ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් අත්විඳින රටවල එකතුවක් ලෙස BRICS සරලව අර්ථ දැක්විය හැක. තවත් ආකාරයකින් පැවසුවහොත් ලෝක බැංකුව, G-7 කණ්ඩායම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලය වැනි ප්‍රධාන බහුපාර්ශ්වික කණ්ඩායම් තුළ පවතින බටහිර ආධිපත්‍යයට විකල්පයක් ගොඩනැගීමට උත්සාහ දරමින් සිටින රටවල් එකමුතුවක් ලෙස BRICS හැඳින්විය හැක.

BRICS පිළිබඳ අදහස 2001 වසරේදී Building Better Global Economic BRICs  නම් වූ අධ්‍යයනයකදී Goldman Sachs ආර්ථික බැංකුවෙහි (ආදායම අනුව ගත් කළ මෙය ලෝකයේ දෙවන විශාලතම ආයෝජන බැංකුව ලෙස සැලකේ.) ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Jim O’Neill විසින් ඉදිරිපත් කරන ලද්දකි. පසුව 2006දී මෙම සංකල්පය බ්‍රසීලය (B), රුසියාව(R), ඉන්දියාව(I) සහ චීනය(C) යන රටවල විදේශ ප්‍රතිපත්තීන්ට ඇතුළත් කරමින් BRIC සමූහය ලෙස ගොනු වී ඇත.

2006 වසර වන තෙක් BRIC එක් සමූහයක් ලෙස රැස්ව නොතිබුණු අතර එතෙක් පළමු රටවල් හතරෙහි සංකල්ප පමණක් සාකච්ඡා කරමින් තනි තනිව ක්‍රියාත්මක වී ඇත. 2006 සැප්තැම්බර් 23 වෙනි දින එක්සත් ජාතීන්ගේ 61 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මෙහි පළමු එකතුව තිබී ඇති අතර ඊට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය යන රටවල් හතරෙහි විදේශ අමාත්‍යවරුන් සහභාගි වී ඇත. එය එම රටවල් හතර සාමූහිකව වැඩ කිරීමට පටන් ගත් පළමු පියවර විය. ඉන්පසු 2008 මැයි 16 වන දින BRIC රටවල විදේශ ඇමතිවරුන් රුසියාවේදී හමුවන අතර එහිදී ගෝලීය සංවර්ධන ගැටලු පිළිබඳ සාකච්ඡා කොට රටවල් හතරම පොදු එකඟතාවකට පැමිණ කටයුතු කිරීමට තීරණය කර තිබුණි.
සංවිධානයක් හැටියට කටයුතු කිරීම ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම BRIC මහ සමුළුව 2009 වසරේදී, සත්කාරක දායකත්වය රුසියාව විසින් දරමින් පවත්වා ඇත. මෙම සමුළුවේදී ලෝක ආර්ථිකයට BRIC කෙබඳු ආකාරයකට බලපෑම් එල්ල කරන්නේද යන්න පිළිබඳ විශාල ලෙස සාකච්ඡාවට ලක් කොට ඇත. එහිදී BRIC රාජ්‍යයන් බහු ධ්‍රැවීය ලෝක පිළිවෙළක් සහ ගෝලීය මැදිහත් වීමක් සඳහා ඔවුන්ගේ කැපවීම තහවුරු කළ අතර එම රටවල නායකයින් එක් වී BRIC හි අරමුණු සහ ප්‍රතිපත්ති ඇතුළත් ප්‍රකාශනයද එළි දක්වා තිබුණි. එක්සත් ජනපද ඩොලරයට විකල්පයක් ලෙස නව ගෝලීය මුදල් සංචිතයක අවශ්‍යතාව සහ ඔවුන්ගේම මූල්‍ය ආයතනයක් ස්ථාපනය කිරීම පිළිබඳවද මේ සමූහයේ අවධානය යොමු කොට තිබුණි. මෙම සංවිධානයට තවත් අළුත් සාමාජික රටක් එක්වීම 2010 වසරේදී සිදුව ඇති අතර ඒ අනුව 2010 දෙසැම්බර් 24 වන දින දකුණු අප්‍රිකාව BRIC සංවිධානයට එක් වෙමින් එයට තවත්  S අකුරක් එක් කොට තිබුණි. එතැන් සිට මෙම සංවිධානය BRICS බවට පත් විය.

2009 දී තමන්ගේම මූල්‍ය ආයතනයක අවශ්‍යතාව පිළිබඳව කළ සාකච්ඡා සාර්ථක කර ගනිමින් 2014 පැවති BRICS හතරවන සමුළුවේදී BRICS සංවර්ධන බැංකුව (BRICS Development Bank) නමින් ඔවුන්ගේම බැංකුව ආරම්භ කරන ලදී. පසුව මෙය නව සංවර්ධන බැංකුව(The New Development Bank – NDB)  ලෙස නම් කර 2014 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙය ලෝක බැංකුවට විකල්පයක් ලෙසත් සාමාජික රටවල ආර්ථික සහ සංවර්ධන ක්‍රියාවලි ව්‍යාපෘතීන් සඳහා ආධාර ලබාදීමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය ආධාර සපයන බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවක් ලෙසත් කටයුතු කරනු ලබයි. සාමාජික රටවල් පහේ දායකත්වයෙන් ඩොලර් බිලියන 100 ක බලයලත් ප්‍රාග්ධනයක් මත ආරම්භ කළ NDB බැංකුවෙහි ප්‍රධාන මූලස්ථානය චීනයේ Shanghai හි පිහිටා ඇත. සෑම ආරම්භක සාමාජිකයෙකුටම බැංකුවේ සමාන කොටස් ඇති අතර එහි වත්කම්වලටද ඔවුන් සමානව දායකත්වය සපයා ඇත. NDB ස්ථාපිත කිරීමෙන් පසු අනෙකුත් රටවල්ද ඒ හා සම්බන්ධ වී ඇත.


BRICS හා එක්වීමට විධිමත් අයදුම් කිරීමේ ක්‍රියාවලියක් නොමැති නමුත් නව සාමාජිකයින් දැනට සිටින අය විසින් ඒකමතිකව අනුමත කළ යුතුව ඇත. ඒ
අනුව 2023 දකුණු අප්‍රිකාවේ පැවති BRICS සමුළුවේදී, ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඉතියෝපියාව හා ආර්ජන්ටිනාව නව සාමාජිකයින් ලෙස ඇතුළත් කර ගන්නා බව නිවේදනය කර තිබුණි. නමුත් ආර්ජන්ටිනාවේ නව ජනාධිපති ලෙස Javier Milei පත් වූ විගස තම රට BRICS සංවිධානයට සම්බන්ධ නොවන බව ඔහු ප්‍රකාශ කළේය. අනෙක් රටවල් නිල වශයෙන් BRICS හි සාමාජිකයින් බවට 2024 දී පත් විය. මෙසේ පුළුල් වන කණ්ඩායම සඳහා නව නාමයක අවශ්‍යතාව මේ වන විට මතු වී ඇතත් තවමත් ඒ පිළිබඳව නිල ලෙස කිසිත් ප්‍රකාශයට පත් කොට නැත. බොහෝ දුරට මෙය  Brics + විය හැකි බව පැවසේ.

ආර්ථික, මූල්‍ය, ව්‍යාපාරික, ශාස්ත්‍රීය සහ මාධ්‍යය කවයන් තුළ විශ්ලේෂණාත්මක අධ්‍යයනයන් සිදුකරන අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස කටයුතු කරන BRICS රටවල්හි ආර්ථික බර කිසිවිටෙකත් සැහැල්ලුවෙත් සිතිය යුත්තක් නොවේ. 2003ත් 2007ත් අතර එයට එක් වූ රටවල් හතරෙහි ආර්ථික වර්ධනය ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රසාරණයෙන් සියයට 65 ක් වීම තුළින්ම එය ලොවට කොයි ආකාරයෙන් බලපෑම් එල්ල කරනු ඇත්දැයි සිතා ගත හැක. මේ වන විට BRICS හි (GDP) අගය එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ඉක්මවා ගොස් ඇත. BRICS රටවල් 10 ගෝලීය ආර්ථිකයෙන් හතරෙන් එකකට වඩා සහ ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. එනම්, ලෝක ජනගහනයෙන් සියයට 42 ක්ද ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 27 ක්ද මේ රටවල් නියෝජනය කරයි. 2050 වන විට මෙම රටවල් සමූහය ලෝකයේ ප්‍රමුඛතම ආර්ථිකය සහිත රටවල් බවට පත් වෙතැයි මේ වන විට පුරෝකථනය කෙරෙමින් පවතී.

2024 2024 ඔක්තෝබර් පැවති සමුළුවේදී මේ රටවල් එක්ව සාකච්ඡා කෙරුණු කරුණු අතර, ගාසා තීරයේ සහ යුක්රේනයේ යුද්ධ, ගෝලීය ආර්ථික පද්ධතියේ හැඩය, චීනය සහ බටහිර රටවල් අතර තරඟය සහ පිරිසිදු බලශක්තිය වෙත සංක්‍රමණය වීමේ උත්සාහයන් කෙරෙහි මෙම කණ්ඩායමට කළ හැකි බලපෑම් ආදිය ඇතුළත් වී ඇත. නමුත් 2024 මෙම සමූහයේ සංයුතිය භූ දේශපාලනික ඇඟවුම් රාශියක් සමග ගැටෙමින් පැමිණ ඇත. විශේෂයෙන්ම වර්ධනය වන සාමාජිකත්වය මෙම සංවිධානයට නව අභියෝග එක් කරමින් සිටී. ඒ පිළිබඳව ආර්ථික හා සමාජ විද්‍යාඥ ප්‍රවීණයන් පවසන්නේ ඔවුන්ගේ ආර්ථික දැක්ම ක්‍රියාවට නැංවීමේ අභියෝගයන්ට අමතරව BRICS රටවල්හි සාමාජිකයින් අතර පවතින අභ්‍යන්තර ආතතීන්ට හා එදිරිවාදිකම්වලටද ඔවුන් මුහුණ දෙමින් සිටින බවයි. උදාහරණ ලෙස, චීනය සහ ඉන්දියාව අතර පවතින දශක ගණනාවක් පැරණි දේශසීමා ආරවුල මෙන්ම ගෝලීය දකුණු ප්‍රදේශයේ ආර්ථික හා භූ දේශපාලන නායකත්වය සඳහා මේ රටවල් දෙක අතර පවතින තරගය නිසා කණ්ඩායමට ඇතැම් තීරණ ගැනීමේදී මතුවන ගැටලු දැක්විය හැක. එසේම BRICS සෙසු රටවල්, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දැකීම නිසා කලෙක පටන් සංවිධානය තුළ ගැඹුරු ඉරිතැලීම් ඇති වී පවතී. මේ අතර ප්‍රධාන සාමාජික රටවල ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයද BRICS සමූහයේ ප්‍රයත්නයන් කෙරෙහි විශ්වාසය බිඳ දමමින් ඇත. විශේෂයෙන්ම පසුගිය දශකය තුළ බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව තුළ දූෂිත පාලන ක්‍රම සමග ගරා වැටෙන ආර්ථික අවපාතයක් ඇතිවෙමින් පවතින බව ලෝක දේශපාලනය දෙස විමසිල්ලෙන් බැලීමේදී පෙනී යයි. එසේම පසුගිය කොරෝනා වසංගත තත්ත්වයත් සමග චීනයේද යම් ආර්ථික පසුබෑමක් ඇති වී තිබීම සමූහයේ පැවැත්මට තර්ජන ඇති කරන්නකි. අළුතින්ම එක් වූ සෞදි අරාබිය සහ ඉරානය අතරත් ඊජිප්තුව සහ ඉතියෝපියාව අතරත් දිගුකාලීනව පවතින එදිරිවාදිකම් හවුලේ ගන්නා තීරණවලදී පොදු එකඟතාවන්ට ඇති කරගැනීමට නොහැකි තත්ත්වයන් මතු කොට ඇත. කෙසේ නමුත් පොදුවේ BRICS සමූහයේ ඒකාබද්ධ ඉදිරියට යෑමට මේ කිසිවක් ගැටලු වී නොමැති බව එහි සාමාජිකයින් ඇතුළු බටහිර විරෝධී බොහෝ දෙනෙකුගේ මතය වී ඇත.

නව මුදල් ඒකකයක අවශ්‍යතාව

එක්සත් ජනපද ඩොලරයට විකල්ප මුදල් ඒකකයක් ඇති කිරීම සම්බන්ධයෙන් BRICS රටවල් දිගින් දිගටම සාකච්ඡා සිදුකරමින් ඇතත් මෙතෙක් එම ඉලක්කය සපුරා ගැනීමට මෙම කණ්ඩායමට නොහැකි වී ඇත.

2024 ඔක්තෝබර් 22-24 දක්වා රුසියාවේ Kazan හි පැවති 2024 BRICS සමුළුව ලෝකයේම අවධානයට ලක් වූයේ මෙම නව මුදල් ප්‍රභවය කෙසේ වේදැයි දැනගැනීමටයි. ඩොලරයට විකල්ප මුදල් ප්‍රභවය Unit නමින් ගෙන ඒම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති අතර මෙය රන් සංචිත මූලධනයක් ලෙස ගෙන නිර්මාණය කිරීම පිළිබඳ තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ඔවුන් අපේක්ෂා කර සිටී.

මේ වන විට ලෝක වෙළඳාමේ සියයට 90 ක පමණ මුදල් ගණුදෙණු ආධිපත්‍ය දරන්නේ එක්සත් ජනපද ඩොලරයයි. මෑතක් වන තුරුම තෙල් වෙළඳාමෙන් සියයට සියයකට ආසන්න ප්‍රමාණයක් එක්සත් ජනපද ඩොලරයෙන් සිදුවූවත් 2023 දී තෙල් වෙළඳාමෙන් පහෙන් එකක් පමණ සඳහා එක්සත් ජනපද නොවන මුදල් ඒකක භාවිත කර ඇති බව සඳහන් වේ.
චීනය සහ එක්සත් ජනපදය අතර ඇති වෙළඳ යුද්ධය මෙන්ම චීනයට සහ රුසියාවට එරෙහි එක්සත් ජනපදය පනවන සම්බාධකද එක්සත් ජනපද ඩොලරය සමග ගණුදෙණු කිරීමට ඇති බාධාවන් ලෙස එම රටවල් පෙන්වා දේ. මේ අවස්ථාවේදී BRICS ජාතීන් නව සංචිත මුදල් ඒකකයක් ස්ථාපිත කළහොත් එය එක්සත් ජනපද ඩොලරයෙහි ඉල්ලුම පහත වැටී එයට සැලකිය යුතු බලපෑමක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසා සිටී.

2025 ජනවාරි 20 වන දින එක්සත් ජනපද නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය නොවැම්බරයේ ජනාධිපතිවරණය අතරතුර කමලා හැරිස් හා පැවති සංවාදයකදී පවසා තිබුණේ, තමන් ජනාධිපති වුවහොත් එක්සත් ජනපද ඩොලරයෙන් ඉවත් වීමට උත්සාහ දරන ජාතීන්ට දැඩි තීරුබදු පැනවීමට කටයුතු කරන බවයි. මේ වන විට ඔහු එය ස්ථිර කරමින් ආනයනික භාණ්ඩ සඳහා විශාල තීරු බද්දක් ගැසීමට සැලසුම් කරමින් පසුවෙයි. එසේම චීනයට එරෙහිව දැඩි පියවර ගැනීමට විශේෂයෙන්ම කටයුතු කරන බව පවසමින් චීන ආනයන සඳහා සියයට 60 සිට සියයට 100 දක්වා තීරුබද්දක් ක්‍රියාත්මක කරන බවට තර්ජනය කරයි. නමුත් මේ අධික තීරුබදු චීන නිෂ්පාදන මිල දී ගන්නා ඇමරිකානු සමාගම් සහ පාරිභෝගිකයින් විසින් ගෙවනු ලබන බව මෙහිදී ට්‍රම්ප් නොසලකා හරිනු ලබයි. තීරු බදු පැනවීමෙන් චීන නිෂ්පාදන එක්සත් ජනපදයට පැමිණීම බොහෝ සෙයින් සීමා වන බව හොඳහැටි දන්නා ට්‍රම්ප් එය කෙසේ හෝ කිරීමට උත්සාහ දරමින් සිටී.

දෙසැම්බර් මුලදී BRICS රටවල් වෙත ඍජුවම තර්ජනය කරමින් ට්‍රම්ප් පවසා තිබුණේ, මෙම රටවල්වලින් වෙනම මුදල් ඒකකයක් නිර්මාණය නොකරන බවට හෝ ප්‍රබල එක්සත් ජනපද ඩොලරය වෙනුවට වෙනත් කිසිදු රටක මුදලක් ගණුදෙණු සඳහා භාවිත නොකරන බවට හෝ වන කැපවීම සිදු නොකළහොත් එම රටවල්වලට එරෙහිව සියයට 100 ක තීරුබදු පැනවීම සහතික කරන බවයි. කෙසේ වෙතත් ඇමරිකානු ඩොලරයට අභියෝග නොකරන ලෙස තර්ජනය කරන ට්‍රම්ප්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් රුසියාවේ ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක Dmitry Peskov හඬක් නගා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කොට තිබුණි. එහි සඳහන් වන්නේ, ‘වැඩි වැඩියෙන් රටවල් ඔවුන්ගේ වෙළඳ හා විදේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ජාතික මුදල් භාවිත කිරීමට මාරු වෙමින් සිටී. එක්සත් ජනපද ඩොලරය භාවිත කිරීමට බල කරමින් ඔවුන් පවසන පරිදි ආර්ථික බලය භාවිත කරන්නේ නම් එය අනික් ජාතීන්ට සුදුසු ජාතික මුදල් (ජාත්‍යන්තර වෙළඳාමේ) ඒකකයක් වෙත මාරු වීමේ ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කිරීමක් වනු ඇත’ ලෙසයි.

කෙසේ වෙතත් මේ වන තුරුත් BRICS සමූහය මුදල් ඒකකයක් පිළිබඳව ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර ඒ නිසාම එය නිකුත් කරන්නේ කවදාද යන්න පිළිබඳව අනාවැකි කීම තවමත් අපහසු කරුණක් බව සඳහන් කළ යුතුව ඇත. එසේ වුවත් 2024 ඔක්තෝබරයේ රුසියාවේ පැවති BRICS සමුළු වේදිකාවේදී රුසියානු ජනාධිපති පුටින්, නුදුරු අනාගතයේදී සැබෑවක් විය හැකි BRICS මුදල් නෝට්ටුවක් සමග පෙනී සිටි බව සමාජ මාධ්‍යවල ඡායාරූප සහිතව දක්වා තිබුණි. නමුත් මේ පිළිබඳව පසුව කළ පැහැදිලි කිරීම්වල සඳහන් වූයේ එය BRICS නිල මුදල් නෝට්ටුව නොවන බවත් හුදෙක් නිර්මාණ කිරීමක් බවත්ය. කෙසේ නමුත් එම සමුළුව අතරතුරදී රුසියානු ජනාධිපතිවරයාට BRICS කණ්ඩායම විසින් යම් මුදල් නෝට්ටුවක් පිරිනැමූ බව සත්‍යයකි. එම පිරිනැමූ මුදල් නෝට්ටුව පිළිබඳව මාධ්‍ය ප්‍රකාශකDmitry Peskov සඳහන් කර ඇත්තේ සංකේතාත්මක මුදල් නෝට්ටුවක් වුවත් එය වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් මුද්‍රණය කළ යුතුව තිබූ බවයි. එහිදී පිරිනැමූ නෝට්ටුව ‘අර්ධ මුදල්’(quasi-money) ලෙස පෙස්කොව් හඳුන්වා තිබුණි. ලෝකයම කැළඹූ එම මුදල් නෝට්ටුව පිළිබඳව පුටින් ජනාධිපති මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ, එය BRICS රටවල ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල සංකේතයක් බවයි. එම නෝට්ටුවේ සංගමයේ සංකේත සහ එහි සාමාජික රටවල ධජ නිරූපණය කර ඇත.

BRICS රටවල් විසින් නව මුදල් ඒකකයක් නිකුත් කර ඇත්ද යන්න සමගම බොහෝ දෙනෙකු අවධානය යොමු කරන අනෙක් කරුණ වන්නේ BRICS ඩිජිටල් මුදල් ඒකකයක් භාවිත කරන්නේද යන්න පිළිබඳවයි. ඒ සඳහා පැවසිය හැක්කේ ‘නැත’ යනුවෙනි. මෙතෙක් ඔවුනට නිශ්චිත ඩිජිටල් මුදල් ඒකකයක් නොමැත. නමුත් BRICS blockchain මත පදනම් වූ ගෙවීම් පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයකු මෑතකදී පවසා තිබුණි.

මේ වන විට ලෝකයේ ඩොලර්වලට විකල්ප ඩිජිටල් මුදල් cross-border ගෙවීම් පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම ව්‍යාපෘතිය mBridge, BIS Innovation Hub, හොංකොං මූල්‍ය අධිකාරිය, තායිලන්ත බැංකුව, Digital Currency Institute of the People’s Bank, චීන බැංකුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව සමග කටයුතු කරමින් පවතී. පසුගියදා සෞදි අරාබියද මෙයට සම්බන්ධ වීමට තීරණය කර තිබුණි.

BRICS සහ mBridge දෙකම ගෝලීය ආර්ථිකය යළි හැඩගැස්මේ යම් උත්සාහයක නිරත වන්නන් ලෙස දැක්විය හැකි අතර BRICS රටවල් mBridge වැනි තාක්ෂණික ආයෝජනවලට සහභාගි වීමෙන් ඇමරිකානු ඩොලර් සහ බටහිර යූරෝ වැනි ආර්ථික බලයන් මත රඳා නොසිටින නව ලෝක ආර්ථික ක්‍රමයක් මත රැඳී සිටීමට උත්සාහ කරයි.
පසුගියදා මේ පිළිබඳව අදහස් දැක්වූ NDP බැංකුවේ සභාපතිනි Dilma Rousseff පැවසූවේ, Unit නම් නව පියවීම් මුදල් ඒකකයක් භාවිත කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවක් ඇති බවත් එයට සියයට 40 ක් රන් (මෙය රන් වශයෙන් කිලෝ බැරවලින් හෝ ගෙවීම් සඳහා හෝ ලබා දිය හැක) සහ සියයට 60 ක් BRICS හි දේශීය මුදල් ( BRICS රටවල්හි දේශීය මුදල් මගින් මෙය සිදුකළ හැක.) අනුග්‍රහ දක්වන බවත්ය.

  • චමරි අබේසිංහ

Share this Post