෙන්ම නාසය සහ මුඛය ආවරණය කොටගෙන එම සතුන් සමග එළිමහනට යන්න. දරුවන්ටද මෙම තත්ත්වය වටහා දෙන්න. එය අතිශයින්ම පීඩාකාරී අසහනකාරී කාර්යයක් වුවත් වෙන කළ යුත්තක් ඇත්ද? ඔබගේ නිවසේ වැඩිහිටියන් හෝ විවිධ කල්පවතින රෝගාබාධවලින් පෙළෙන්නන් සිටිනවා නම් ඔවුන් පිළිබඳව උපරිම සැලකිල්ලක් යොමු කරන්න. නිවසින් පිටතට ගොස් පැමිණි කිසිම විටෙක ඔවුන් වෙත ළං නොවන්න. හැකි සෑම විටෙකම ඔවුන් සමග නිවසේම රැඳෙන්න.

ඒ වගේම මේ දිනවල කොරෝනාවෛරසය මැඩ පැවැත්වීමට යැයි පවසමින් youtube, facebook ආදියෙහි සඳහන් කෙරෙන විවිධ බෙහෙත්, ආහාරපාන ආදි අලුත් වෙදකම් කිරීමට යාමෙන් වළකින්න. කොත්තමල්ලි, වෙනිවැල්ගැට වැනි අපට සුපුරුදු පාන වර්ගයක් භාවිත කිරීමේ වරදක් නැතත් අපට නුපුරුදු අලුත් දේවල් මේ වෙලාවේ අත්හදා බැලීමට යාමෙන් වළකින්න. යම් විදියකින් ඔබට බඩේ අමාරුවක් හෝ මෙවැනි දේවල් ආහාරයට ගැනීමෙන් වෙනත් ශාරීරික අපහසුතාවක් ඇති වුවහොත් මේ අවස්ථාවේදී ඊට ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍යවරයකු ළඟට යෑම ඉතා අපහසු වේවි. එනිසා සුපුරුදු ආහාරපාන රටාව ලබාගන්න.

රජයේ කාර්යභාරය

කොරෝනාවෛරසය එහෙමත් නැත්තම් Covid-19 රෝගය පාලනය කිරීම සඳහා කැනඩා රජය කඩිනමින් තීරණ ගනිමින් කටයුතු සිදුනොකරන බව කැනේඩියානුවන් බහුතරයකගේ පොදු මතයයි. කොරෝනාවෛරසය හා ලෝක නායකයින් දෙස බලද්දී මේ මොහොත වන විට බැනුම් නොඅසන, සංසන්දනය නොකරන කිසිදු නායකයකු නොමැත. සෑම රටකම නායකයා සහ මේ සම්බන්ධව කටයුතු කරන සියල්ලන්ම එම රටවල ජනතාවට පෙනෙන්නේ කිසිදු පියවරක් නොගෙන මිනිසුන්ට මැරෙන්න හැර බලා සිටින සතුරන් පිරිසක් ලෙසිනි. සැබවින්ම මෙම ව්‍යසනය හමුවේ පාලිතයන් මෙන්ම පාලකයන්ද අන්ත අසරණ වී සිටියි.

කැනඩාව තුළ සෑම දිනකම නගරබද නායකයින්, පළාත්බද නායකයින්,  සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අලුතින් එකතු වන රෝගීන් සහ මරණ සංඛ්‍යාව පිළිබඳව ජනතාව දැනුවත් කරයි. නමුත් ඒ සංඛ්‍යාලේඛනවලින් මෙය පැතිරී ඇති සැබෑ ස්වරූපය වටහා ගැනීමට නොහැකි වීම කැනේඩියානුවන් මේ වන මුහුණ දී ඇති අභියෝගයයි. කැනඩාව තුළ කොවිඩ්-19 සඳහා නිසි පරීක්ෂාවන් සිදු නොකිරීම නිසා රජයටත් හරියටම ආසාදිතයින් කොපමණක් සිටීදැයි පැවසීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

මේ වන තෙක් කැනඩාව තුළ සැක සහිත සෑම අයෙකුවම Covid-19 පරීක්ෂාවට යොමු කරන්නේ නැත. නගර රැසක මේ වන විට COVID-19 Assessment Centres විවෘත කර ඇතත් සෙම්ප්‍රතිශ්‍යාව ඇතැම් විට සාමාන්‍ය උණ තත්ත්වයක් ඇතිව එම ස්ථානවලට ගිය විට පරීක්ෂණයකින් තොරව ප්‍රතික්ෂේප වූ අවස්ථා ඕනෑ තරම් ඇත. එවැනි ඇතැම් අයගේ රෝගී තත්ත්වයන් උත්සන්න වූ පසු ඔවුන් රෝගීන් බව තහවුරු කරගෙන ඇති බව පසුගිය දිනවල පළ වූ පුවත්වල සඳහන් වුණි. Assessment Centres වෙත පැමිණිය යුතු නැති පිරිස ඔවුන් කාණ්ඩ කර ඇත්තේ මෙසේයි.

)Who Should Not Visit an Assessment Centre

  • People with mild symptoms of upper respiratory tract infection (cough, sore throat, headache, muscleaches, fatigue, runny nose, and joint aches, and may also include nausea, diarrhea and stomach pains) OR fever, who are not at high-risk of transmission to larger groups (Instead, self-isolate at home for 14 days)
  • People with no symptoms who have travelled outside of Canada in the last 14 days (Instead, self-isolate at home for 14 days)
  • People with no symptoms who have not travelled outside of Canada in the last 14 days (Instead, self-monitor  for 14 days)

මෙවැනි අය නිවසට වී දවස් 14 ක් self-isolate විය යුතු බව මෙහි නිර්දේශයයි.

(මෙම නිර්දේශයන්හි එසේ සඳහන් වුවද කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇතැයි අප අතර සිටින ඔබට යම් සැකයක් ඇති වුවහොත් වහාම  එම ස්ථානයකට යන්න. ‘ගියත් වැඩක් නෑ පරීක්ෂා කරන්නේ නෑ’ කියා නිවසේ පසුවන්න එපා. එහිදී ඔබව පරීක්ෂා කිරීම හෝ නොකිරීම පිළිබඳව ඔවුන් සලකා බලාවි.)

මෙවැනි රෝගාබාධ ඇති සියල්ලන්ම සහ පිටරටවල්වලින් පැමිණි සියල්ලන්ම දින 14 ක self-isolate වීම නියමාකාරයෙන් සිදුකරයිද යන ප්‍රශ්නයට මේ වන තෙක් කිසිම වගකිව යුතු අයෙකු හරි පිළිතුරක් ලබා දී නොමැත. ජනතාව විශ්වාස කොට, එසේ self-isolate වීම ජනතාවගේ වගකීමක් කොට කටයුතු කිරීම පමණක් දැනට සිදු වේ. නමුත් කිසිදු විටෙක ස්ව කැමැත්තෙන් හුදෙකලා වීම මනුෂ්‍ය ස්වභාවය නොවෙයි. එය බටහිර ජාතිකයින්, ආසියාතික ජාතිකයින් කියා වෙනසක් නැති බව අප තරයේ සිත තබාගත යුත්තකි. මිනිසුන්ගේ සාමාන්‍ය චර්යා ස්වභාවය එසේ හෙයින් මෙවැනි තීරණාත්මක අවස්ථාවක ඔවුන් හැසිරවීම සඳහා කැනඩාවේ රජය සහ සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කෙරෙන නිසි ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. එහිදී සැක සහිතව අදාළ ස්ථාන කරා පැමිණෙන සියලුම පුද්ගලයින් පරීක්ෂාවකට ලක් කරන්නේ නම් ඔවුන් රෝගීන් බව තහවුරු වූ විට එම පුද්ගලයින් රෝගයට ඇති බියෙන් හෝ නිවෙස්වල හුදෙකලා වී සිටීවි. ස්වයං නිරෝධායනය වේවි. self-isolate වෙලා ඉඳීවි.  මේ ආකාරයට පරීක්ෂාවන් සිදු නොකිරීමෙන් අප අතර කාට මෙම රෝගය ඇත්ද නැත්ද යන්න අප කිසිවෙකුත් නොදනී. එනිසා නිතැතින්ම අප රෝග වාහකයන් වීමට හොඳටම ඉඩ කඩ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පුනා පුනා පවසන්නේ, මන්තරයක් මෙන් පවසන්නේ………….

Test, Test, Test…..

That’s the first rule in the war against COVID-19, according to the head of the World Health Organization (WHO)

“You cannot fight a fire blindfolded. And we cannot stop this pandemic if we don’t know who is infected,” Dr. Tedros Adhanom Ghebreyesus, the WHO’s director-general.

නමුත් කැනඩාව ඇතුළු දියුණු රටවල් පුන පුනා පවසන්නේ එහෙම ටෙස්ට් කිරීමට Test kits නැති බවයි. මෙතරම් දියුණුවේ හිණිපෙත්තේ තිබෙන G-8 රටකත් පවතින තත්ත්වය මෙයයි. ලෝකයේ සෑම රටක්ම එකම ව්‍යසනයකට ගොදුරු වී සිටින මොහොතක  වෙනත් රටකින් එවැනි පරීක්ෂණ උපකරණ ආනයනය කිරීමට නොහැකි නම් මේ රටේම එම මූලික පරීක්ෂාවට අවශ්‍ය Nasal swabs නිපදවා ගැනීම ගැන රජයේ අවධානය යොමු වී නැත්තේ මන්දැයි ජනතාව ප්‍රශ්න කරයි. ඒ ගැන විමසුම් කරන විට ‘අප ඒවා ලබාගැනීමට උත්සාහ දරනවා’ යැයි පවසමින්  එම ප්‍රශ්නයෙන් ලෙස්සා යෑම නායකයින්ගේ වර්තමාන ස්වභාවයක් වී ඇත.

සැක සහිත යැයි කියන සියල්ලන්ම පරීක්ෂා නොකිරීම සාධාරණීකරනය කිරීමට ප්‍රධානම හේතුව කරගෙන ඇති Test kits හිඟය ඇතුළුව මෙරට බලධාරීන් ඉදිරිපත් කරන අනික් ප්‍රධාන කරුණු වන්නේ,

  • COVID-19 බවට සැකය පිට පරීක්ෂණයට යොමු වන්නකුගේ පළමු පරීක්ෂාවේදී කොවිඩ් -19 ආසාදනය වී නැති වුවද (COVID-19 test results negative) ඔවුන්ට එම දිනයට පසුව කොවිඩ් ආසාදනය විය හැකි බවත් එවිට ඔවුන් නැවත පරීක්ෂා කළ යුතු බවත් මෙය කී වාරයක් දක්වා කළ හැකි දෙයක්ද යන බවත්….
  • සෞඛ්‍ය ක්ෂේත්‍රයේ (වෛද්‍ය, හෙද නිලධාරීන් ඇතුළු) සියලුම සෞඛ්‍ය සේවකයින් මුහුණ දී සිටින සෞඛ්‍යාරක්ෂිත උපකරණ හිඟය නිසා ඔවුන්ට පවතින අවධානම මත ඔවුන් රෝගීන් වෙත නිරාවරණය කිරීමේදී පවතින ගැටලු.
  • මහජන සෞඛ්‍ය රසායනාගාරයන්හි කොවිඩ් පරීක්ෂාවට පවතින අධික තදබදය නිසා නිසා වැඩිම අවදානම් සහිත යැයි සිතන රෝගීන් පමණක් කොවිඩ් පරීක්ෂාවට යොමු කිරීම

මෙහි සඳහන් පළමු කරුණ නිසා රෝගීන් හඳුනාගැනීම නොසලකා හරිනවා නම් එය එක්තරා ආකාරයක විහිළුවකි. ඕනෑම අවස්ථාවක රෝගියෙකු රෝහලකට හෝ වෙනත් වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණෙන්නේ රෝගය නිසි පරිදි හඳුනාගෙන නොවෙයි. රෝගියා රෝගය හඳුනාගැනීමට සමතකු වූ කලෙක රෝහල්, වෛද්‍ය පරීක්ෂණාගාර කුමකටද? මෙවැනි වසංගත රෝගයක් සීඝ්‍රයෙන් පැතිරෙන අවස්ථාවක යම් අයෙකුගේ වාර්තා negative වූ පමණින් ඔහු කාලය නාස්ති කරන්නෙකු හෝ සෞඛ්‍ය උපකරණ නාස්ති කරන්නෙකු ලෙස සිතා පරීක්ෂා නොකරන්නේ නම් එය කොතරම් අනුවණ කමක්ද? එසේ කරන්නේ කුමන පදනමක සිටද? සිදුවිය යුත්තේ සැක සහිත සෑම අයෙකුම පරීක්ෂාවට ලක් කිරීම නොවේද? එකවරක් නොව සැක සහිත යැයි පවසන්නේ නම් කොතරම් වරක් හෝ පරීක්ෂා කිරීම නොවේද? එවැනි පුද්ගලයෙකු ප්‍රතික්ෂේප කිරීම වෙනුවට කළ යුත්තේ ඒ වෙනුවෙන් අවශ්‍ය COVID-19 test kits අවශ්‍ය පමණට නිපදවා ගැනීම නොවේද? මෙම test kits නිපදවා ගැනීමට Canadian Medical Technology එකට හැකියාවක් නොමැතිද? එය එතරම්ම සංකීර්ණ වූවක්ද? COVID-19 සඳහා ප්‍රතිකාර සොයා ගැනීමට පරීක්ෂණ සිදුකිරීමට දැනුමක් ඇති මෙවැනි රටකට මේ සඳහා අවශ්‍ය test kits නිපදවාගත නොහැක්කේ ඇයි? මෙවැනි ගැටලු රාශියක් මේ වන විට ජනතාව තුළ පැන නැගී ඇති වාතාවරණයක් තුළ එම උපකරණවල හිඟය පිළිබඳව දිනපතා මාධ්‍ය තුළට පැමිණ රජය අපව දැනුවත් කරමින් සිටී. ඔවුන්ගේ අඩුපාඩු දුක් ගැනවිලි එසේ අපට දැනුම් දෙන වාරයක් පාසා අප‍ට දැනෙන්නේ කොවිඩ්-19 වසංගතය කොයි මොහොතක හෝ අපවද ගිල ගනියි යන භීතියයි.

අද මේ මොහොතේ ලෝකයම මුහුණ පා සිටින මෙම අවාසනාවන්ත තත්ත්වය ගැන නොසලකා සිතා බැලුවහොත් සහ බොහෝ රටවල් හා සංසන්දනය කර බැලුවහොත් Canadian health system එක ඉතාමත් ඉහළ ස්ථානයක පසුවන බව කීමට හැකියි. සෑම කැනේඩියානුවෙකු සඳහාම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර, උපදෙස්, රෝහල් ප්‍රතිකාර, ශල්‍යකර්ම ආදිය නොමිලේ ලබාදීමට ඔවුන් සෑම විටෙකම ක්‍රියා කරයි.  මෙවැනි සෞඛ්‍ය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ කැනඩාවද අද මෙම ව්‍යසනය හමුවේ තම රටවැසියන්ට නිසියාකාරව පිහිට විය නොහැකි තත්ත්වයකට පත්ව සිටී. මේ අවස්ථාවේදී සෑම රටකම වෛද්‍ය සේවාවන් මෙන් කැනේඩියානුවන්ගේද ජීවිත පිළිබඳ තීරණ ගන්නා තීරකයා බවට Canadian health system එක පත්ව ඇත. එනිසාම අපි සියල්ලන්ම ඉතාමත් විමසිල්ලෙන් උනන්දුවෙන් නොඉවසිලිමත්ව කැනඩාවේ සෞඛ්‍ය සේවාව අප වෙනුවෙන් ගන්නා ඉදිරි පියවරයන් දෙස බලා සිටින්නෙමු. අපගේ වෛද්‍ය සේවාවන් හා සෞඛ්‍ය සේවාවන් පිළිබඳව අතිශයින්ම විශ්වාසය තබා බලා සිටින්නෙමු.

ඉහත කරුණුවලින් දෙවැනි කරුණ වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බැලීමේදී, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් රැක ගැනීම අප සියල්ලන්ගේම වගකීමක් බව අප හිස් මුදුනින් පිළිගත යුත්තකි. ඔවුන් රෝගී වී දින ගණනක් එක්තැන් කිරීමට සිදුවුවහොත් එය අප අපගේම ගෙල සියතින් සිඳ ගත්තා වැනි දෙයකි. නමුත් ඔවුන් සඳහා අවශ්‍ය ආරක්ෂිත ආම්පන්න (protective gear) සැපයීම රජයේ පළමු වගකීමකි. මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි වෛද්‍ය හිඟය ඇතුළු සේවක හිඟය පිරිමසා ගැනීමට අදාළ ක්ෂේත්‍රවල නිපුනතා සහිත පුද්ගලයින් බඳවා ගැනීමට රජයේ අවධානය යොමු විය යුතුව ඇත. මේ වන විටත් ඇතැම් රෝහල් එම කාර්යයේ නිරතව ඇති බව සඳහන් වේ. වෛද්‍යවරුන් හා රෝගීන් අතර සංවාද ටෙලිහෙල්ත් වැනි ක්‍රම මගින් දුරස්ථව මෙහෙයවීමට දැන් කටයුතු යොදා ඇත්තේ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ රෝහල්වල සිටින අනිකුත් රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව පැවසේ. එම තත්ත්වය වටහා ගැනීමට අපට අපහසු නැත. නමුත් මෙය කෙතරම් දුරට සාර්ථකදැයි අපට සිතා ගැනීමට නොහැක.

සාමාන්‍ය රෝගියෙකු වුවත් නිවසේ තබාගෙන රැක බලා ගැනීමට කොපමණ වෙහෙසක් දැරිය යුතුද කියා අප කවුරුත් දනී. එයත් එසේ නම් ළංවීමට, ස්පර්ශ කිරීමට හෝ නොහැකි රෝගයක් වැළඳුණු රෝගියකු නිවසේ තබාගෙන, ඔවුන්ට ඇප උපස්ථාන කිරීම සඳහා යෝග්‍ය ආරක්ෂිත ඇඳුම්වත් අප ළඟ නොමැතිව මෙම කාර්යය සිදුකිරීම කෙතරම් දුරට ප්‍රාය‌ෝගිකද? එයිින් සිදුවන්න‌ේ නිවස‌ේ සිටින අයටත් ර‌ෝගය ‌බ‌ෝ වී ‌ර‌ෝගය තවත් පැතිරීමට ඇති ඉඩ වැඩි වීම බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි දෙයකි.  නමුත් නිවසේ කෙනෙකු මෙවැනි රෝගයකින් අසාද්‍ය වී සිටින විට ඔහුට උවටැන් නොකර සිටිය හැකිද? එසේ කළ නොහැක. කෙසේ හෝ හැකි අයුරින් අප එයද කරනවා යැයි සිතන්න. නමුත් යම් ආකාරයකට එම රෝගියාගේ තත්ත්වය උත්සන්න වුවහොත් රෝගියා ළඟ නිතරම කිසිවෙකු නොගැවසෙන නිසා රෝගියාට කුමක් සිදුවේද? මේ දේවල්වලට සාර්ථක විසඳුම් යොදා ජනතාවගේ හිතට සහනයක් ලබා දීම මේ මොහොතේ රජයේ වගකීමයි. කැනඩාවට කොවිඩ් පැමිණි දින සිට අද වන විට මෙවැනි දේවල් සඳහා නිසි පියවර ගැනීමට ඕනෑ තරම් කාලය තිබුණි. අවම තරමින් එක් පළාතකින් එක් රෝහලක් හෝ සාමාන්‍ය රෝගීන්ගෙන් නිදහස් කොට COVID-19 ආසාදිතයින් සඳහා වෙන් කරන්නේ නම් කෙතරම් හොඳද? (උදාහරණයක් ලෙස GTA පළාතට එක් රෝහලක් ලෙස) එවිට රෝගියා මුල් දින කීපයේදී හෝ රෝහලට ඇතුළු කර ඔවුන් අනතුරුදායක මට්ටමක නොසිටිනවා නම් නිවසේ සිට self-isolate වීමට නිදහස් කළ හැකි නොවේද? නමුත් එවැනි තත්ත්වයක් පිළිබඳව ඉඟියක් හෝ කැනඩා රජය මෙතෙක් පවසා නැත. එනිසා ඔබට කොවිඩ්-19 ආසාදනය වී සාමාන්‍ය රෝගී තත්ත්වයන් මත පසුවන්නේ නම් self-isolate වී නිවසේ සිටීමට සිදුවන බව සිහි තබාගන්න.

මෙහි තෙවැනි කරුණ ලෙස සඳහන් වැඩි අවදානම් සහිත වූවන්ට පරීක්ෂාවේදී ප්‍රමුඛතාව ලබාදීම යන්න යටතට, රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ වෙනත් විවිධ රෝග සඳහා දැනටත් ප්‍රතිකාර ලබා ගන්නන් (ස්වශන රෝග, දියවැඩියාව, පිළිකා වැනි රෝග….) ආදීන් ඇතුළත් කොට ඇත. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවලට අනුව මෙම රෝගය තරුණයන් අතරද දැන් සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. විශේෂයෙන්ම දුම් පානය කරන්නන් මෙම රෝගයේ පහසු ගොදුරක් වේ. නමුත් මෙතෙක් කැනඩා රජය ප්‍රමුඛතාව දී ඇත්තේ වැඩි අවදානම් යයි ඔවුන් හඳුන්වා දෙන පිරිසට පමණි.

මෙතෙක් කලක් අප ජීවත් වූ කැනඩාව ඉතාමත්ම ආරක්ෂිත සහ සුරක්ෂිත දේශයකි. ඉතාමත් සුන්දර දේශයකි. නිදහස පරම කොට සලකන රාජ්‍යයකි. මනුෂ්‍ය ජීවිතවල අගය ඉතාමත් අගය කොට සලකන රටකි. මිනිසුන් මේ වෙලාවේ ටෘඩෝ රජයෙන් බලාපොරොත්තු වන්නේද එම වටිනාකම, නිදහස නැවතත් ඉක්මනින් අප වෙත ලබා දෙනු ඇතැයි කියායි. එම නිසා කොවිඩ්-19 ව්‍යාප්ත වීම අඩුකර ගැනීමට ප්‍රමුඛතාව දී කටයුතු කිරීමට රජය වහාම පියවර ගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත් සිදුවිය හැකි ව්‍යසනය අප කිසිවෙකුටත් සිතා ගත නොහැකියි. රෝගය වැළඳුනේ නැතත් අප මිය නොගිහින් ඉතුරු වුවත් දින නියමයක් නොමැතිව නිවෙස්වලට සිරවෙමින් රජයෙන් පිනට දෙන දේවල් පරිහරණය කරමින් කොපමණ කලක් අපට සිටිය හැකිද? පෙර අප ගත කළ  නිදහස අහිමි වී, කිසිවෙකුගේ ආශ්‍රයක් නොමැතිව මේ ආකාරයට සිර ගත වී සිටීම මාස ගණනාවක් දක්වා ඇදී ගියහොත් මිනිසුන් වෙනත් මානසික රෝගාබාධවලට ගොදුරු වනවාට සැකයක් නොමැත. සුපුරුදු ආකාරයට රැකියාවලට, පාසල්, විශ්වවිද්‍යාලවලට ගොස් කලින් සිටි ආකාරයට නිදහසේ බියක් සැකක් නොමැතිව ජීවත් වීමට අපි කවුරුත් කැමැත්තෙමු. මේ මොහොතේදී   අපට එම අවස්ථාව ලබා දිය හැක්කේ රජයට පමණි.  ඒ වෙනුවෙන් අපිත් අපට කළ හැකි උපරිම කැප කිරීම කරමින් රජයට සහාය දක්වමු.  නිවසට වී සිටිමු.  දුරස්ථ බව තබා ගමු. රෝග වාහකයකු නොවීමට උත්සාහ කරමු. ගතවෙන සෑම මොහොතක්ම තීරණාත්මක බව සිහි තබා ගනිමින් පරිස්සමින් කලබල නොවී කාලය ගත කරමු.

චමරි අබේසිංහ – Dasatha Publications

Share this Post