Tournament Capital of Canada යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන Kamloops බ්‍රිටිෂ් කොළොම්බියාවේ දකුණු දිගින් පිහිටා ඇති සුන්දර නගරයකි. මෙහි ඇති ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සපයන Tournament Capital Centre හි දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් එක් රැස් වන ජාත්‍යන්තර තරගාවලි සියයකට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව පවත්වනු ලබයි. ඊට අමතරව Kamloops Bike Ranch සහ Tournament Capital Ranch වැනි ස්ථාන දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලීන්ගේ නොමද පැසසුමට ලක්ව ඇත. කැනඩාවේ වැඩිම ඒක පුද්ගල ගොල්ෆ් ක්‍රීඩාංගන සංඛ්‍යාවක් ඇති නගරය ලෙසද Kamloops හැඳින්වේ. බ්‍රිටිෂ් කොළොම්බියා කලාපයට උරුම භූගෝලීය සාධක හා සෞම්‍ය දේශගුණික පරිසරයකින් යුත් Kamloops හි 80,000 කට මඳක් වැඩි ජනගහනයක් වර්තමානයේ ජීවත් වේ. ක්‍රීඩා තරග සංවිධාන කටයුතුවලට අමතරව මෙම ප්‍රදේශය සෞඛ්‍ය සේවා, සංචාරක කර්මාන්ත සහ අධ්‍යාපන පීඨ ආදි බහුවිධ ව්‍යාපාරවලටද ප්‍රසිද්ධියක් උසුලන අතර බ්‍රිටිෂ් කොළොම්බියා කලාපයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එම ව්‍යාපාර විශාල දායකත්වයක් සපයනු ලබයි.

මෙතෙක් කාලයක් Kamloops යන නම ඉහත ක්ෂේත්‍රවලට ප්‍රසිද්ධ නගරයක් ලෙස කියවුණත් වර්තමානයේදී ‘Kamloops’ නම කියවෙන්නේ ඉතාමත් අසුන්දර මාතෘකාවක් වෙනුවෙනි. දශක ගණනාවක් මිහිදන්ව තිබී ගොඩ ගත් කුඩා දරුවන් 215 දෙනෙකුගේ සමූහ මිනී වළක් පිළිබඳ බිහිසුණු කතාවක් Kamloops නමට ඈදී ඇති නිසා ලොව පුරා මුද්‍රිත, විද්‍යුත්, සමාජ ජාල ආදි සෑම මාධ්‍යයකම මේ දිනවල  ‘Kamloops’ යන නම සඳහන් වේ. මෙම මිනී වළේ සතපවන ලද සියල්ලෝම කැනඩාවේ මුල් පදිංචි කරුවන්ගේ දරුවන් වීම මෙහි ඇති කුරිරු බව තවත් තීව්‍ර කරවයි. 

මේ දරුවන්ට මෙවැනි ඉරණමක් අත්වූයේ ඇයි? මේ දරුවන් මේ විපතට පත් කළේ කවුද? ඒ කුමන කාල වකවානුවකදීද? මේ දරුවන් 215 දෙනා වැනි වූ තවත් ස්වදේශීය දරුවන් හෝ වැඩිහිටියන් මේ ආකාරයට සමූහව වළ දමා ඇත්ද? ආදි ගැටලු අද බොහෝ දෙනෙකු තුළ මතුවී ඇත. මෙරට මුල් පදිංචිකරුවන්ට අතීතයේ  සිට සිදුවූ වැරදි විමර්ශනය කොට ඔවුන්ට යුක්තිය ඉටුකරලීම සඳහා කැනඩාව තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොව සංවිධාන රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී. එම සංවිධානවල සහ රජයේ මැදිහත් වීමෙන් මෙම අපරාධයේ සුළමුල සොයා ‌‌ගැනීමටත් ඉන්පසු ඉහත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටත් ආදිවාසී ජන ප්‍රජාවන් උත්සාහ ගනිමින් සිටී.

වර්තමාන කැනඩාව ගැන සිතා බලද්දී මෙතරම් බිහිසුණු ඉරණමකට මේ රට තුළදී මේ අහිසංකයන් ගොදුරු වූයේ කෙසේද යන්න සිතා ගැනීමටවත් නොහැක. නමුත් දශක ගණනාවක් තිස්සේ කැනඩාවේ ස්වදේශීය මුල් පදිංචිකාර ජනතාව විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දෙමින් පීඩාකාරී ජීවන තත්ත්වයක පසුවන බව නොරහසකි. වර්තමානයේ පත්වන රජයයන් මොවුන් වෙනුවෙන් විශේෂ වරප්‍රසාද පහසුකම් සලසා දෙනු ලැබූවත් අතීත දුක්ඛ දෝමනස්සයන්ගේ නටඹුන්වලින් ඔවුන්ව ගොඩ ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වී ඇත. අතීතයේ ඔවුන් මුහුණ දුන් දුෂ්ටකම සහ අවතක්සේරු කිරීම් පරම්පරා ගණනාවක් පුරා ඔවුන්ගේ ජීවිත ගොඩ නගා ගැනීමට බාධා කරමින් පවතී.

Kamloops හි රතු ඉන්දියානු ජනයා සඳහා පවත්වාගෙන ගිය නේවාසික පාසලක් වන Kamloops Indian Residential School භූමියේ වළ දැමූ කුඩා දරුවන් 215 දෙනාගේ දේහයන් පිළිබඳ පුවත අනාවරණය වීමත් සමග කැනඩාවේ මුල් පදිංචිකරුවන්ගේ ජීවිත ගෙවී ඇති ආකාරය ගැන කියවෙන දුක්ඛිත කතා වඩ වඩාත් හෙළිදරව් වෙමින් පවතී.

Kamloops සමූහ මිනී වළෙන් හමුවූ දරුවන් 215 දෙනාගේ දේහයන් අතර අවුරුදු 3 පමණ වයස් වූ ලාබාලයන්ගේ දේහයන්ද තිබී ඇතැයි ප්‍රකාශ වීමෙන් පසු මෙතරම් ළදරු වයසේ පසුූ වූ දරුවනුුුත් නේවාසික පාසල්වලට රැගෙන ගොස් ඇද්ද යන මවිතය කවුරුන් තුළත් මතුවේ. ඒ අඳුරු කාල පරිච්ඡේදයේදී ස්වදේශීය පවුල්වලින් බලහත්කාරයෙන් රැගෙන ගොස් නේවාසික පාසල්වලට ගාල් කළ මෙවැනි දරුවන් බහුතරයක් නැවත කිසි දිනෙක තමන්ගේ මවුපියන්, ඥාති හිතමිත්‍රාදීන් වෙත නොපැමිණි බව අදටත් ජීවතුන් අතර සිටින්නෝ පවසති. එකල තම දරුවන්ගේ අතුරුදහන් වීම් පිළිබඳව හේතු විමසූ විට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නොපැහැදිලි පැහැදිලි කිරීම් පමණක් ලැබුණු බව වර්තමානයේ ජීවත් වන ස්වදේශීය ජන ප්‍රජාවන් පවසන්නේ ඒ දුෂ්ටාන්ත සමයේ අත්දුටු භීෂණකාරී බව මුහුණුවල මවා ගනිමිනි. මෙතෙක් කාලයක් මෙම දරුවන් 215 දෙනා ඇතුළු  අතුරුදන් වූ දරුවන් දහස් ගණනකට සිදුවූයේ කුමක්ද යන්න ගැන කිසිදු සාධාරණ සාක්ෂියක් හෝ හෙළිදරව් නොවුණු අතර ඔවුන් පිළිබඳ කතාබහ, මතක ඔවුන්ගේ පවුල්වලට පමණක්ම සීමා විය.

අතුරුදන් වූ දහස් ගණනක් දරුවන් අතරින් දරුවන් 215 දෙනෙකුගේ මිනී වළක් මේ ආකාරයට සොයා ගැනීමට ලැබීම එකල ඔවුන් විඳි දුක්, ගැහැට, පීඩා ඇස් ඉදිරිපිටම පෙන්වා දීමට මළවුන් සාක්ෂි දීමට පැමිණි අවස්ථාවක් ලෙස දැක්විය හැක.

බ්‍රිටිෂ් කොළොම්බියානු ස්වදේශීය ජන ප්‍රජාවක් වන Tk’emlups te Secwepemc First Nation විසින් 2021 මැයි 27 වැනි දින Kamloops Indian Residential පාසල් භූමියේ ඇති සමූහ මිනී වළ පිළිබඳ තොරතුරු පළමුවරට රටට අනාවරණය කරන ලදී. එම ජන ප්‍රජාව මූලික වී අදාළ භූමිය විනිවිද යවමින් සිදුකළ රේඩාර් පරීක්ෂණ මගින් දරුවන් 215 දෙනා මිහිදන් කළ සමූහ මිනී වළ පිහිටි ස්ථානය සොයාගෙන ඇත.

Tk’emlups te Secwepemc First Nation ජන ප්‍රජාවගේ වර්තමාන ප්‍රධානිය ලෙස කටයුතු කරන Rosanne Casimir මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරමින් පවසා තිබුණේ, මේ මතුවන කටුක යථාර්ථය ඔවුන්ගේ සත්‍ය ඉතිහාසය බවයි. ඔවුන් මුහුණ දුන් හිංසාකාරී බව ඔප්පු කිරීම සඳහා සෑම විටෙකම සටන් කිරීමට සිදුවූ බවත් එය ඉතාමත් භයානක ඉතිහාසයක් බවත් ඇය එහිදී සඳහන් කොට තිබුණි. එම කාලයේදී අතුරුදහන් වූවන් සියල්ලන්ම පාහේ ‘ලේඛනගත නොකළ මරණ’ ලෙස හැඳින්විය හැකි බව ඇය පවසයි.

Tk’emlups te Secwepemc First Nation නායක Rosanne Casimir

Tk’emlups te Secwepemc First Nation නායක Rosanne Casimir

කැනඩාවේ ස්වදේශීය ජන කොට්ඨාශ ඉලක්ක කර ගනිමින් පවත්වාගෙන ගිය මෙම බෝඩිං පාසල්වලට යන අතරතුරේදී දරුවන් දහස් ගණනක් අකාලයේ මිය ගොස් ඇති බව සත්‍ය හා සංහිඳියාව සඳහා වන ජාතික මධ්‍යස්ථානය (National Truth and Reconciliation Commission – NCTR) පවසයි. කැනේඩියානු ස්වදේශීය නේවාසික පාසල් පද්ධතිය තුළ අතීතයේ සිට ඉතිරිව පවතින ගැටුම් නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන් රජය විසින් පිහිටුවන ලද නිල ආයතනයක් වන මෙම කොමිසම ඉදිරිපත් කර ඇති තොරතුරුවලට අනුව මෙසේ මිය ගොස් ඇති සිසුන් සංඛ්‍යාව අවම වශයෙන් 4,100 ක් පමණ වෙතැයි සඳහන් වේ. මේ දරුවන් විවිධාකාරයේ ශාරීරික හා ලිංගික හිරිහැර කිරීම්, නොසලකා හැරීම් ආදියට මෙන්ම හදිසි අනතුරු හෝ රෝගාබාධයන්ට ගොදුරුව අකාලයේ ජීවිතයෙන් සමුගන්නට ඇති බව සැලකේ. නේවාසික පාසල්වලට රැගෙන යාමෙන් පසු බොහෝ දරු දැරියන්ට සිදුවූයේ කුමක්දැයි ඔවුන්ගේ පවුල් වෙත කිසිදු දැනුම් දීමක් නොකෙරුණු අතර එකල එම දරුවන් ‘අතුරුදහන් වූ දරුවන්’ ලෙස පමණක් හඳුන්වා තිබේ.

කැනඩාවේ First Nations, Inuit සහ Métis ජාතික දරුවන් ඔවුන්ගේ පවුල් හා ප්‍රජාවන්ගෙන් වෙන් කොට ඔවුන්ගේ නිවෙස්වලින් ඉතා දුර බැහැර පිහිටි පාසල්වලට ඇතුළත් කිරීම වසර 150 කට අධික කාලයක් පුරා සිදුවෙමින් පැමිණි ඇත. බොහෝ විට මෙම දරුවන් එවැනි පාසල්වලට ගෙන ගොස් ඇත්තේ බලහත්කාරයෙනි. මේ ආකාරයට ළමුන් 150,000 කට වැඩි පිරිසක් ඉන්දියානු නේවාසික පාසල්වලට ගෙන ගොස් ඇති බවට ලිඛිත තොරතුරු ඇති අතර එම දරුවන්ගෙන් බහුතරයක් නැවත ඔවුන්ගේ නිවෙස් කරා පැමිණ නැත. එසේ රැගෙන යාමෙන් පසු ඒ ළමා ස්වදේශීය ප්‍රජාවට සිදුවූයේ කුමක්දැයි කිසිවෙකුත් නොදනී. මෙසේ ඔවුන් ඉපදුණු පවුල්වලින් සහ වටාපිටාවෙන් ඉවත් කොට නේවාසික පාසල්වල රැඳවීමේ මූලික අභිලාෂය වී ඇත්තේ මෙරට මුල් පදිංචිකරුවන් සතු විවිධ සංස්කෘතීන්ගෙන් ඔවුන්ගේ දරුවන් වෙන් කොට ඇති දැඩි කිරීමයි. මෙහිදී එම දරුවන්ට ඉංග්‍රිසි ඉගෙනීමට, ක්‍රිස්තියානි ධර්මය වැළඳගැනීමට සහ රටේ සුදු ජාතිකයින්ගේ සිරිත් විරිත් අනුගමනය කිරීමට බල කෙරුණි.

එසේ පවත්වාගෙන ගිය නේවාසික පාසල් තුළ සටහන් නොවුණු සොහොන් බිම් පවතින බවට  කලක පටන් කටකතා පැවතුණද පසුගියදා Tk’emlups te Secwepemc First Nation විසින් Kamloops හිදී සොයාගත් ආකාරයේ සොහොන් බිමක් මින් පෙර සොයාගත් බව වාර්තා වී නොමැත. එම සමූහ මිනී වළ පිළිබඳව සිදුකරන මූලික පරීක්ෂණ තහවුරු වුවහොත් එය එක්තරා කලකදී ස්වදේශීය ජනයාට එරෙහිව සිදුවූ තාඩන පීඩන කැඩපතක් සේ පෙන්නුම් කරන මෙරටදී සොයාගත් පළමු සොහොන් බිම වනු ඇත.

බ්‍රිටිෂ් කොළොම්බියා පළාතෙහි ජීවත් වූ ස්වදේශීය ජන ප්‍රජාවන් 36 කට අයත් ආදිවාසී දරුවන් Kamloops Indian Residential පාසලට ගොස් ඇති බව ඒ පිළිබඳව ඇති වාර්තා සනාථ කොට සිටී. තවද, 1950 දශකයේදී Alberta සහ Yukon පළාත්වලින්ද ආදිවාසී දරුවන් 500 ක් පමණ මෙම පාසලට ඇතුළත් කොට ගෙන ඇති බවට සාක්ෂි පවතී.

මෙම සමූහ මිනී වළෙන් හමුවූ දරුවන් 215 දෙනාගේ පමණක් නොව නේවාසික පාසල්වලට රැගෙන යාමෙන් පසු අතුරුදන් වූ බවට පැවසෙන සියලුම දරුවන්ගේ අනන්‍යතාව සහතික කර ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇති බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම් පවසා සිටී. රටෙහි විවිධ පළාත්වලින් රැගෙන ආ දරුවන් මෙම මිනී වළ හමුවූ පාසලේ සිට ඇති නිසා වින්දිතයන්ගේ සමීපතමයින්ගේ DNA දත්ත පිරික්සීමේ දුෂ්කරතාද මෙහිදී මතු වී ඇත. මේ සඳහා පල්ලියේ වාර්තා, පාසල් වාර්තා, පළාත් පාලන ආයතනවල වාර්තා සහ අතුරුදහන් වූ දරුවන්ගේ ලැයිස්තු ආදිය මෙන්ම ඉතිහාස කතා, කටකතා ආදි මූලාශ්‍ර සංසන්දනය කිරීමට සිදුවෙනු ඇත.  නමුත් සමස්ත නේවාසික පාසල් පද්ධතිය තුළදී අතුරුදන් වූ දරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට ඉතාමත් අත්‍යවශ්‍ය පාසල් වාර්තාවලට ප්‍රවේශ වීමට තවමත් අවස්ථාවක් නොලැබීම කණගාටුවට කරුණක් බව ආදිවාසී ප්‍රධානීන් පවසා සිටී. මෙම පාසල් වාර්තා තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව සඳහා ෆෙඩරල් රජය සහ කතෝලික පල්ලිය සමග වසර 20 ක් පුරා උසාවියේදී සටන් වැදීමට ස්වදේශීය ජනතාවට සිදුවී ඇත.

Kamloops හි මිහිදන් වූ දරුවන් 215 දෙනා පිළිබඳ වැඩි විස්තර අනාවරණය කර ගැනීම සඳහා කෞතුකාගාරයේ පෙට්ටි සිය ගණනාවක පුරවා ඇති ඡායාරූප, අත්අකුරු සටහන් සහිත දිනපොත් පරීක්ෂා කොට ඇතත් ඒවායේ කොතැනකවත් කිසිදු මරණයක් ගැන හෝ භූමදානයක් ගැන වූ සටහනක් මෙතෙක් හමු වී නොමැත. ඔවුන්ගේ මරණ පිළිබඳ කිසිදු සඳහනක් සොයා ගැනීමට නොහැකි වුවත් එම සිසුන් ජීවත් වූ තත්ත්වයන් සහ ඔවුන් අත්විඳි දේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීමට එම අතීත සටහන්වලින් හැකි වූ බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කණ්ඩායම පවසයි.

පල්ලිය විසින් කැනඩාවේ පළමු ඉන්දියානු නේවාසික පාසල 1831 දී The Mohawk Institute in Brantford නමින් ඔන්ටේරියෝ පළාතේ Brantford හිදී ආරම්භ කර ඇත. 1883 වසරේදී ඉන්දියානු නේවාසික පාසල් ඇති කිරීමට ප්‍රතිපාදන සැපයීමේ නිල ප්‍රතිපත්තියට ෆෙඩරල් රජයද සම්මාදන් වී ඇති අතර කැනඩාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජෝන් ඒ. මැක්ඩොනල්ඩ් එදවස රටෙහි පාලනය මෙහෙයවා ඇත. මෙවැනි පාසල් ඇති කිරීමට රජයේ සහයෝගය ලබාදීම පිළිබඳව එම අවස්ථාවේදී මතුවූ විරෝධතාවලට ප්‍රතිපිළිතුරු දෙමින් එකල පළාත් රාජ්‍ය ලේකම්ව සිටි Hector Langevin පවසා ඇත්තේ, මෙම ස්වදේශීය දරුවන්ට උගන්වා ශිෂ්ට සම්පන්න කිරීමට නම් ඔවුන්ව පවුල්වලින් වෙන් කර එය කළ යුතු බවයි. යමෙක් මෙය අමාරු යැයි පැවසිය හැකි වුවත් ඔවුන්ව ශිෂ්ටාචාර කිරීමට අවශ්‍ය නම් එය කළ යුතු බව ඔහු එහිදී තරයේ අවධාරණය කොට ඇත. ‍එසේම 1920 දී ගෙන එනු ලැබූ ඉන්දියානු පනත මගින් වයස අවුරුදු 7 ත් 15 ත් අතර ස්වදේශීය දරුවන් ඉන්දියානු නේවාසික පාසල්වලට පැමිණීම අනිවාර්ය කිරීමට කටයුතු කිරීමත් සමග මෙම පාසල් ක්‍රමයෙන් ගැළවීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලැබී නොමැත.

රාජ්‍ය අනුග්‍රහයත් සමග ඉන්දියානු නේවාසික පාසල් පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වී ඇති අතර The Indian Residential School Settlement Agreement (IRSSA) වාර්තාවල සඳහන් දත්තයන්ට අනුව කැනඩාව පුරා ඉන්දියානු නේවාසික පාසල් 139 ක් ක්‍රියාත්මක වී ඇත. එම වාර්තාවලට හසු නොවී පල්ලි මගින් පමණක් පාලනය වූ තවත් පාසල් ගණනාවක්ද මීට අමතරව රට තුළ තිබී ඇති බව IRSSA පවසයි. 1931 වර්ෂය වන විට කැනඩාවේ ඉන්දියානු නේවාසික පාසල් පද්ධති ක්‍රමය බෙහෙවින් ප්‍රචලිත වී ඇති අතර එම අවස්ථාව වන විට මෙරට තුළ පාසල් 80 ක් ක්‍රියාත්මක වී ඇත.

නමුත් 1970 දශකය ආරම්භයේ පටන් කැනඩාව තුළ මෙම නේවාසික පාසල් ක්‍රමය කෙමෙන් පිරිහීමට ලක් වීමට පටන්ගෙන ඇත. ක්‍රම ක්‍රමයෙන් පාසල් වැසී යාමට පටන් ගැණුනු අතර Saskatchewan පළාතේ Punnichy ප්‍රදේශයේ පිහිටි අවසාන පාසල 1996 දී වසා දැමීමට කටයුතු කොට තිබුණි. Gordon’s Indian Residential School නම් මෙම පාසල 1876 දී ඇන්ගලිකන් පල්ලිය විසින් ආරම්භ කර පසුව 1969 සිට කැනේඩියානු ෆෙඩරල් රජය යටතේ පාසලේ පරිපාලනය ගෙන ගොස් ඇත.

සමූහ මිනී වළ හමු වූ Kamloops Indian Residential පාසල 1890 සිට 1969 දක්වා කතෝලික පල්ලියේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වී ඇති අතර පසුව එය ෆෙඩරල් රජය හා එක්ව පාලනය කොට ඇත. මෙම පාසල් භූමියෙන් දරුවන්ගේ සමූහ මිනී වළ පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග නේවාසික පාසල් පද්ධති ක්‍රමය තුළ සිදුව ඇති අකටයුතුකම් සම්බන්ධයෙන් Anglican සහ United Churches වැනි පල්ලි විධිමත් ලෙස සමාව ඉල්ලා තිබුණද මේ වන තෙක් කතෝලික සභාව එය ප්‍රතික්ෂේප කර ඇත.

කැනඩාවේ නේවාසික පාසල්වල තිබූ දුර්දාන්ත පාලන ක්‍රමය පිළිබඳව කලෙක සිට විවිධ වාද විවාද පැවති අතර ඒ පිළිබඳව කතෝලිකයන්ගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන වතිකානුවද වරින් වර අදහස් දක්වා තිබුණි . ඒ අතරින් 2009 සහ 2018 වර්ෂවලදී පාප් වහන්සේලා දෙදෙනෙකු කැනඩාවේ ඉන්දියානු නේවාසික පාසල් ගැන දැක්වූ අදහස් විශේෂයෙන් සඳහන් කළ හැක.

2009 දී First Nations නායක Phil Fontaine සමග ආදිවාසී වැඩිහිටියන් සහ නේවාසික පාසල්වලට ගොස් දිවි ගලවාගත් පිරිසක්  XVI වෙනි බෙනඩික්ට් පාප් තුමා හා සිදුකළ පෞද්ගලිකව හමුවකදී, නේවාසික පාසල්වලට ගිය ආදිවාසී සිසුන් මුහුණ දුන් අපයෝජන සහ පල්ලියේ ඇතැම් සාමාජිකයින්ගේ ‘නින්දිත’ සැලකීම් පිළිබඳව බෙනඩික්ට් පාප් තුමා ශෝකය පළ කොට තිබුණි. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව පවසා තිබුණේ, පල්ලියේ ඇතැම් සාමාජිකයන් නිසා කටුක වේදනා විඳි පාර්ශ්වයන් වෙනුවෙන් පාප් වහන්සේ අනුකම්පාව සහ යාඥාවන්ගෙන් සහයෝගය ලබා දුන් බවයි. කැනේඩියානු කතෝලික පල්ලියේ නියෝජිතයන්ද මේ හමුවට සහභාගි වී සිටි අතර සමාජයේ අයුතු ක්‍රියා ඉවසිය නොහැකි බව පාප් වහන්සේ එහිදී අවධාරණය කොට තිබුණි.

කැනඩාවේ නේවාසික පාසල් තුළ කතෝලික පල්ලියේ ක්‍රියාකලාපය ගැන සමාව ඉල්ලන ලෙස 2017 වසරේදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලීමක් කර තිබුණු අතර 2018 වසරේදී  උන්වහන්සේ පවසා තිබුණේ නේවාසික පාසල්වල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහුට පෞද්ගලිකව ප්‍රතිචාර දැක්විය නොහැකි බවයි. 2018 වසරේ පැවති කතෝලික රදගුරු කැනේඩියානු සමුළුවේදී ෆ්‍රැන්සිස් පාප් තුමා මේ ප්‍රකාශය කර තිබුණු අතර එතුමාගේ එම අදහස පිළිබඳව කැනේඩියානු කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ලිපියක් නිකුත් කරමින් පවසා තිබුණේ, ලොව පුරා ආදිවාසීන් මුහුණ දෙන අසාධාරණයන් හඳුනා ගැනීමට පාප් වහන්සේ පසුබට නොවන මුත් කැනඩාවේ නේවාසික පාසල් සම්බන්ධයෙන් එතුමාට පෞද්ගලිකව සමාව ගත නොහැකි බවයි. කැනඩාවේ නේවාසික පාසල්වල කතෝලික පල්ලියේ ක්‍රියාකලාපය සහ ඔවුන් විසින් පාලනය කළ එම පාසල්වල සිසුන් අත්විඳි කම්පනය ගැන පාප් තුමා සමාව නොගැනීමට ගත් තීරණය ගැන තමා අතිශයින් කලකිරීමට පත් වූ බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැති ජස්ටින් ටෘඩෝ පවසා තිබුණි.

Kamloops පාසලේ සමූහ මිනී වළ හමුවීමෙන් පසු වතිකානුව කැනඩාවේ නේවාසික පාසල් සම්බන්ධයෙන් පළ කරන අදහස් සම්බන්ධයෙන් නැවතත් කතාබහ මතු විය. එම පාසල් තුළ කතෝලික පල්ලිය විසින් සිදුකරන ලද සිදුවීම් පිළිගෙන ඊට සමාව නොගැනීම ගැන අගමැති ටෘඩෝ පසුගිය ජූනි 04 දා නැවත වරක් අදහස් පළ කොට තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ, කතෝලික පල්ලිය මේ සිදුවීම් සම්බන්ධයෙන් දැන් සහ පසුගිය වසර ගණනාව පුරා ගෙන යන ස්ථාවරය ගැන තමා දැඩි සේ කලකිරී සිටින බවයි. කතෝලිකයකු වන තමා මෙන්ම කැනඩාවේ බොහෝ කතෝලිකයන් Kamloops සිදුවීම ගැන කැනඩාවේ කතෝලික පල්ලියේ නිශ්ශබ්දවතාව ගැන මවිතයට පත්ව සිටින බව අගමැතිවරයා එහිදී පවසා තිබුණි. දැන්වත් කතෝලික පල්ලිය නැගී සිටිමින් නේවාසික පාසල් තුළ පැවති තත්ත්වයන් පිළිබඳ වගකීම භාරගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් අගතියට පත් පාර්ශ්වයන්ගේ සිත් සුවපත් කිරීමට එය ඉතා වැදගත් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණි.  

කැනඩා අගමැතිවරයාගේ එම ප්‍රකාශයෙන් දින දෙකකට පසු ජූනි 06 වෙනි ඉරිදා St. Peter’s චතුරශ්‍රයේදී වන්දනාකරුවන් සහ සංචාරකයින් හමුවේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ Kamloops සිදුවීම ගැන ප්‍රකාශයක් කොට තිබුණි. කතෝලික පල්ලිය විසින් පවත්වාගෙන යනු ලැබූ පැරණි නේවාසික පාසලක භූමියකින් ළමුන් 215 දෙනෙකුගේ දේහයන් සොයා ගැනීමේ සිදුවීම තමාට මහත් වේදනාවක් ගෙන දුන් බව එහිදී එතුමා පවසා තිබුණි. මෙම කණගාටුදායක සොයාගැනීම අතීතයේ සිදුවූ වේදනාබර තාඩන පීඩන ගැන දැනුවත් වීමට තවදුරටත් අවකාශය සලසන බවත් එම දුක්ඛිත කතාව වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා කැනඩාවේ දේශපාලන හා ආගමික බලධාරීන් අඛණ්ඩ සහයෝගයෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කොට නිහතමානීව සුව වීමේ මාවතකට කැප වෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම ප්‍රකාශයේදී සඳහන් කර තිබුණි. එසේම උන්වහන්සේගේ නිල ට්විටර් පිටුවේද මේ සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කොට තිබුණි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිකුත් කර ඇති මේ සියලුම ප්‍රකාශ සුව කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ බවත් කැනඩාවේ නේවාසික පාසල් පාලන ක්‍රමය ගැන සමාව ඉල්ලීමක් එම ප්‍රකාශවල ගැබ්ව නොතිබෙන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආදිවාසී ජන ප්‍රධානීන් පවසා සිටී.  

කෙසේ වුවත් ඉන්දියානු නේවාසික පාසල්වල සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් කැනඩාවේ තනි කතෝලික පල්ලි ගණනාවක් ආදිවාසී ජනතාවගෙන් සමාව ඉල්ලීමට පසුබට වී නොතිබුණු බව කිව යුතුව ඇත. Kamloops පාසලේ සමූහ මිනී වළ හමුවීමට පෙරත් ඉන්පසුවත් එම පල්ලි විසින් අතීතයේ තම ආයතන විසින් පවත්වාගෙන ගිය පාසල් ක්‍රමය තුළ පීඩාවට පත්වූවන්ගෙන් සමාව ඉල්ලා තිබුණි.

ඒ අඳුරු භීෂණ යුගයේ වැළලුණු අසරණයින් 215 දෙනා වෙනුවෙන් මේ දිනවල කැනඩාවේ සියලුම පළාත්වල විවිධ ආකාරයේ ශෝකය පළකිරීම් හා ගෞරව ස්මරණ උත්සව සිදුකරමින් පවතී. එම දරුවන් 215 දෙනාට ගෞරවය පුද කිරීම පිණිස ෆෙඩරල් රජයේ සියලුම ගොඩනැගිලිවල ජාතික ධජය අඩ කුඹ කරන ලෙස කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පසුගියදා පවසා තිබුණි. එම දරුවන් වෙනුවෙන් රජයේ පමණක් නොව සියලුම ස්ථානවල ඔසවා තිබූ ජාතික ධජ හා පළාත් ධජ අඩ කුඹ වූ අතර සතියකට අධික කාලයක් ගත වීත් තවමත් එම කොඩි පූර්ණ ලෙස ඉහළට එසවී නොමැත. කැනඩාවේ මුල් පදිංචිකරුවන්ගේ දරුවන් 215 දෙනෙකුගේ දේහයන් මෙසේ සමූහ මිනී වළකින් සොයාගැනීම සාමකාමී කැනේඩියානුවන් මහත් සේ කම්පනයට පත් කළ සිදුවීමක් බවට පත් වී ඇති බව මාධ්‍ය ඔස්සේ ඔවුන් දක්වන අදහස්වලින් පෙනී යයි.

මෙම දරුවන් අයත් ජන කොට්ඨාශ මෙන්ම අනෙකුත් කැනේඩියානුවන් මේ පිළිබඳව විවිධ අදහස් පළකර ඇති අතර නේවාසික පාසල් ක්‍රමය කැනඩාවෙහි ස්ථාපිත කිරීමට මූලික වූ එකල සිටි දේශපාලනඥයන් සහ කතෝලික පල්ලිය ඔවුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී ඇත. ඇතැම් කණ්ඩායම් එම නායකයින් ඇතුළු පිරිස්වලට විරෝධය පළ කරන බැනර් රැගත් පෙළපාලි සංවිධානය කොට පැවැත්වූ අතර එසේ පැමිණි විරෝධතාකරුවන් පිරිසක් විසින් ටොරොන්ටෝ Ryerson විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර  තිබූ Egerton Ryerson ගේ පිළිරුව බිමට ඇද දැමීමට කටයුතු කොට තිබුණි. Egerton Ryerson කැනඩාවේ රජයේ සහ නේවාසික පාසල් පද්ධති ආරම්භ කිරීම සඳහා දායකත්වය සැපයූවකු ලෙස ගෞරවය හිමිකරගෙන සිටි අතර Ryerson විශ්වවිද්‍යාලය නම් කර ඇත්තේද ඔහුගේ නමිනි. නේවාසික පාසල් සිදුවීමත් සමග Ryerson විශ්වවිද්‍යාලයේ නම වෙනස් කරන ලෙස විරෝධතාකරුවන් දිගින් දිගටම විශ්වවිද්‍යාලය අසළ උද්ඝෝෂණය කරමින් සිට ඉන්පසුව Egerton Ryerson ගේ පිළිරුව පහතට ඇද දමා තිබුණි. බිම හෙළන ලද Egerton Ryerson පිළිරුව නැවත ප්‍රතිස්ථාපනය කිරීමට අදහස් නොකරන බව රයර්සන් විශ්වවිද්‍යාලයේ සභාපතිවරයා මේ සම්බන්ධව ප්‍රකාශ කොට ඇත.

තම ජන ප්‍රජාවගේ දරුවන්ට අතීතයේ සිදුවූ අකටයුතුකම් හෙළා දකිමින් කැනේඩියානුවන් දක්වන සහයෝගය පිළිබඳව බ්‍රිටිෂ් කොළොම්බියානු ස්වදේශීය මුල් පදිංචිකරුවන් පවසා ඇත්තේ, මේ කිසිදු දෙයකින් තමන්ගෙන් වියෝ වූ ආදරණීයයන් නැවත නොපැමිණියයත් ඔවුන් වෙනුවෙන් රටේ ජනතාව හෙළන කඳුළුවලට තම ප්‍රජාව ගෞරව පූර්වකව ස්තුති කරන බවයි. අකාලයේ මිය ගිය මේ දරුවන්ට සිදුවූයේ කුමක්ද, ඔවුන් කාගේ කවුද යන කරුණු හෙළිදරව් කර ගැනීමට අදාළ සියලුම දෙනාගේ සහයෝගය මෙහිදී ඔවුහු බලාපොරොත්තු වෙති. එසේම මෙම දරුවන් 215 දෙනා මෙන් අතුරුදහන් වී සිටින දහස් ගණනක් වූ දරුවන්ටද සිදුවී ඇත්තේ කුමක්දැයි හෙළිදරව් කොට දශක ගණනාවක් පුරා ඔවුන් වෙනුවෙන් කඳුළු සලන ඥාතීන් හට සාධාරණ යුක්තිය ඉෂ්ට කරන ලෙස කැනඩාවේ රජයෙන් සියලුම ස්වදේශීය ආදිවාසී ජන ප්‍රජාවන් ඉල්ලා සිටී. සැබවින්ම ළතෙත් හදවත් ඇති සමස්ත කැනේඩියානුවන්ගේ එකම අදහසද එම දරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බවයි.

චමරි අබේසිංහ

(සේයා රූ සටහන් අන්තර්ජාලයෙනි)

Share this Post