කෝවිඩ් එන්නතෙන් පසු ඇති වන හෘද ආබාධ පිළිබඳ Stanford විශ්වවිද්‍යාලයේ නවතම සොයාගැනීම

ලෝකයම වෙළාගත් කොවිඩ්-19 වසංගතයෙන් මනුෂ්‍ය සංහතිය බේරාගැනීම වෙනුවෙන් බිහිවූ සුවිශේෂීම වෛද්‍ය විද්‍යාත්මක මෙවලම වූයේ mRNA තාක්ෂණයෙන් යුත් එන්නත් පෙළයි. දැනටමත් ලෝක ජනගහනය අතර බිලියන කිහිප වතාවක් සාර්ථකව භාවිත කර ඇති මෙම එන්නත්, අතිශයින්ම ආරක්ෂිත සහ ගුණදායක බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී හමාරය.
කෙසේ නමුත්, මෙම එන්නත් ලබාගත් ඇතැම් තරුණ සහ නව යොවුන් වියේ පසුවන්නන් අතරින් ඉතා කලාතුරකින් වාර්තා වූ හෘද මාංශ පේශි ප්‍රදාහය (Myocarditis) පිළිබඳ තත්ත්වය ලොව පුරා දැඩි කතාබහකට මෙන්ම විවිධ මතභේදයන්ට ලක්විය. මෙතෙක් කල් වෛද්‍ය විද්‍යාවට අභියෝගයක් වෙමින් රහසක්ව පැවති මෙම සංකූලතාවට හේතුවන සැබෑ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය (Biological process) නූතන විද්‍යාගාර තාක්ෂණයන්හි සහායෙන් නිරවුල්ව අනාවරණය කරගැනීමට සුප්‍රසිද්ධ Stanford විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත. මෙහි වඩාත්ම බලාපොරොත්තු සහගත කරුණ වන්නේ, මෙම අවදානම ඉදිරියේදී තවදුරටත් අවම කරගත හැකි සාර්ථක වෛද්‍ය විද්‍යාත්මක මාර්ගයක්ද ඔවුන් විසින් මේ සමඟම පෙන්වා දී තිබීමයි.
මෙම නවතම සොයාගැනීම පිළිබඳව අදහස් දක්වන Stanford Cardiovascular Institute හි අධ්යක්ෂ, මහාචාර්ය වෛද්‍ය Joseph Wu අවධාරණය කරන්නේ කොවිඩ්-19 සඳහා වන mRNA එන්නත්වල ආරක්ෂිතභාවය පිළිබඳව ලොව පුරා දැඩි ලෙස හා අඛණ්ඩව පරීක්ෂාවට ලක් කර ඇති බවයි. එම විද්‍යාත්මක පරීක්ෂණ සියල්ලෙන්ම මෙම එන්නත් අතිශයින්ම ආරක්ෂිත බව නැවත නැවතත් ඔප්පු වී ඇති බැවින්, මෙම අතුරු ආබාධය ඉතා කලාතුරකින් සිදුවන්නක් මිස එන්නතෙහි පොදු ස්වභාවය නොවන බවද ඔහු පෙන්වා දෙයි.
එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රකාශිත සායනික දත්ත සහ දියුණු විද්‍යාගාර තාක්ෂණය මුසු කරමින් සිදුකළ මෙම පර්යේෂණයට අනුව, මෙම හෘද රෝගී තත්ත්වය හුදෙක් අහඹු සිදුවීමක් නොව පියවර දෙකකින් යුත් අනුක්‍රමික ක්‍රියාවලියක ප්රතිඵලයකි. එහි පළමු පියවර ලෙස සිදුවන්නේ එන්නත මඟින් සිරුරේ පවතින එක්තරා ප්‍රතිශක්තිකරණ ෙසෙල වර්ගයක් සක්‍රීය කිරීමයි. ඉන් අනතුරුව, එම සක්‍රීය වූ සෛල මඟින් සිරුරේ ඇති තවත් ප්‍රතිශක්තිකරණ සෛල වර්ගයක් දැඩි ලෙස කුපිත කරවනු ලබයි.
මෙම පියවර දෙකේ ක්‍රියාවලිය හේතුවෙන් සිරුර තුළ හටගන්නා දැඩි ප්රදාහිත ක්‍රියාකාරිත්වය (Inflammatory activity) මඟින් හෘද මාංශ පේශි සෛලවලට සෘජුවම හානි පමුණුවන බව පර්යේෂකයෝ පවසති. මෙම සෘජු හානිය එතැනින් නොනැවතී, හෘදයට තවදුරටත් හානි පමුණුවන අතුරු ප්‍රදාහයන් දාමයක් දේහය තුළ අලුතින් මුලපිරීමටද හේතු වේ.
ලෝක සෞඛ්‍ය ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කළ මෙම සොයා ගැනීම, ඉදිරියේදී වඩාත් සුරක්ෂිත එන්නත් නිපදවීමට මෙන්ම මෙම අතුරු ආබාධය ඇතිවීමේ ප්‍රවණතාව මුළුමනින්ම නැති කිරීමට වෛද්‍ය විද්‍යාඥයන්ට මහෝපකාරී වනු ඇත.
වෛද්‍ය විද්‍යාත්මක විප්ලවය සහ කලාතුරකින් මතුවන අභියෝගය

වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන මෙම mRNA තාක්ෂණය, ක්ෂුද්‍ර ජීවීන්ගේ හදිසි ප්‍රභේද වෙනස්වීම්වලට (Microbial strain changes) ඉතා වේගයෙන් මුහුණ දිය හැකි පරිදි සහ විවිධ වර්ගයේ රෝග කාරකයන්ට එරෙහිව ඉතා කෙටි කලකින් නවීකරණය කර නිපදවිය හැකි වීම නිසාම සැබෑ විප්ලවීය බිහිවීමක් ලෙස සැලකේ. කෙසේ නමුත්, ලොව පවතින ඕනෑම එන්නතක පොදු ස්වභාවය පරිදි, එන්නත ලබාගන්නා සෑම අයෙකුගේම ශරීරයෙන් ලැඛෙන්නේ එකම ආකාරයේ අහිංසක, අතුරු ආබාධවලින් තොර ප්‍රතිචාරයක් නොවේ.
ඒ අනුව, මෙම mRNA එන්නත්වලින් ඉතා කලාතුරකින් ඇති විය හැකි, නමුත් සැබවින්ම වාර්තා වන අවදානමක් ලෙස මෙම හෘද පටක ප්‍රදාහය හඳුනාගත හැකිය. සිරුර තුළ කිසිදු වෛරස් ආසාදනයක් නොමැති පසුබිමක වුවද මතු වන මෙම තත්ත්වය, සාමාන්‍යයෙන් එන්නත ලබාගෙන දින එකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉතා වේගයෙන් වර්ධනය වේ.
පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි, මෙම තත්ත්වයට ගොදුරු වන පුද්ගලයන්ගේ සිරුරෙන් ප්‍රධාන සායනික ලක්ෂණ කිහිපයක් දැකගත හැකිය.

- පපුවේ දැඩි වේදනාව – Chest pain
- හුස්ම ගැනීමේ අපහසුව – Shortness of breath
- තද උණ – Fever
- හෘද ස්පන්දනය වේගවත් වීම හෝ ගැහීමක් දැනීම – Palpitations
මීට අමතරව, මෙම රෝගීන්ට සිදුකරන සායනික රුධිර පරීක්ෂණවලදී ඔවුන්ගේ රුධිරයේ Cardiac troponin නමැති රසායනික ද්‍රව්‍යය ඉතා ඉහළ මට්ටමක පවතින බව සොයාගෙන ඇත. සාමාන්‍ය ස්වභාවයෙන් මෙම කාඩියැක් ට්‍රොපොනින් පිහිටා තිඛෙන්නේ හෘද මාංශ පේශි තුළ පමණක් වන අතර, එය රුධිර සංසරණ පද්ධතියට මුදාහැරී තිබීම යනු හෘද මාංශ පේශි ෙසෙලවලට (Heart-muscle) හානියක් සිදුව ඇති බව වෛද්‍යවරුන්ට තහවුරු කර දෙන ප්රබලතම සහ පැහැදිලිම සායනික දර්ශකයයි.
සංඛ්‍යාලේඛන පවසන ඇත්ත සහ අවදානම පවතින කාණ්ඩ පර්යේෂණ දත්තවලට අනුව, මෙම එන්නත් ආශ්රිත හෘද මාංශ පේශි ප්‍රදාහය ඇති වීමේ ප්‍රවණතාව අතිශයින්ම අවම මට්ටමක පවතී. පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයන් 140,000 කින් එක් අයෙකුට පමණක් මෙම තත්ත්වය ඇති විය හැකි අතර, දෙවැනි මාත්‍රාවෙන් පසු එය පුද්ගලයන් 32,000 කින් එක් අයෙකු දක්වා සුළු වශයෙන් ඉහළ යයි. කෙසේ නමුත්, මෙතෙක් නිශ්චිතවම හඳුනා නොගත් හේතූන් මත, මෙම රෝගී තත්ත්වය ඇති වීමේ වැඩිම ප්‍රවණතාවක් පෙන්නුම් කරන්නේ වයස අවුරුදු 30 හෝ ඊට අඩු තරුණ සහ නව යොවුන් වියේ පසුවන පිරිමි පාර්ශ්වය අතරය. එම කාණ්ඩයේ පුද්ගලයන් 16,750 කින් එක් අයෙකුට මෙම අවදානම මතුවිය හැකි බව දත්ත පෙන්වා දෙයි.

වාසනාවකට මෙන්, මෙම තත්ත්වයට මුහුණ දෙන බහුතරයක් දෙනා ඉතා කෙටි කලකින් සම්පූර්ණ සුවය ලබන බව වෛද්‍ය ජෝසෆ් පවසයි. එහිදී හදවතේ ක්‍රියාකාරිත්වය කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය තත්ත්වයට පත්වන අතර, සුවපත් වීමද ඉතා වේගයෙන් සිදුවේ.
“මෙය අප සාමාන්‍යයෙන් දකින සාම්ප්‍රදායික හෘදයාබාධයක් (Heart attack) නොවෙයි. එහිදී සිදුවනවාක් මෙන් මෙහිදී රුධිර වාහිනී අවහිර වීමක් සිදුවන්නේ නැහැ. රෝග ලක්ෂණ මෘදු මට්ටමක පවතින විට සහ ප්‍රදාහය නිසා හදවතේ ව්‍යුහයට කිසිදු හානියක් සිදුව නොමැති අවස්ථාවලදී, අප කරන්නේ මෙම රෝගීන් පිළිබඳව විමසිල්ලෙන් සිටිමින් ඔවුන් ස්වභාවිකවම සුවය ලබන බව තහවුරු කරගැනීම පමණයි.” මහාචාර්ය වෛද්‍ය ජෝසෆ් වූ පවසයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය සැහැල්ලුවෙන් තැකිය නොහැකි බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි. යම් හෙයකින් මෙම ප්‍රදාහය දරුණු මට්ටමකට වර්ධනය වුවහොත්, ඉන් ඇතිවන හෘද ආබාධය පුද්ගලයෙකු අඩපණ කිරීමට තරම් ප්‍රබල විය හැකිය. එවැනි අවස්ථාවලදී රෝගීන් රෝහල්ගත කිරීමට, දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කිරීමට පවා සිදුවන අතර, ඉතා කලාතුරකින් මරණ පවා සිදු විය හැකි බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එන්නතට වඩා කොවිඩ් වෛරසය භයානකයි

“හැබැයි, මේ හැම දේකටම වඩා කොවිඩ් වෛරසය හැදෙන එක දරුණුයි, mRNA එන්නතක් නිසා හෘද ප්‍රදාහය ඇති වීමේ අවදානමට වඩා, සැබෑ කොවිඩ් වෛරසය ශරීරගත වීමෙන් එම රෝගී තත්ත්වය ඇති වීමේ අවදානම දස ගුණයකින් විතර වැඩියි. ඊට අමතරව කොවිඩ් වෛරසය නිසා මුළු ඇඟටම සිදුවන වෙනත් බරපතල හානිත් මෙයට අතුළත් වෙනවා.” වෛද්‍ය ජෝසෆ් වූ පෙන්වා දේ.
“කොවිඩ් වෛරසය නිසා හෘද ප්‍රදාහය හැදෙන්න පුළුවන් කියලා දොස්තරලා හොඳින්ම දන්නවා. ඉතාම කලාතුරකින් වුණත් එන්නත නිසාත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. දැන් තියෙන ප්රශ්නය තමයි ‘ඇයි මෙහෙම වෙන්නේ?’ කියන එක.”
විද්‍යාගාරයේදී හෙළිවූ සෛලවල රහස් සන්නිවේදනය

මෙම සුවිශේෂී පර්යේෂණය මෙහෙයවා තිඛෙන්නේ වෛද්‍ය ජෝසෆ් සමඟ, දැනට ඔහයෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු වන වෛද්‍ය Masataka Nishiga සහ ආචාර්ය Xu Cao ඇතුළු ස්ටැන්ෆෝර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම විසිනුයි.
මේ රහස සොයාගන්න පර්යේෂකයන් මුලින්ම කළේ කොවිඩ් එන්නත ගත්ත, ඒ වගේම ඉන් පස්සේ හෘද ප්‍රදාහය හැදුණු සහ නොහැදුණු අයගේ රුධිර සාම්පල එකිනෙකට සංසන්දනය කරලා බලපු එකයි. එතැනදී, එන්නතින් පස්සේ හෘදයේ ආබාධයක් ආපු අයගේ ලේවල සුවිශේෂී ප්‍රෝටීන වර්ග දෙකක් ඉතා ඉහළ මට්ටමක පවතින බව ඔවුන්ට දැකගන්න ලැබුණා.
“CXCL10 සහ IFN-gamma කියලා හඳුන්වන ප්‍රෝටීන වර්ග දෙකක් මෙතැනදී කැපී පෙනුණා. අපිට විශ්වාසයි මේ හෘද ප්‍රදාහය ඇති කරන්න මුල් වෙන්නේ මේ ප්‍රෝටීන දෙක තමයි කියලා. මේ දෙන්නා එකතු වෙලා තමයි මේ හානිය කරන්නේ.”
සරලවම කිව්වොත්, මේ ප්‍රෝටීන දෙක අයිති වෙන්නේ Cytokines කියන කාණ්ඩයටයි. සයිටොකයින් කියන්නේ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ සෛල එකිනෙකා එක්ක කතාබහ කරන්න, නැත්නම් පණිවිඩ හුවමාරු කරගන්න රහස් සංඥා විදිහට ඇඟ ඇතුළෙන්ම මුදාහරින රසායනික ද්‍රව්‍ය විශේෂයක්.
මේ ප්‍රෝටීන දෙක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හොයන්න පර්යේෂකයන් විද්‍යාගාරය ඇතුළේ සුවිශේෂී පරීක්ෂණයක් කළා. එහිදී ඔවුන් මුලින්ම දැක්කා එන්නත නිසා ශරීරයේ ආරක්ෂකයන් වගේ ඉන්න Macrophages කියන ප්‍රතිශක්තිකරණ සෛල වර්ගය උත්තේජනය වෙලා අර මුලින් කියපු CXCL10 ප්‍රෝටීනය මුදාහරිනවා කියලා.
ඊට පස්සේ පර්යේෂකයන් මේ සෛලවල පිරික්සුම් තැටියට තවත් සුවිශේෂී සෛල වර්ගයක් එකතු කළා. ඒ තමයි සිරුරට ඇතුළු වන ලෙඩ රෝග හඳුනාගෙන ප්‍රහාර එල්ල කරන, ඒ වගේම මුළු ප්‍රතිශක්තිකරණ පද්ධතියම අවදි කරන්න පුළුවන් දක්ෂ ඔත්තුකරුවන් වගේ ඉන්න T cells.
මෙහිදී ඔවුන් පුදුම සහගත දෙයක් නිරීක්ෂණය කළා. මැක්රෝෆෙජ් සෛල අඩංගු ද්‍රාවණයට මේ T සෛල එකතු කරපු සැනින්, T සෛල මඟින් මුදාහරින IFN-gamma ප්‍රෝටීන ප්‍රමාණය ඉතා සීඝ්රයෙන් ඉහළ ගියා. හැබැයි, මැක්රෝෆෙජ් සෛල නැතුව තනිවම ටී සෛල විතරක් එන්නතට නිරාවරණය කළාම, ඒවායින් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර IFN-gamma ප්‍රෝටීන පිටවුණේ නැහැ.
මේ අපූරු පරීක්ෂණයෙන් විද්‍යාඥයන් ඉතා පැහැදිලි නිගමනයකට පැමිණියා. ඒ, එන්නත ශරීරගත වූ විට, මැක්රෝෆෙජ් සෛල CXCL10 ප්‍රෝටීනය නිපදවන ප්‍රධාන උල්පත බවට පත් වන බවයි.
T cells මැක්රෝෆෙජ් සෛලවල පණිවිඩය නිසා කුපිත වී IFN-gamma ප්‍රෝටීනය නිපදවීම වැඩි කරයි. සරලවම කිව්වොත්, හෘද ප්‍රදාහය ඇති වෙන්නේ මේ සෛල වර්ග දෙක එකිනෙකා උසිගන්වා ගනිමින් ශරීරය තුළ ඇති කරන අනවශ්‍ය පණිවිඩ හුවමාරුවක අවසාන ප්‍රතිඵලයක් විදිහටයි.
හදවතට එල්ල වන මිත්‍රශීලී ප්‍රහාර
මේ ප්‍රෝටීන දෙක එකතු වෙලා ඇත්තටම හදවතට හානි කරනවාද කියලා ස්ථීර කරගන්න පර්යේෂකයන් ඊළඟට පරීක්ෂණ කළේ තරුණ පිරිමි මීයන් යොදාගෙනයි. එහිදී එන්නත ලබාදුන් මීයන්ගේ රුධිරයේද හෘද සෛලවලට හානි වූ විට මතු වන ‘කාඩියැක් ට්‍රොපොනින්’ මට්ටම ඉහළ ගොස් ඇති බව පෙනී ගියා.
වඩාත්ම පුදුම හිතෙන දේ තමයි, මේ මීයන්ගේ හෘද පටක ඇතුළට සිරුරේ ආරක්ෂක සෛල වර්ග දෙකක් කඩා වැදී තිබීමයි. එකක් මුලින් කියපු මැක්රෝෆෙජ් සෛලයි. අනෙක තමයි, සිරුරට විෂබීජයක් ආපු සැනින් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැතුව, මැරෙන්න හරි සටන් වදින දරුණු සටන්කාමීන් වැනි Neutrophils සෛලයි. (සාමාන්‍යයෙන් තුවාලයක් පැසවූ විට හැදෙන ‘සැරව’ කියන්නේ මේ සෛලවලටයි). එන්නතින් පසු හෘද ප්‍රදාහය හැදුණු මිනිස් රෝගීන්ගේ හදවත් තුළටත් මේ විදිහටම සෛල කඩාවදින බව සොයාගෙන තියෙනවා.
මෙතැනදී සිදුවන දේ හරිම අපූරුයි. මේ ‘මුලින්ම වෙඩි තබා පසුව ප්‍රශ්න අසන’ ජාතියේ සටන්කාමී සෛල, හදවත ඇතුළට කඩාවැදුණාම කාටද වෙඩි තියන්නේ කියලා බලන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට, සිරුරේ හොඳ සෛලවලටත් ඔවුන්ගෙන් ‘මිත්‍රශීලී ප්‍රහාර’ එල්ල වෙනවා. මේ නිසා හෘදයේ නිරෝගී මාංශ පේශිවලට බරපතල අතුරු හානි සිදුවනවා. හැබැයි, අර මුලින් කියපු CXCL10 සහ IFN-gamma ප්‍රෝටීන දෙකේ ක්‍රියාකාරිත්වය වළක්වපු සැනින්, මේ සටන්කාමී සෛල හදවතට කඩාවැදීම විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන් වුණා.
වඩාත්ම සතුටුදායක ආරංචිය නම්, මේ ප්‍රෝටීන දෙක වළක්වන (Inhibitors) ඖෂධ දුන් විට, එන්නතින් ලැඛෙන නියම ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව ඒ විදිහටම ලැඛෙන අතරේ, හදවතට සිදුවන හානිය සාර්ථකව වළක්වා ගැනීමට හැකි වීමයි.
සෝයා බෝංචි ඇටයකින් මතු වූ අපූරු බලාපොරොත්තුව

මේ විනාශකාරී ප්‍රදාහය වළක්වන්න අප එදිනෙදා ගන්නා ආහාරමය අතිරේකයකට (Dietary supplement) පුළුවන් වෙයි කියලා මහාචාර්ය ජෝසෆ්ට ක්ෂණික අදහසක් ආවා. විශේෂයෙන්ම පිරිමින් අතර මේ රෝගය වැඩිපුර දකින්න ලැබීමත්, කාන්තා හෝර්මෝනයක් වන ‘ඊස්ට්‍රජන්’ සතුව පවතින ප්‍රදාහ නාශක ගුණයත් ගැන හිතපු ඔහු, මීට වසර කිහිපයකට පෙර තමන් විසින්ම සිදුකළ පර්යේෂණයක් නැවත මතක් කරගත්තා.
ඒ අනුව, මහාචාර්ය ජෝසෆ්ගේ කණ්ඩායම විසින් 2022 වසරේ සුප්‍රසිද්ධ Cell සඟරාවේ පළ කළ පර්යේෂණයකට අනුව, සෝයා බෝංචිවලින් ලබාගන්නා Genistein නමැති මෘදු ඊස්ට්‍රජන් වැනි ද්‍රව්‍යයට ශරීරයේ ප්‍රදාහයන් නැති කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති බව සොයාගෙන තිබුණා.
“කටින් ගන්නා විට ජෙනිස්ටීන් ශරීරයට උරාගන්නේ ඉතා මන්දගාමීවයි. ඒ නිසා කාටවත් සෝයා කෑමෙන් (Tofu) අධිමාත්‍රාවක් වෙන්නේ නැහැ.”
පර්යේෂකයන් ඊළඟට කළේ කලින් කරපු පරීක්ෂණ ටිකම ජෙනිස්ටීන් ඖෂධය යොදාගෙන නැවත සිදුකිරීමයි. එහිදී ඔවුන් මීයන්ට සහ කෘත්‍රිම මිනිස් හෘද සෛලවලට එන්නත දීමට පෙර ජෙනිස්ටීන් ලබා දුන්නා. ප්‍රතිඵලය පුදුම සහගත වුණා. මේ සෝයා සාරය මඟින් mRNA එන්නත හෝ අර භයානක ප්‍රෝටීන දෙක (CXCL10 සහ IFN-gamma) එකතු වෙලා හදවතට කරන්න ගිය බරපතල හානිය මුළුමනින්ම වගේ වළක්වා ගන්න හැකි වුණා. හැබැයි මතක තබාගත යුතු කරුණ නම්, මෙහිදී වෛද්‍යවරුන් භාවිත කළේ සාමාන්‍ය වෙළඳපොළේ ඇති සෝයා පෙතිවලට වඩා ඉතා පිරිසිදු සහ සාන්ද්‍රණය ඉහළ ජෙනිස්ටීන් ඖෂධයක් බවයි.
ශරීරයේ ආරක්ෂකයන් විෂක් වන හැටි

මහාචාර්යවරයා පවසන පරිදි, මේ එන්නත නිසා ඇතිවන ප්‍රදාහය හදවතට විතරක් නෙවෙයි පෙනහලු, අක්මාව සහ වකුගඩු වැනි ශරීරයේ වෙනත් ඉන්ද්‍රියයන්ටත් යම් බලපෑමක් කරන්න ඉඩ තියෙනවා. ජෙනිස්ටීන් ඖෂධය මඟින් ඒ හැම අවයවයකටම සිදුවන හානිය වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා.
ඇත්තටම සිරුරට පිටතින් එන වෛරස් හෝ විෂබීජවලින් බේරෙන්න අපේ ඇඟට මේ ‘සයිටොකයින්’ සහ IFN-gamma කියන ප්‍රෝටීන අත්‍යවශ්‍යම වෙනවා.
“වෛරස් පලවා හරින්න අපේ ඇඟට මේ සයිටොකයින් ඕනෑමයි. එය ප්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යවශ්‍ය දෙයක් වුණත්, සිරුර තුළ එකපාරටම මේවා විශාල ප්‍රමාණයක් හැදුණොත් ඒවා ශරීරයටම Toxic වෙන්න පුළුවන්.”
මෙන්න මේ විදිහට ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන විශාල වශයෙන් මුදාහැරීම නිසා හෘද පටකවල ව්‍යුහය බිඳවැටීමේ අවදානම කොවිඩ් එන්නතට විතරක් නෙවෙයි, අනෙකුත් සාමාන්‍ය එන්නත්වලටත් පොදු දෙයක්.
“වෙනත් සාමාන්‍ය එන්නත්වලිනුත් හෘද ප්‍රදාහය සහ වෙනත් ඇඟ රිදවීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි කොවිඩ් එන්නත ගැන මුළු ලෝකයම සහ මාධ්‍ය සලකා බැලුවේ හරිම දැඩි විදිහටයි. ඒ නිසා කොවිඩ් එන්නත ගත්තට පස්සේ පපුවේ කැක්කුමක් ආවොත් මිනිස්සු කෙළින්ම රෝහලට ගිහින් ට්‍රොපොනින් පරීක්ෂණ කරලා හෘද ප්‍රදාහය කියලා ලෙඩේ හොයා ගන්නවා. හැබැයි සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට එන්නතක් (Flu shot) ගත්තම ඇඟ පත රිදෙන්න ගත්තොත් කවුරුවත් ඒක ගණන් ගන්නේ නැහැ.”
ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය (NIH) සහ Gootter-Jensen Foundation මඟින් මූල්‍ය ප්‍රතිපාදන සැපයූ මෙම අගනා පර්යේෂණය, වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනස් කරන සොයාගැනීමක්. මේ හරහා එන්නත් පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැති අතර, ඉදිරියේදී සෝයා බෝංචි ඇසුරෙන් නිපදවන මෙවැනි සරල ඖෂධයක් මඟින් එන්නත්වලින් ඇතිවන සියලුම සූක්ෂ්ම අතුරු ආබාධ පවා මුළුමනින්ම තුරන් කර, මානව වර්ගයා වෙනුවෙන් වඩාත් සුරක්ෂිත එන්නත් නිපදවීමට අවශ්‍ය මාවත විවෘත වනු ඇත.

