කැනඩාව සහ යුරෝපා සංගමය අතර ‘නිදහස් වෙළඳ ගිවිසුම’ අත්සන් කිරීම ඛෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පසුගිය ඔක්තෝබර් 30 දා සිදුකරනු ලැබුණි. විස්තීර්ණ ආර්ථීක හා වෙළඳ ගිවිසුම – The Comprehensive Economic and Trade Agreement, (CETA) ලෙස නම් කර ඇති මෙම ගිවිසුම යුරෝපා සංගම් මූලස්ථානයේදී, කැනඩාවේ අගමැති ජස්ටින් ටෘෘඩෝ, යුරෝපා කවුන්සිලයේ ප්‍රධානි ඩොනල්ඩ් ටස්ක්, යුරෝපා කොමිසමේ ප්‍රධානි ජීන් ක්ලෝඩ් ජන්කර් යන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් අත්සන් කෙරුණි.

මේ වෙළඳ ගිවිසුමට පිවිසීම සම්බන්ධයෙන් කැනඩාව සහ යුරෝපා සංගමය අතර වසර 7 ක පමණ කාලයක් විවිධ සාකච්ඡා, කේවල් කිරීම් පැවති අතර ඒ සියල්ල නිමා කරමින් මේ ආකාරයෙන් ගිවිසුමට අත්සන් කිරීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් බව ආර්ථීක විශ්ලේෂකයෝ පවසා සිටිති.

කලාපයක් සහ රටක් අතර අත්සන් කෙරුණු මෙම යෝධ වෙළඳ ගිවිසුමට පක්ෂපාතී වූවෝ මෙන්ම ඊට විරෝධය දක්වන්නෝද රැසක් සිටිති. මේ පිළිබඳව අදහස් දක්වන පක්ෂපාතී පිරිස පවසන්නේ, CETA නිසා වෙළඳ කටයුතුවල විශාල වර්ධනයක් දැකිය හැකි වනු ඇති බවයි. විශේෂයෙන්ම කලාප හරහා සිදුකරන ගනුදෙනුවලදී තීරුබදු ඇතුළු බොහෝ ගාස්තුවල වෙනසක් සිදු කිරීමෙන් කෘෂිකාර්මික, ඖෂධ, මෝටර් රථ වැනි විවිධ අංශයන්හි පුළුල් දියුණුවක් දැක ගැනීමට ඔවුහු අපේක්ෂා කරති.

ඒ අතර මෙම ගිවිසුමට දැඩි විරෝධය දක්වන වෘත්තීය ක්‍රියාකාරීන් සහ ඇතැම් යුරෝපා රටවල වාමාංශික දේශපාලන පක්ෂ පවසන්නේ, මෙම ගිවිසුම මගින් පරිසරය, සෞඛ්‍යය, කම්කරු රෙගුලාසි ආදි බොහෝ අංශයන් තර්ජනයට ලක්වෙන ආකාරයට බහුජාතික සමාගම්වලට බලය ලබා දී ඇති බවයි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට මෙම ගිවිසුම උඩින් එකක් පෙන්වන යටින් වෙනමම දෙයක් ක්‍රියාත්මක කෙරෙන ට්‍රෝජන් අශ්වයෙකි. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර ඊට දැඩි විරෝධය පළ කළ මෙම විරුද්ධවාදීන් යුරෝපය පුරා උද්ඝෝෂණ රැසක් සංවිධානය කර තිබුණි.

ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජස්ටින් ටෘෘඩෝ අගමැතිවරයා පවසා ඇත්තේ,

කැනඩාවේ මෙන්ම ලෝක ආර්ථීකය තුළද යහපත් ආකාරයේ ප්‍රගතියක් CETA තුළින් ලබාගත හැකි බවට තමා තුළ විශ්වාසයක් පවතින බව ගිවිසුම පිළිබඳ අදහස් දක්වන ටෘෘඩෝ අගමැතිවරයාගේ අදහසයි. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් සඳහා ගිවිසුම තුළ වැඩි වාසි අත්වන බවද ඔහු පවසා සිටී.

කැනඩාවේ අන්තර්ජාතික වෙළඳ කටයුතු පිළිබඳ ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව කරුණු දැක්වීමේදී පවසා තිබුණේ “එය කැනඩාවට විශිෂ්ට දවසක්. යුරෝපයට විශිෂ්ට දවසක්” ලෙසයි.

Share this Post