[vc_row][vc_column][vc_column_text]සිරියානුවන් බහුතරයකට සරණාගත රැකවරණය ලබාදීමෙන් ගෝලීය ප්‍රශංසා රැල්ලක් ඔසවාගෙන සිටින ඔන්ටාරියෝනුවන් මේ වන විට ඉස්ලාම් භීතිකාවෙන් (Islamophobia) පෙළෙන බව ඒ පිළිබඳව වූ අධ්‍යයනයක් හෙළි කර සිටී.

පසුගිය වසර අග සිට කැනඩාවට ගලා ආ දහස් සංඛ්‍යාත වූ සිරියානු සරණාගතයින් අතරින් 12,000 ක පමණ පිරිසක් ඔන්ටේරියෝවේ ලැඟුම් ගැනීමත් සමග ඔන්ටෝරියෝ වාසීන් තුළ මෙම භීතිකාව හටගෙන ඇති බව ජනමත විමසීම් සඳහා කටයුතු කරන MARU/VCR&C නමැති සමාගම විසින් සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත.

මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන අන්දමට ඔන්ටාරියෝනුවන් අතර ඉස්ලාම් භීතිකාව මේ වන විට වසංගතයක් මෙන් පැතිර යමින් පවතී. ‘ඔන්ටාරියෝනුවන් තුනෙන් එකක පමණ පිරිසක් ආගමික  මතවාද කෙරෙහි ධනවාදී ආකල්පයක් දැරුවත් මෙහි ජීවත් වන්නන්ගෙන් අඩකටත් වැඩි පිරිසක් ආගම් තුළ ඇතිවෙමින් පවතින ප්‍රධාන ධාරාවේ මූලධර්ම ප්‍රචන්ඩත්වයේ  ප්‍රවර්ධනය කෙරෙහි බියෙන් පසුවෙති’.  පිටු 51 කින් යුත් එම වාර්තාවේ එක් ස්ථානයක එසේ සඳහන් වේ. මෙම මනෝභාවයන්, සිරියානු සරණාගතයින්ගේ කැනඩා ආගමනයත් ඉස්ලාම් අන්තවාදයේ මූලික පිළිගැනීම් සම්බන්ධයෙන් අද ලොව තුළ පවතින විවිධ මතවාදත් සමග එකට  සමපාත වීමෙන් වඩාත් දරුණු භීතිකා තත්ත්වයක් බවට පත්ව ඇති බව එම වාර්තාව පෙන්වා දේ.

මෙම තත්ත්වය ඔන්ටේරියෝවේ ඇතැම් පළාත්වල දැඩිව දක්නට ලැඛෙන අතර මුස්ලිම්වරුන්ද මෙයින් යම් තරමකට පීඩා විඳින බව එම සමීක්ෂණය පෙන්වා දේ. පසුගිය ජූනි මාසයේදී ඔන්ටේරියෝ ලන්ඩන්හි සුපිරි වෙළඳසලක් තුළදී හිජාබයෙන් සැරසුණු කාන්තාවකට සිදුකළ පහර දීමත්, වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට පැමිණි ඉරාන ජාතික සිසුවකුට පුද්ගලයන් දෙදෙනෙකු විසින් නැවත ඉරානයටම යන ලෙසට ගැරහුම් කරමින් පහර දීමත්, ජර්මනිය තුළ මුල් බැසගත් සංක්‍රමණික විරෝධී කණ්ඩායමක් ටොරොන්ටෝහිදී මුස්ලිම් විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වීමත් මේ සම්බන්ධයෙන් ඇති ආසන්නතම උදාහරණ වේ.

කැනඩාව පැමිණෙන සංක්‍රමණිකයන්ගෙන් මෙරට සමාජයට අගනා කාර්යයක් ඉටුවන බවටත් ඔවුන් කැනඩා සංස්කෘතික අනන්‍යතාවයේ වැදගත් කොටසක් බවටත් මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් බහුතර පිරිසක් පිළිගෙන ඇතත් හතරෙන් තුනක පමණ වූ පිරිසක් ඍජුවම පවසා ඇත්තේ මෙහි වෙසෙන ජනතාව රැක බලා ගැනීම පිණිස වැය කළ යුතු සම්පත් සරණාගතයින් වෙනුවෙන් වැය කිරීම සුදුසු නොවන්නක් බවයි.

මේ වන විට ඔන්ටේරියෝව තුළ වුවමනාවටත් වඩා සංක්‍රමණිකයන් සිටින බව සමීක්ෂණයට සහභාගි වූ පිරිස අතරින් සියයට 46 ක් පවසා ඇති අතර සියයට 45 ක් එම අදහසට ප්‍රතිවිරුද්ධව තම මතය පළකොට ඇත. අධික ලෙස සංක්‍රමණිකයන් ඔන්ටේරියෝව වෙත පිළිගැනීම ගැන විවිධ මට්ටමේ ජනතාව අතර නොයෙක් මතවාද පවතින අතර ග්‍රාමීය කලාපයේ ජීවත්වන බහුතරයක් දෙනා මේ පිළිබඳව හැඟීම් මත පදනම් වී තීරණ ගෙන සිටින බව වාර්තාව පෙන්වා දේ.

මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බහුතරයක් දෙනා පවසා ඇත්තේ, කැනඩාවේ පවතින ඉස්ලාම්, සික, ක්‍රිස්තියානි, හින්දු, යුදෙව් හා බෞද්ධ යන ප්‍රධාන ධාරාවේ ආගම් හය සමග සැසඳීමේදී ඉස්ලාම් අදහන්නන් අතර ප්‍රචණ්ඩත්වය වැඩියෙන් දක්නට ලැඛෙන බවයි. මුස්ලිම් සංක්‍රමණිකයන් අතර දක්නට ලැඛෙන ස්ත්‍රී පුරුෂ අසමානතාව වැනි බොහෝ දේ තුළින් ඔවුන්ගේ ආගමෙහි වෙනත් ආගම්වල දක්නට නොලැඛෙන වෙනස්කම් රාශියක් පවතින බව ඔන්ටාරියෝනුවන් හතරෙන් තුනක් පවසා ඇත.

මෙම සමීක්ෂණයේ සහභාගි වූ ඔන්ටාරියෝනුවන් අතරින් සියයට 53 ක්ම පවසා ඇත්තේ අපි අපේම සමාන වටිනාකම් සහිත රටවල සංක්‍රමණිකයන්ට පමණක් ඉඩ දිය යුතු බවයි. සියයට 74 ක් පවසා ඇත්තේ කුමන තරාතිරමේ සංක්‍රමණිකයෙක් මෙහි පැමිණියත් ඔවුන් කවුරුන්ද යන්න පිළිබඳව තදින්ම සොයා බැලිය යුතු බවයි. කෙසේ වෙතත් සීමාවක් නොමැතිව සංක්‍රමණිකයන් පිළිගැනීම අනුමත කළ නොහැකි බව බහුතරයක් ඔන්ටාරියෝනුවන්ගේ මතය වී ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Share this Post