ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ  ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ  ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත. 

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මෙලින්ඩාගේ නමින් සටහන් කර ඇති අතර එය ආරම්භ කොට ඇත්තේ After a great deal of thought and a lot of work on our relationship, we have made the decision to end our marriage, ලෙසිනි.

 

තමන්ගේ විවාහ ජීවිතය තුළ අගනා දරු තිදෙනෙකු ඇති දැඩි කළ බවත් සමස්ත මනුෂ්‍ය සංහතියට සෞඛ්‍ය සම්පන්න ඵලදායී ජීවිත ගත කිරීමට හැකි වන ලෙස ලොව පුරා ක්‍රියාත්මක වන ශක්ති සම්පන්න පදනමක් ගොඩනැඟීමට කටයුතු කළ බවත් ඔවුන්ගේ මෙම ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් වේ.

2000 වසරේදී ඔවුන් දෙදෙනා එක්ව පිහිටවනු ලැබූ Bill & Melinda Gates Foundation වසර 2015 වන විට ලොව විශාලතම පෞද්ගලික පුණ්‍ය ආයතනය බවට පත් විය. ගෝලීය දරිද්‍රතාව පිටුදැකීමට, සෞඛ්‍ය කටයුතු දියුණු කිරීම ආදි තවත් බොහෝ දේ වෙනුවෙන් මෙම පදනම ඩොලර් බිලියන 53.8 ක් වැය කර ඇති බව එම වෙබ් අඩවිය සඳහන් කර සිටී.

ඉදිරියටත් මෙම පදනමේ වැඩකටයුතු දෙදෙනා එක්ව කරගෙන යාමට බලාපොරොත්තු වුවත් ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මීළඟ අදියර විවාහක යුවළක් ලෙස එකට යාමට හැකි බවට තවදුරටත් විශ්වාස නොකරන බව ඔවුහු පවසති.

මේ වන විට බිල් ගේට්ස්ගේ වයස අවුරුදු 65 ක් වන අතර මෙලින්ඩා 56 හැවිරිදි වියේ පසුවේ. බිල් ගේට්ස් හා මෙලින්ඩා හමුව සිදුව ඇත්තේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිෂ්පාදන කළමනාකාරවරියක ලෙස මෙලින්ඩා සේවයට එක්වීමත් සමගය. ඒ 1987 වසරේදීයි. ඉන්පසු 1994 දී හවායි හිදී ඔවුන්ගේ විවාහ වී ඇත.

ලොව ප්‍රමුඛ ධනවතුන් අතරින් කෙනෙකු වන බිල් ගේට්ස් පසුගිය වසරේදී මයික්‍රොසොෆ්ට් නිල මඩුල්ලෙන් ඉවත් වෙමින් පවසා සිටියේ තම සමාජසේවා වැඩකටයුතු කෙරෙහි වැඩි ඉඩක් වෙන් කිරීම සඳහා එම පියවර ගත් බවයි. පෙබරවාරි මාසයේ Bloomberg Billionaires Index සටහන්වල බිල් ගේට්ස්ගේ ශුද්ධ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 137 ක් ලෙස දක්වා ඇත.

Bill & Melinda Gates පදනම පසුගිය වසර පුරා කොවිඩ් වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ වැක්සීන සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රමුඛතාව දී කටයුතු කළ අතර ලොව සියලු රටවලට එම ප්‍රතිකාර ක්‍රම සාධාරණ සමානාත්වයකින් යුතුව බෙදා දීමේ උත්සාහයටද සම්බන්ධ වී ඇත. ඔවුන්ගේ පදනම ගෝලීය වසංගතය වෙනුවෙන් පසුගිය දෙසැම්බරය වන විට ඩොලර් බිලියන 1.75 ක් වැය කොට ඇති බව ඒ පිළිබඳ වාර්තා සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා ගත කිරීමට අදහස් කරන නව ජීවිතය සඳහා අවශ්‍ය අවකාශය සහ පෞද්ගලිකත්වය ඉල්ලා සිටින බවද බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් ඔවුන්ගේ ප්‍රකාශනය අවසානයේ සඳහන් කොට ඇත.

 

Share this Post