ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් මෙසේ ගෙන එමු.

Flu එන්නතේ ඉතිහාසය

සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆ්ලූ ෂොට් ලෙස හැඳින්වෙන ඉන්ෆ්ලූවන්සා එන්නතේ (influenza vaccine) ඉතිහාසය 20 වන ශත වර්ෂයේ මුල් කාලය තෙක් දිව යයි.

ඉන්ෆ්ලූවන්සා රෝගය මුලින්ම සොයාගෙන ඇත්තේ සත්ව රෝග අධ්‍යයනයකිනි. එනම්, ඌරු ගොවිපොළක ඌරන්ට තිබූ රෝගී ස්වභාවයක් අධ්‍යයනය කිරීමෙනි. 1918 දී හෙළි වූ මෙම රෝගය පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීමේදී එවැනිම වූ රෝග ලක්ෂණ ස්පාඤ්ඤ උණ රෝගය (Spanish flu) වැළඳුණු මිනිස් රෝගීන් තුළද පවතින බව හෙළිදරව් වී ඇත. එකල ස්පාඤ්ඤ උණ රෝගය වසංගතයක් ලෙස මිනිසුන් අතර පැතිර ගියද ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොතිබුණු නිසා බොහෝ දෙනෙකුට මරු වැළඳ ගැනීමට සිදු වුණි. උණ රෝගය සඳහා භාවිත කරනු ලබන සාම්ප්‍රදායික ක්‍රම ඇතුළුව නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරුන් විසින් මේ රෝගීන් සඳහා අත්හදා බලමින් ප්‍රතිකාර කළද ඒ කිසිදු දෙයක විශාල ප්‍රගතියක් පෙන්වා නොතිබුණි. එහෙත් අධෛර්්‍යමත් නොවූ පර්යේෂණ විශේෂඥයින් මේ රෝගය මැඩ පැවැත්වීම සඳහා තව තවත් අලුත් ක්‍රම අධ්‍යයනය කළ අතර එක් වරෙක යොදාගත්තේ -විෂෙන් විෂ නැසීමේ- ක්‍රමවේදයයි. එනම්, ඉන්ෆ්ලුවන්සා වැළඳී සුව වූ රෝගීන්ගෙන් ලබාගත් රුධිරය අලුතින් රෝගය වැළඳුණු රෝගීන් වෙත ලබාදීමයි. මෙම ක්‍රමයෙහි කිසියම් සාර්ථකත්වයක ඉඟි දක්නට ලැබුණු නිසා එතැන් සිට ඒ ඔස්සේ පර්යේෂණ පැවැත් වූ විද්‍යාඥ කණ්ඩායම් ඉන්ෆ්ලූවන්සා රෝගය මැඩලීම සඳහා එන්නතක් සොයාගැනීමට වෙහෙසුණි.

විද්‍යාඥවරු කීප දෙනෙකු විසින්ම දීර්ඝ කාලයක් පුරා සිදුකළ එම පර්යේෂණවල ප්‍රතිඵලයක් යම් තරමකට හෝ ලබාගැනීමට හැකි වූයේ 1931-33 වසරවලදීය. එහෙත් එම එන්නත් මිනිසුන් කෙරෙහි අත්හදා නොබැලු අතර සත්වයින් වෙත ලබාදීම සිදුකර තිබුණි. ඉන්ෆ්ලූවන්සා රෝගය සඳහා සොයාගත් එන්නතක් මිනිසුන් කෙරෙහි අත්හදා බැලිය හැකි ලෙස වැඩිදියුණු කර ඇත්තේ 1938 දීය. Jonas Salk සහ Thomas Francis නමැති විද්‍යාඥයින් දෙදෙනාය. මෙම එන්නතෙහි පළමු මිනිස් භාවිතය දෙවන ලෝක සංග්‍රාමයේ යුද වැදුණු ඇමරිකානු මිලිටරි සෙබළුන් සඳහා සිදුකර ඇති අතර ඇමරිකානු යුද කඳවුරු තුළ දරුණු ලෙස පැතිර ගිය ඉන්ෆ්ලූවන්සා රෝගය මැඩ පැවැත්වීම සඳහා යම් සහනයක් ලබාගැනීමට එයින් හැකි වී ඇත. ඉන්පසුව කලින් කලට මිනිසුන් වෙත වැළඳුණු ඉන්ෆ්ලූවන්සා වෛරසවල ස්වභාවයට අනුව මෙම එන්නත වැඩිදියුණු කිරීමත්, යාවත්කාලීන කරලීමත් සිදුකොට ඇත.

වර්තමානයේදී ෆ්ලූ ෂොට් යනුවෙන් ලබාදෙන එන්නත් ඒ ඒ කාලවලදී වැඩියෙන්ම දක්නට ලැඛෙන ඉන්ෆ්ලූවන්සා වෛරසයට ගැළපෙන ආකාරයට සකසනු ලබති.

 

 

කැනඩාවේ FLU SHOT

නොවැම්බර් සිට මාර්තු දක්වා දිවෙන කාලය කැනඩාව තුළ උණ වසංගතය (Flu) බහුලව පැතිරෙන කාලයයි. මෙයිනුත් දෙසැම්බර් අග භාගය ඉන්ෆ්ලූවන්සා වැඩියෙන්ම හිස ඔසවන කාලය ලෙස වාර්තාගත සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි.

මෙම තත්ත්වය යම් පමණකට හෝ පාලනය කර ගැනීම සඳහා කැනඩාවේ සෞඛ්‍ය අංශ සෑම වසරකදීම දැඩි පරීශ්‍රමයක් දරන අතර ඒ වෙනුවෙන් විවිධ වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කරයි. ඒ අතරින් seasonal flu vaccination ව්‍යාපෘතිය ප්‍රධාන ස්ථානයක් ගනී. මෙහිදී වයස මාස 6 ක ළදරුවාගේ පටන් සියලුම වයස් කාණ්ඩවලට අයත් පිරිසට  නොමිලේම ෆ්ලූ වැක්සීනය ලබා ගැනීමට රට පුරා ඇති වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි හා විශේෂ සායන මගින් පහසුකම් සලස්වා ඇත.

ෆ්ලූ එන්නත ශරීරගත කොට සති දෙකක පමණ කාලයකින් එහි ක්‍රියාකාරිත්වය ඇරඹෙයි. එන්නත ලබාගැනීමෙන් සති දෙකකට පමණ පසු ශරීරය තුළ ප්‍රතිදේහ(antibodies) වර්ධනය වීම ආරම්භ වන අතර මෙම ප්‍රතිදේහ අප ශරීරයට ඇතුළුවන වෛරස් සමග සටන් කොට අප වෙත ආරක්ෂාවක් ලබා දේ. සෑම වසරකම නොවැම්බර් මාසයේදී මෙම එන්නත ලබා දීම ආරම්භ කෙරෙන අතර රට පුරා වෛරස උණ පැතිරෙන කාලය ආරම්භ වන විට එන්නතෙහි ක්‍රියාකාරිත්වයද වර්ධනය වී ශරීරයට ප්‍රතිශක්තිකරණය ලබාගැනීමට අවස්ථාව සැලසේ.

“ෆ්ලු ෂොට් එක අරගෙනත් මට හොඳටම උණ හැදුනනෙ” බොහෝ දෙනෙකු මෙසේ මැසිවිලි නගනු අප කොතෙකුත් අසා ඇත. එන්නත ලබාගැනීමෙන් පසුව මෙසේ ලෙඩ වූ ඇතැම් පිරිස් එන්නත කෙරෙහි ඇති විශ්වාසය පළුදු කොට ගනිමින් ඉන්පසු වසරවලදී එන්නත නොගෙන සිටින අවස්ථාද කෙතෙකුත් අප දැක ඇත. සැබවින්ම ශීත කාලයත් සමග වැළෙඳන උණ හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් මෙම එන්නත ලබාගැනීමෙන් පසු සම්පූර්ණයෙන්ම පාලනය වී එම රෝග අප වෙත නොසෑදෙන්නේ යැයි මතයක සිටී නම් එය මුලාවකි. මෙම එන්නත මගින් සිදුවන්නේ අපට වැළෙඳන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා, උණ රෝගී තත්ත්වයන් වැළැක්වීම නොවන බව අප දැන සිටිය යුතුය. මෙය ගැනීමෙන් නියුමෝනියා තත්ත්වයන් වැනි අසාද්‍ය හා මාරාන්තික තත්ත්වයන්ට ගොදුරු නොවී යම් තරමකට ආරක්ෂා වීමක් අප වෙත සැලසේ.  එසේ හෙයින් එන්නත ගත්තා යැයි කියා ඔබ සෞඛ්‍ය පිළිබඳව කිසිදු පරිස්සමක් නොමැතිව කටයුතු කරනවා නම් උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් ගැළවී සිටිය නොහැක. මෙහිදී පරිස්සම් වීම යනු, ශීතල දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට ඇඳ පැළඳ සිටීම, බැහැරක ගොස් පැමිණි විට අත් සෝදා ගැනීම, වෛරස ආසාදිත පුද්ගලයින් හා ගැවසීම අවම කිරීම ආදි කටයුතු වේ.

සෑම වසරකම කැනඩාවේ උණ සමය (Canadian flu season) ලෙස ප්‍රචලිත නොවැම්බර් – මාර්තු කාල සීමාව තුළ මෙරට වැසියන් අතරින් සියයට 10 සිට සියයට 20 දක්වා වූ ප්‍රතිශතයක් ඉන්ෆ්ලූවන්සා රෝගයට (මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය නොවන බව මතක තබාගන්න) ගොදුරු වන බව සෞඛ්‍ය දත්ත වාර්තා පෙන්නුම් කරයි. එයින් සැලකිය යුතු පිරිසකට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවන අතර එසේ රෝගී වන පිරිස අතරින් ඇතැමෙකුට සිය දිවියෙන් සමුගැනීමට සිදුවන බවද එහි දැක්වේ.

අප ඉහත දැක්වූ ආකාරයට ඉන්ෆ්ලූවන්සා ආසාදනය ඍතුවෙන් ඍතුවට වෙනස් වන අතර එම වෛරසයේ ස්වභාවය අනුව මිනිසුන් වෙත ගෙන එන බලපෑමද අඩු වැඩි  වේ. කෙතරම් නිරෝගී පුද්ගලයෙකුට වුවත් ඉන්ෆ්ලූවන්සා රෝගී තත්ත්වයන් හටගත හැකි අතර ඔවුන්ගෙන් එය බොහෝ දෙනෙකු වෙත පැතිර යා හැකිය. ෆ්ලූ එන්නත ලබාගැනීම තුළින් එම තත්ත්වය අඩුකර ගැනීමට පහසුවෙන් අවස්ථාව සැලසේ.

එසේම මිනිස් සිරුරට මාරාන්තික බලපෑම් එල්ල කළ හැකි ඉන්ෆ්ලූවන්සා තත්ත්ව කිහිපයක් සඳහාම මෙම එන්නත මගින් ආරක්ෂාව සැලසේ. ඉන්ෆ්ලූවන්සා A  (H1N1) , ඉන්ෆ්ලූවන්සා A (H3N2) ඉන්ෆ්ලූවන්සා B මගින් වැළෙඳන ආසාදන තත්ත්වයන් මෙම එන්නත මගින් මර්ධනය කිරීම සිදුවේ.

විශේෂයෙන්ම ළදරුවන්, ගර්භනී මවුවරුන් සහ වැඩිහිටියන් ඉන්ෆ්ලූවන්සා රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමත් සමග වැඩි අවදානමක් පෙන්වන නිසා වෛද්‍ය උපදෙස් මත ඔවුන් ෆ්ලූ එන්නත ලබාගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. එසේම හෘදය, පෙණහලූ, වකුගඩු, අක්මාව සහ රුධිරයේ නිදන්ගත රෝග තත්ත්වයන් සහිත ඕනෑම වයසක පසුවන පුද්ගලයින් සහ දියවැඩියාව, පිළිකා සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂ සහිත පුද්ගලයින් සෑම වසරකම මෙම ෆ්ලූ එන්නත ගැනීම ඉතාමත් සුදුසු බව වෛද්‍ය නිර්දේශයයි.

ඉතාමත් පහසුවෙන් බෝ වන රෝග කාණ්ඩයට අයත් වූවක් වන ඉන්ෆ්ලූවන්සා රෝගය මහජනතාව වෙත පැතිර යාම අවම කිරීම සඳහා පහත සඳහන්  විශේෂිත පුද්ගලයින්ද වසරක් පාසා මෙම එන්නත ලබා ගැනීම වඩාත් සුදුසු වේ. සෞඛ්‍ය-වෛද්‍ය ක්ෂේත්‍රවල රැකියා කරන්නන්, ගුරු වෘත්තියේ නිරතව සිටින්නන්, වැඩිහිටියන් සඳහා වන ආයතනවල සේවය කරන පුද්ගලයින්, ඍජුවම මහජනතාව සමග සම්බන්ධ වෙමින් අත්‍යවශ්‍ය සේවා සපයන ප්‍රජා සේවකයින්, අවදානමට ලක් විය හැකි රෝගීන් සිටින නිවෙස්වල පුද්ගලයින් ආදි ලෙසයි.

ෆ්ලූ එන්නත සම්බන්ධයෙන් මිථ්‍යා මත රැසක් ගොඩ නැගී ඇති අතර මේ ඇතැම් කරුණු ඔබත් මින් පෙර අසා ඇතිවා විය හැකියි.

“ෆ්ලූ එන්නත ගත්ත ගමන් උණ හැදුණා.” මෙය බොහෝ දෙනෙකු පවසන්නකි. එහෙත් එහි සත්‍යතාවක් නොමැති බව වෛද්‍යවරුන්ගේ මතයයි. වැක්සීනය ලබා ගැනීමෙන් පසු උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු බව පවසන බොහෝ දෙනෙකු පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන් තුළ උණ, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් එන්නත ගන්නා අවස්ථාවේදීද පැවතී ඇති බවයි. මෙම එන්නත ලබාදෙන කාල සීමාව Fall allergies සමග එන සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්ත්වයන්ද බහුලව පැතිරෙන කාලයක් නිසා බොහෝ දෙනෙකු එන්නත ගැනීමෙන් පසු එයින් ඇතිවූ සංකුලතාවන් මත රෝගී වූ බව වරදවා වටහා ගනී. එන්නත ලබාගැනීමේදී එම විදීම සිදුකළ තැන සියුම් වේදනාවක් සහ ඇතැම් අයට ශරීරයෙහි උණ ගැනෙන විට දැනෙන කෙඩෙත්තු ගතිය වැනි අපහසුතාවක් ඇතිවිය හැක. මෙම තත්ත්වයන් පැය 24 ක් වැනි සුළු කාලයක් තුළ සම්පූර්ණයෙන්ම පහව යන අතර බහුතරයකට කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවේ.

“අපි තරුණයි. ශක්තිමත්. සෞඛ්‍ය සම්පන්නයි. ෆ්ලූ ෂොට් මොකටද?” මෙයත් බොහෝ දෙනෙකු තුළ පවතින වැරදි මතයකි. ඔව්…. නිරෝගී තරුණ පුද්ගලයන් හට ඉන්ෆ්ලූවන්සා රෝගී තත්ත්වයන් හා සටන් කිරීමේ ශක්තිය මහලූ හා රෝගී පුද්ගලයන්ට වඩා වැඩි බව සත්‍යයකි. එහෙත් රෝගයක ස්වභාවය දරුණු වීමට තරුණ බව හා සෞඛ්‍ය සම්පන්න බව සෑම විටෙකම සාධකයක් නොවිය හැකියි. එසේම මෙවැනි රෝගයක් තරුණ ඔබට වැළඳුනහොත් ඔබගේ ශක්තිසම්පන්න බව නිසා එයින් මිදීමට ඔබට හැකිවුවත් ඔබ අවට සිටින ළමා, වැඩිහිටි, රෝගී, දුර්වල පුද්ගලයින්ට එම රෝගය පැතිර යා හැකියි. එම නිසා ඔබ ගැන මෙන්ම ඔබ අවට සිටින අය ගැනද අවධානය යොමු කොට එන්නත ලබාගැනීමට යොමුවීම සුදුසු වේ. එපමණක් නොව, ඉන්ෆ්ලූවන්සා රෝගයට ගොදුරු වන තරුණ සහ නිරෝගී පුද්ගලයින් අතරින් සියයට 20 ත් 30 ත් අතර ප්‍රතිශතයක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් දුර්වල පුද්ගලයින් වෙත රෝගය ගෙන යන වාහකයන් ලෙස ක්‍රියා කරන බව සොයාගෙන ඇත.

“ෆ්ලූ ෂොට් එක ගිය අවුරුද්දෙ ගත්තනෙ. මේ සැරේ ඕන නෑ” බොහෝ ප්‍රතිශක්තිකරණ එන්නත් ජීවිත කාලයටම එක වරක් හෝ වසර ගණනාවකට සැරයක් හෝ ගනු ලබන නිසා ෆ්ලූ වැක්සිනයත් එසේ ගත හැකි යැයි සිතීම වැරදි වැටහීමකි. ඉන්ෆ්ලූවන්සා වෛරසය ඒකාකාරී ලෙස පවතින්නක් නොවන අතර එහි ස්වභාවය කාලෙන් කාලයට වෙනස් වේ. ඒ අනුව එම කාල සීමාව තුළ වඩාත් බලපෑමක් ඇති කළ හැකි වෛරසයට අදාළ ලෙස එන්නත නිපදවීම සිදුකෙරේ. ඒ අනුව මෙම එන්නතද වසරින් වසර වෙනස් වේ. එම නිසා ඔබ පසුගිය වසරේ ලබාගත් එන්නත මගින් මේ වසරේ සෑදෙන වෛරස ආසාදනවලින් ආරක්ෂාවක් සලසා ගැනීමට ඔබට හැකියාවක් නොමැත.

‘ෆ්ලූ ෂොට් මොනාටද? උණ හැදුණොත් ප්‍රතිජීවක ඖෂධයක් (antibiotics) ගන්නවා.” මේ ඇතැම් අය සිතන විදියයි. මෙහිදී අප මතක තබාගත යුතු ප්‍රධාන කරුණ වන්නේ ප්‍රතිජීවක ඖෂධ සටන් වදින්නේ බැක්ටීරියා ආසාදන සමග පමණක් බවයි. වෛරස හේතුවෙන් හටගන්නා උණ රෝගවලට කිසිදු බලපෑමක් කිරීමේ හයියක් ඇන්ටිබයොටික්වලට නොමැත. රෝගයේ ස්වභාවය වරදවා තේරුම් ගෙන ප්‍රතිජීවක ගැනීමෙන් භයානක අවධානමකට වුවත් ඔබ ගොදුරු විය හැක. එම නිසා උණ සමයෙහි හටගන්නා ඉන්ෆ්ලූවන්සා රෝගය සඳහා ප්‍රබලම සටන් කරුවා වන්නේ ෆ්ලූ එන්නතයි.

“හෙම්බිරිස්සාව නිසා ෆ්ලූ ෂොට් ගත්තෙ නෑ”වෛද්‍යවරුන් පවසන ආකාරයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට ෆ්ලූ ෂොට් එක ගැනීමෙන් ඔබට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් යම් ආකාරයකින් ඔබට උණ රෝගය වැළඳී ඇත්නම් (99.5°F  වැඩි උෂ්ණත්වයක්) පෙන්නුම් කරයි නම් එම තත්ත්වය සුව වන තුරු ෆ්ලූ එන්නත ගැනීමෙන් වැළකී සිටීම සුදුසු වේ. ෆ්ලූ එන්නත ලබාගැනීමට සූදානම් වන අවස්ථාව වන විට ඔබ කුමන හෝ ආකාරයක රෝගී තත්ත්වයකින් පෙළේ නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කොට එහි යෝග්‍යතාව අනුව කටයුතු කරන්න.

((ෆ්ලූ එන්නත ගැනීමේදී ඇතැම් පුද්ගලයන්ට එය අසාත්මික වන අවස්ථා පවතින නිසා ප්‍රථම වරට ෆ්ලූ එන්නත ලබාගන්නා අය ඒ පිළිබඳව වෛද්‍යවරයකු සමග සාකච්ඡා කිරීම සුදුසු වේ. විශේෂයෙන්ම බිත්තර සඳහා අසාත්මිකතා පෙන්වන පිරිස ෆ්ලූ එන්නත ගැනීමේදී විශේෂ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ එය ලබාගැනීම සුදුසු වේ. ෆ්ලූ එන්නත නිපදවීම සඳහා බිත්තර ප්‍රෝටීන මඳ වශයෙන් යොදාගැනීම නිසා ඇතැම් විට බිත්තර අසාත්මිකතා ඇති අය තුළ එම තත්ත්වයන් මතුවිය හැක. එසේම මේ වන විට බිත්තර ප්‍රෝටීන නොමැතිව නිපදවන ෆ්ලූ එන්නත් විශේෂයන් පවතින නිසා එබඳු අසාත්මිකතා ඇති අයට වෛද්‍යවරයා හා සාකච්ඡා කොට එවැනි එන්නතක් ලබාගත හැකිය. නමුත් මෙම බිත්තර ප්‍රෝටීන නොමැති එන්නත ළමුන් සඳහා භාවිත නොකරන අතර ආහාර හා ඖෂධ පාලන ආයතනය (FDA) විසින් එය අනුමත කර ඇත්තේ වයස අවුරුදු 18 න් ඉහළ පිරිස සඳහා පමණි.

සෑම වසරකම අදාළ කාල සීමාවේදී Flu Shot ලබාගැනීම මගින් කැනඩාවේ ප්‍රධාන බෝවන රෝග 10 අතර ඉහළින්ම පවතින ඉන්ෆ්ලූවන්සා ආසාදනයෙන් ඔබත් ආරක්ෂා වී ඔබේ නිවසිනුත් අවට සමාජයෙනුත් එම දරුණු රෝගය තුරන් කිරීමේ අවස්ථාවට ඔබට දායක විය හැක.

අන්තර්ජාලය ඇසුරිනි

චමරි අබේසිංහ   

Share this Post