මේ දිනවල කැනේඩියානු ආගමන පද්ධතිය සැලකිය යුතු වෙනස්කම්වලට භාජන වෙමින් පවතින අතර, Express Entry වැඩසටහන හරහා කැනඩාවට සංක්‍රමණය වීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට මෙරට ශ්‍රම වෙළඳපොළ තුළ රැකියාවක් ඇති බවට සහතික වන Labour Market Impact Assessments (LMIA) ක්‍රමය ඉවත් කිරීමට සැරසේ.

දෙසැම්බර් මාසයේදී ඔටාවාහි පැවති මාධ්‍ය හමුවකදී ආගමන අමාත්‍ය මාක් මිලර් මේ බව නිවේදනය කර තිබුණි. Express Entry හිදී අමතර ලකුණු ලැබෙන LMIA  ඉවත් කිරීම පිළිබඳව ඔහු පවසා ඇත්තේ, එය තුළින් සිදුවන වංචා වැළැක්වීම සඳහා එම පියවර ගත් බවයි.
යම් සේවා යෝජකයකුට තමන්ට අයත් ආයතනයක යම් තනතුරක් පිරවීම සඳහා කැනේඩියානුවෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ විට විදේශීය සේවකයින් බඳවා ගැනීම සඳහා ඉඩ සලසන ලිපිය LMIA වේ. මෙය 2014 දී හඳුන්වා දෙනු ලැබුවේ, ‘සුදුසුකම් ලත් කැනේඩියානුවන් නොමැති විට තාවකාලික පදනමක් මත උග්‍ර ශ්‍රම හිඟය පිරවීම සඳහා අවසාන සහ සීමිත විසඳුම’ ලෙසිනි. නමුත් එය සීමිත විසඳුමක් නොවී මේ වන තෙක් ක්‍රියාත්මක වේ. LMIA සහාය දක්වන තනතුරු විදේශ ජාතිකයන්ට කැනඩාවේ නීත්‍යනුකූලව වැඩ කිරීමට ඉඩ සලසනවා පමණක් නොව, ඔවුන්ගේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය ලකුණුද එකතු කරනු ලබයි. දැනට කැනඩාවේ Express Entry ක්‍රමය යටතේ PR අයදුම්කරුවන්ට LMIA සහායෙන් අවම වශයෙන් ලකුණු 50 ක් හිමිවේ.
නමුත් මේ වන විට මෙම LMIA ලබාදීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම පාහේ අවභාවිත වෙමින් පවතින බවත් අන්තර්ජාලය හරහා රැකියා විකිණීම සහ මිල දී ගැනීම සිදුවෙමින් පවතින බවත් මාරක් මිලර් ඇමතිවරයා පවසා සිටියි. Express Entry අයදුම් කරන්නන් LMIA මිල දී ගැනීමට ඇති දිරිගැන්වීම මෙයින් පසු ඉවත් වෙනු ඇතැයි අපේක්ෂා කරන ඇමතිවරයා, එයින් Express Entry පද්ධතියේ සාධාරණත්වය සහ අඛණ්ඩතාව වැඩි වනු ඇතැයි පවසයි.
වංචනික ලෙස LMIA ලබාදීම පිළිබඳව CBC විසින් කරන ලද විමර්ශනයකින් හෙළි වී ඇත්තේ, Kijiji සහ Facebook Marketplace වැනි ස්ථාන LMIA ලබාදෙන කළු කඩ බවට පත් වී ඇති බවයි. මෙවැනි වෙබ් අඩවිවල LMIA සඳහා සහාය දක්වන රැකියා විකුණන සබැඳි දුසිම් ගණනක් විවෘත වන බව ඔවුන් විසින් නිරීක්ෂණය කර ඇත.
රැකියාවක් සඳහා ලබාදෙන LMIA ලේඛනයක් සඳහා ඩොලර් 25,000 ත් 45,000 ත් අතර මුදලක් ලබා ගන්නා බව එහිදී හෙළිදරව් වී ඇත. ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ විදේශ ශ්‍රමිකයන්ගෙන් LMIA සඳහා කිසිදු මුදලක් අය කිරීම නීති විරෝධී වූවකි. එම නිසා මෙය රජයේ නීති සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන බරපතල වංචාවකි.
LMIA අවසන් කිරීමේ නීතිය තවමත් ක්‍රියාත්මක නොවන නමුත් එය කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව සඳහන් වේ. අනාගතයේ සිදුවන මෙම ප්‍රතිපත්තිමය වෙනස්කම ‘මේ අවස්ථාවේ අයදුම් කර ඇති’ පිරිසට බලපාන්නේ නැති බවද Immigration, Refugees and Citizenship Canada පවසා සිටී.

Share this Post