Pompeii  අවසන් පැය කිහිපය

වසර දෙදහසකට පමණ පෙර Pompeii, අතිශය කාර්යබහුල, ඉතාමත් සමෘද්ධිමත් සුන්දර රෝමානු නගරයක් විය. දොළොස් දහසක් පමණ ස්ථිර පදිංචිකරුවන්ගේ නිත්‍ය වාසස්ථානය වූ එම නගරය, ධනවත් රෝමානුවන් නිවාඩු ගත කිරීමට තෝරා ගත් පළාතක් විය. දකුණු ඉතාලියෙහි කැම්පානියා ප්‍රදේශයට අයත් වූ මෙම කලාපය ඔලිව්, මිදි සහ අනෙකුත් භෝග සඳහා යෝග්‍ය සරු පසකින් යුක්ත වූ අතර ‘පොම්පෙයි වයින්’ රෝමයෙහි ප්‍රසිද්ධ පානයක් විය.

නගරයෙහි කඩ සාප්පු, මත්පැන් සල්, සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස ආදි විනෝදය සඳහා ඇවැසි සියලු දේ අඩුවක් නොමැතිව තිබුණි. එපමණක් නොව, ග්‍රීෂ්ම ඍතුවේදී පොදු නානා තටාකවල විවේක ගනිමින් විනෝද වන මිනිසුන් මෙහි සුලභ දසුනකි. තවද ඕවලාකාර නෘත්‍ය ශාලාවල (Amphitheater) ග්ලැඩියේටර්ස් සටන් නැරඹීමට සහ අශ්වරථ ධාවන තරග නැරඹීමට අවස්ථාව සලසා දී තිබුණේ නගරයෙහි ආඪ්්‍ය බව තවත් වැඩි කරමිනි.

මෙසේ සියල්ලෙන් සපිරි ඒ සුපිරි නගරයේ ජීවත් වූ සහ එහි සංචාරය සඳහා පැමිණි විනෝදකාමීන් නොදැන සිටි එක් රහසක් තිබුණි. ඒ නගරය ඉමෙහි ඔවුන් බිලි ගැනීමට කල් යල් බලමින් නිද්‍රාශීලී මහා යෝධයෙකු සිටින බවයි. උපන් දා සිට දකින ඒ සුන්දර කන්ද, Pompeii, Herculaneum ඇතුළු ඒ අවට නගරවලට අමුත්තෙකු නොවුණි.

නමුත් ඒ මහා විනාශය සිදුවීමට දින හතරකට පමණ පෙර සිට අන්තරායයක් ළඟ ළඟම එන බවට පෙරනිමිති පහළ වී තිබුණි. ඉතාමත් සුළු භූමිකම්පා විටින් විට පොම්පෙයි නගරය සොළවමින් ඇවිත් ගිය නමුත් ගිම්හාන කලබල, ප්‍රීති ඝෝෂාවලින් පිරී ගිය නගරවැසියන්ගේ කටයුතු නතර කිරීමට එම සෙලවීම් ප්‍රමාණවත් නොවුණි. අනිත් අතට කැම්පානිය ප්‍රදේශයේ මෙවැනි මෘදු මිහිකත කම්පා වීම් නිතර සිදුවන නිසා එහි අමුත්තක් ඔවුනට දැනී නොමැත. නගර පාලකයන් කිහිප වරක්, ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අනතුරු අඟවන සංඥා නිකුත් කර ඇතත්,සියලු වැසියන්ගේ සාමූහික මතය වී ඇත්තේ එසේ සිදුවන භූකම්පන තුළින් කිසිදු අහිතකර බලපෑමක් නොමැති බවයි.
ඒ ක්‍රිස්තු වර්ෂ 79 යෙහි අගෝස්තු 24 වන ඉරු දිනයි. හොඳින් හිරු එළිය පතිත වූ මෙදින උදෑසන 10 වන විට නගරය මිනිසුන්ගෙන් පිරෙමින් කාර්යබහුල වෙමින් තිබුණි.
කෙමෙන් කෙමෙන් උදෑසන කටයුතු නිමා කළ මිනිසුන් දහවල් දොළහ, එක පමණ වන විට තම තමන්ගේ වාසස්ථානවලට රොක් වූයේ, ඒ නිවාඩු දිනයෙහි දහවල් ආහාරය ගැනීමටයි. දවස කිසිදු වෙනසක් හෝ අමුත්තක් නොමැතිව සාමාන්‍ය ග්‍රීෂ්ම නිවාඩු දිනයක් මෙන් ගෙවී යයි.

නමුත් ඒ මොහොතෙහි එම නගරය ඉස්මත්තෙහි ඇති කන්ද සක්‍රීය වෙමින් නැවත අවදි වෙන අයුරු ඔවුන්ට නොපෙනුණි. තමන්ගේ සෙවණේ සිට තමා දෙස බලා
සතුටු වුණු මිනිසුන්ට තමන් නිසාම තව ස්වල්ප මොහොතකින් සිදුවන බිහිසුණු ඉරණම සිත්පිත් නැති ගල් කන්දක්ම විනා කවුරුනම් ඉවසයිද? ගත වූ දිනවල නගර වැසියන් අත්විඳි භූ කම්පන, ඒ කන්දෙහි අභ්‍යන්තරයෙහි ඇති අග්නිමය ගල්වලින් බුර බුරා නැගෙන මහා පීඩනය නිසා සිදු වූ බව කිසිවෙකුටත් නොදැණුනි. එදින දහවල් 1 පමණ වෙද්දී කන්ද තුළින් එන පීඩනය ආපසු හැරවිය නොහැකි මට්ටමට වර්ධනය වී තිබුණි. ඇතුළත දැවෙන ගිනි ජාලාව එතරම්ම සැඩපරුෂය. ඒ සමගම මේ පොළෝ තලය මත, මිනිස් මතකයට තවත් විශාල ඛේදවාචකයක් ඉතුරු කරමින් කන්ද පුපුරා ඇද හැළුණි. මේ පිපිරීම සිතාගත නොහැකි තරම් ප්‍රචණ්ඩකාරී සහ අතිවිශාල විය. උණු වූ රත්පැහැ පාෂාණ, සැතපුම් 20 ක් පමණ ඉහළ අහසට විදාරණය වෙමින් සෑම තත්ත්පරයකම ටොන් මිලියන 1.5 ක පමණ සුන්බුන්, අළු දූවිලි සමග කඳු ගැබෙන් බැහැර කරවීය. ඒ සමගම ගිනිකොන දෙසින් හමන සුළං ප්‍රවාහය, ගිනිකන්දේ සිට පොම්පෙයි නගරය තෙක් වන සැතපුම් කිහිපයක කෙටි දුරට, එම දැවැන්ත සුන්බුන් තල්ලු කරවමින් ඇත.

මේ අතර, Naples බොක්කෙහි වයඹදිග මායිමේ පිහිටි Cape Misenum , හි මව සමග නවාතැන් ගෙන සිටි 17 හැවිරිදි Pliny the Younger, මෙම විනාශකාරී සිදුවීම දිග හැරෙන ආකාරය සම්පූර්ණයෙන්ම තම දෑසින් දුටු තරුණයෙකි. ඔහුගේ මාමා නාවික හමුදාවේ ඉහළ නිලයක් දැරූ, ස්වභාව විද්‍යාඥයකු සහ දාර්ශනියකු මෙන්ම වෙළුම් 37 කින් යුත් Naturalis Historia හි කතුවරයා වූ Pliny the Elder ය. ගිනිකන්ද පුපුරා යාමෙන් පසු මිනිසුන් බේරා ගැනීමට නේපල්ස් බොක්ක හරහා ඔහු යාත්‍රා ගෙන ගොස් ඇති අතර ප්ලිනි ද එල්ඩර්ගේ උත්සාහයට පිං සිදුවන්නට බොහෝ දෙනෙක් ජීවිත ගලවා ගත් බව පසු කලෙක ප්ලිනි ද යන්ගර් ලියූ සටහනෙහි දක්වා ඇත. නමුත් ගිනිකන්දෙන් පිට වූ වායූන් ආශ්වාස කිරීමෙන් ඇති වූ ශ්වසන අපහසුතාවලින්, එම ව්‍යසනය වූ දිනම වෙරළේදී Elder මියගොස් ඇත. මේ පිළිබඳව Pliny the Younger ලියූ සටහන්, එම දෛවෝපගත දිනය පිළිබඳව ප්‍රබලතම ලිඛිත සාක්ෂි බවට පසු කලෙක පත් විය. ඔහු මෙම සිදුවීම විස්තර කොට ඇත්තේ, ‘ඒ මහා කන්ද පුපුරා යෑමෙන් පසු, අහසට නැඟුණු දූලි වලාකුළ දැවැන්ත Umbrella Pine ගසක් මෙන් අහසේ දිස් විය’ යනුවෙනි. අළු සහ අනෙකුත් සුන්බුන් රැගෙන සෑදුණු මෙම වලාකුළ ගිනිකොන දෙසින් Pompeii, Herculaneum සහ අනෙකුත් නගර දෙසට ගසාගෙන ගියත් එහි තිබූ බර එය පැතිරීමට සහාය නොදුන් බව ප්ලිනි සඳහන් කරයි. Pliny ගේ එම විස්තරය කෙතරම් ආකර්ශනීය වූයේද යත්, වර්තමානයේදී විද්‍යාඥයින් ගල්, අළු සහ වායු සහිතව විශාල වලාකුළු සාදන ගිනිකඳු පිපිරීම් Plinian eruption ලෙස හඳුන්වනු ලබයි.

නැවතත් අපි පොම්පෙයි වෙත යොමු වෙමු. එදින සවස හතර පමණ වන විට, මෙම ඝන වලාකුළ පොම්පෙයි දෙසට සැතපුම් පහක් පමණ ගමන් කර ඇති අතර ඒ සමගම ටොන් දහස් ගණනක් බර අළු දූලි සහ සුන්බුන් කැබලි නගර වැසියන් වෙත ඇද හැලෙන්නට පටන් ගති.

බොහෝ දෙනෙකු මින් ගැලවීමට ආසන්න ගම්වලට හා මුහුදට පැනීමට කටයුතු කර ඇතත්, ඒවා පාවෙමින් ගලා ආ වේගය කෙතරම්ද යත්, නගරය තුළ රැඳී සිටි මිනිසුන්ට
නම් ඉන් කෙසේවත් ගැළවීමට නොහැකි විය. හතර අතින්ම කොටු වූ ඔවුන් කරකියාගත හැකි කිසිවක් නොමැතිව තම තමන්ගේ නිවාස තුළට, ලැගුම් හල් තුළට ගුළි වෙමින් සැඟවෙන්නට පටන් ගති. නමුත් ස්වභාධර්මයා විසින් ඔවුන්ගේ කුරිරු ඉරණම ඒ වන විටත් තීරණය කොට තිබුණි.

මොහොතකවත් ඉස්පාසුවක් නොමැතිව ඈත කන්දෙන් පිපිරුම් හඬ නැගේ. එම පිපිරුම්වල උච්ඡතම අවස්ථාවලදී හාත්පස ගිගිරුම් දෙමින් දැවැන්ත ගිනිදළු කන්දෙන් සැතපුම් 20 ගණනක් පමණ ඉහළට විදී. ඒ එක්කම මහා ඝන අළු පදාසවලින් නගරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම වැසී යයි. පැය කීපයක් ඇතුළත, අළු සහ සුන්බුන් මීටර තුනක් පමණ උසට පතිත වී එම අලංකාර නගරයේ සියල්ල යට කර තිබුණි.
පොම්පෙයි නගරයටත් වඩා Herculaneum නගරය කන්දට ආසන්නව පිහිටා තිබුණද, පළමු දවසේ මෙම සිදුවීම් ඔවුනට මෙතරම් දරුණු ලෙස බල නොපෑහ. එදින
පැවති කාලගුණික තත්ත්වය ඊට හේතුව විය.

Herculaneum නගරය ගිනිකන්දට බටහිර දෙසින් පිහිටා තිබීම සහ සුළඟ ගිනිකොන දෙසින් හමා යෑම නිසා පළමු පුපුරා යාම වූ දිනයේ අළු වැටීමෙන් එම නගරය නිදහස් විය. පොම්පෙයි වෙත විනාශය ගෙන ආ බරින් වැඩි සුන්බුන් වෙනුවට හර්කියුලේනියම් මත වැටුණේ තරමක අළු ආවරණයක් පමණි. එම නිසා එහි නගර වැසියන් බොහෝ දෙනෙකුට ආරක්ෂිත ස්ථාන කරා යෑමට කාලය තිබුණි. නමුත් කන්දට වඩාත් ආසන්නව තිබූ නිසා දැඩි උෂ්ණත්වය හර්කියුලේනියම් නගරයට ගෙන ආ විනාශය සිතාගැනීමටවත් බැරි තරම් විය.

ඔවුනට කෙසේවත් කෝපයෙන් ගලා හැලෙන කන්දෙන් ගැළවීමක් නොතිබුණි. එදින රාත්‍රියෙහි මේ යමහලෙන්, ගිනිකන්දකින් පිටවන උණුසුම් ගෑස් සහ ගල්කුඩු සහිත අධික උෂ්ණත්වයකින් යුත් වේගවත් ගලා යෑම් රැළිවලින් (pyroclastic) පළමුවැන්න නිකුත් කෙරුණි. විශාල වේගයකින් මෙම උණුසුම් අළු දහරාව ගොඩබිම හරහා හර්කියුලේනියම් දෙසට ගලා ගිය අතර ගිනි කන්ද සහ නගරය අතර වූ සැතපුම් 4 ක පමණ කෙටි දුර මිනිත්තුවකට අඩු කාලයකින් එම දහරාවෙන් ආවරණය විය. එයින් ආ රස්නය කෙතරම් තීව්‍ර වූයේදැයි කිවහොත්, එම නගරයෙහි ඉතිරිව සිටි සියල්ලන්ම එම උෂ්ණත්වයට අසුව ක්ෂණිකව මිය ගියහ. මෙම ප්‍රවාහයේ වැළලී ගිය හර්කියුලේනියම් මිනිසුන්, නැවතත් පුරාවිiාඥයින් විසින් වසර 1600 කට පසු සොයාගන්නා තෙක්ම එහි නිදන්ගතව සිටියහ. එසේ සොයා ගත් හර්කියුලේනියම්හි මිනිසුන්ගේ සිරුරු පරීක්ෂාවට ලක් කිරීමේදී හෙළිව ඇත්තේ, අධික උෂ්ණත්වයට හසු වූ ඔවුන්ගේ සිරුරුවල රුධිරය උණු වී නටන්නට පටන් ගෙන, හිස්කබල තුළ පීඩනය වැඩි වී පුපුරා ගොස් ක්ෂණිකව මරණයට පත් වී ඇති බවයි. පසුව සොයාගත් හිස්කබල කිහිපයකම විශාල කඩතොලු සහ සිදුරු තිබීමෙන් ඒ බව වඩාත් පැහැදිලි විය.

මේ අතර උදෑසන හය පමණ වන විට අළු වැටීම තරමක් අඩු වීමත් සමග වාසනාව නිසා හෝ ඉරණම නිසා දිවි ගලවාගත් පොම්පෙයි වැසියන් (ක්‍රි.ව. 79 වන විට පොම්පෙයිහි මිනිසුන් 10,000-15,000 ක් පමණ ජීවත් වී ඇති බව සැලකෙන අතර මේ වන විට සිදුකර ඇති කැණීම්වලින් සිරුරු 1,200 ක් පමණ සොයාගෙන ඇත. අනෙක් පිරිසට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති වුවත් බොහෝ වැසියන් කෙසේ හෝ දිවි ගලවාගෙන පළා යන්නට ඇතැයි සැලකේ.) තම ආදරණීයයන් සොයා හිස් ලූලූ අත යාමට පටන් ගැණුනි. කන්ද නිහඬ වී ඇතැයි ඔවුන් විශ්වාස කළ නමුත්, දෙවැනි pyroclastic රැල්ල ඔවුන් සොයා ඒමේ ඝෝෂාව කන්ද දෙසින් පටන් ගෙන තිබුණි. මේ මොහොත පිළිබඳව තරුණ Plinyසඳහන් කරන්නේ, ‘ලෝකයට හිරු නැග ආවත් ඒ උදෑසන පොම්පෙයි හි පැවතුනේ දැඩි අන්ධකාරයකි. සැබවින්ම එය අන් සෑම රාත්‍රියකටම වඩා අඳුරු සහ ඝන විය’ ලෙසිනි.

පෙර දින සිදුවූ මහා ව්‍යසනයෙන් පසුවත්, අළු දූවිලි මතින් නැගිටිමින් එතෙක් ජීවිත රැකගෙන සිටි නගර වැසියන්ට, නැවතත් උදෑසන පැමිණි pyroclastic රැල්ලෙන් බේරීමට කිසිසේත් නොහැකි විය. සෙන්ටිග්‍රේඩ් අංශක සිය ගණනක උෂ්ණත්වයකින් යුත් අළු සහ පාෂාණ සහිත මේ වේගවත් විනාශකාරී දහරාව යළි කිසිදු දිනෙක මතු නොවන සේ
පොම්පෙයි නගරයෙහි කලබලය මකා දැමූහ. එහි වීදි, ගොඩනැගිලි, විනෝදකාමී ජනතාව සදහටම එම නගරයෙහි ඔවුන් සිටි ආකාරවලින්ම පාෂාණිභූත විය.

එසේ වැළලී ගිය එම නගරය ඒ ආසන්න කාලවලදී සොර සතුරු උවදුරුවලට ලක්ව ඇතත් ඉන්පසු වසර දහස් ගණනක් යන තෙක් ඔවුන් කිසිවෙකුගේත් ඇසට අසු නොවුණි.

නැවත මතු වූ Pompeii

එසේ ඇතැම් උස් වූ ගොඩනැගිලිවල මුදුන් කොත් පමණක් පෙනෙන සේ වැළලී විනාශ වී ගිය පොම්පෙයි නගරය කෙමෙන් කෙමෙන් කාටත් දුරස්ථ මතකයක් බවට පත් විය. එම නගරය සියවස් ගණනාවක් ජනයා නොගැවසී ලෝකයෙන් සැඟවුණි.

වසර 1599 දී, ගෘහ නිර්මාණ ශිල්පී, Domenico Fontana විසින් Sarno ගංගාව හැරවීම සඳහා සිදුකරමින් තිබූ භූගත කැණීමකදී පොම්පෙයි හි ඇතැම් කොටස් නැවත මතු වී ඇත. මෙම ගංගා ව්‍යාපෘතිය සඳහා ඇළක් හෑරීමේදී බිතුසිතුවම්, ශිලා ලේඛන සහ වාස්තු විද්‍යාත්මක කුටීර රාශියක් Fontana ට හමු විය. මෙහිදී සොයාගත් සිතුවම් අතර ප්‍රබල ලිංගික ප්‍රකාශන රාශියක් තිබී ඇති අතර මෙම ගෘහ නිර්මාණ ශිල්පියා ඒවා ලොවට අනාවරණය නොකර නැවතත් වසන් කොට ඇත. ඔහු විසින් සිදුකළ, ඉතිහාසයක් වළ දැමීමේ පුදුමසහගත කම්පාවක් ගෙන එන එම සිදුවීමත් සමග නැවතත් එම නගරය අත්හැරුණු අතර, 18 වන සියවස දක්වා නැවතත් පොම්පෙයි පිළිබඳ සඳහනක් නොවුණි. 1700 ගණන්වල නේපල්ස් රජු හට ගිම්හාන මාලිගාවක් තැනීමේදී නැවතත් එහි නටබුන් මතු වූ අතර එහිදී රාජකීයයන් ඔවුන්ගේ මාලිගා සඳහා එහි තිබූ පැරණි සැරසිලි සහ ඇතැම් වටිනා ලෝහ කොල්ලකෑමට පටන් ගෙන පොම්පෙයි ඉතිහාසය සෙවීම නවතා දමා තිබුණි.

තවත් වසර සිය ගණනකට පසු, 1800 ගණන්වලදී, පුරාවිද්‍යාඥයින් විසින් සැලකිය යුතු මට්ටමින් පොම්පෙයිහි අඛණ්ඩ කැණීම් ආරම්භ කර ඒ පිළිබඳ නිසි අධ්‍යයනයන් අරඹා ඇත.
ඉතාලි පුරාවිද්‍යාඥයකු වූ Giuseppe Fiorelli, විසින් එහිදී අධීක්ෂණය කර සොයාගත්, මියගිය අයගේ ශරීර ආකෘති සංරක්ෂණයට ප්ලාස්ටර භාවිත කිරීමේ සංකල්පය අදටත් භාවිතයේ පවතී. ගිනි කන්ද පුපුරා යාමෙන් ඉතිරි වූ සිරුරු සංරක්ෂණය කිරීම සහ දිරාපත් වීම නැවැත්වීමට මළ සිරුරු තුළ ඇති හිස් කුහරවලට ප්ලාස්ටර් වත් කිරීම මෙම තාක්ෂණය වේ.

ඉන්පසු Fiorelli ගේ සිට වර්තමානය දක්වා ප්‍රමුඛ පෙළේ පුරාවිද්‍යාඥයින් ගණනාවක් මෙම ස්ථානය ගවේෂණය කර ඇත. ඉදිරියටත් කරනු ඇත. අද වන විට පොම්පෙයි වෙත සංචාරය කිරීමට යන ඔබට, එම නගරයෙහි තුනෙන් එකක් පමණ තවමත් වැළලී ඇති බව නිරීක්ෂණය කළ හැක. මෙහි ඇතැම් කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘතව පවතින අතර වසරකට දහස් සංඛ්‍යාත සංචාරකයින් ඒවා නැරඹීමට සහ ගවේෂණයට පැමිණෙති. අතීතයේ තිබූ ගල් ඇතිරූ වීදි හරහා ඇවිද යමින්, සැඟවී ඇති ඓතිහාසික ගොඩනැගිලි, කෞතුක වස්තු සහ මානව අවශේෂ ගැන කුතුහලය පිරි දෑසින් බලන නූතනයින්, එහිදී යම් තරමකට හෝ පොම්පෙයි පුරාණය වෙත මනසින් පිය නගනු ඇත.

Vesuvius කන්ද

ක්‍රි.වර්ෂ 79 ට පෙර මෙම කන්දට නමක් නොතිබුණු අතර පොම්පෙයි සහ හර්කියුලේනියම් ඇතුළු ආසන්න නගර යට කර දැමීමෙන් පසු සිතියම්වල මෙම කන්ද
Vesuvius ලෙස නම් කරනු ලැබුණි. ඒ රෝමයේ, ගින්න සහ ගිනිහල් සඳහා අධිපති දෙවියන් වන Vulcan හට ගෞරවයක් වශයෙනි.

පසුගිය වසර 17,000 තුළ වෙසුවියස් කන්ද විශාල පිපිරීම් අටකට මුහුණ දී ඇති අතර, සුළු පිපිරීම් සිය ගණනක් ඒ අතර සිදුවී ඇත. වඩාත් ප්‍රසිද්ධ පිපිරීම ක්‍රි.ව 79 අප ඉහත සඳහන් කළ සිදුවීම වන අතර, මෑතම යුගයේ එය පුපුරා ගොස් ඇත්තේ 1944 මාර්තු 17 වන දිනයි. 1631, 1700 ගණන්වල, 1800 ගණන්වල සහ 1900 ගණන්වල මෙම ගිනිකන්ද බරපතල ලෙස විදාරණය වී ඇත. බොහෝ ගිනිකඳු පුපුරා යාමෙන් පසු කේතුවක හැඩය ගන්නා අතර එම කේතුවෙහි ඉහළ විශාල ආවාටයක් (crater) ඇති වේ. එසේම සෑම පිපිරීමකින් පසු මෙම කේතුවේ ප්‍රමාණය වෙනස් වෙයි. 2013 වසර වන විට වෙසුවියස් ගිනි කන්දෙහි උස අඩි 4,203 ක් විය. අඩි 3,714 ක් වූ Somma නම් කඳුවැටියක් වෙසුවියස් කන්දෙහි අර්ථ වෘත්තයක් වසාගෙන සිටින අතර වෙසුවියස් කේතුව සහ Somma කන්ද අතර ඇති නිම්නය Giant’s Valley ලෙස හැඳින්වේ.

වෙසුවියස් කන්දෙහි පැරණිතම කාල නිර්ණය වසර 300,000 ක් පමණ ඈතට දිව යයි. ගිනිකන්ද අසල ළිදක තිබූ පාෂාණ පරීක්ෂා කිරීමෙන් මේ බව තහවුරු වී ඇත. එසේ සලකන කල වෙසුවියස් ගිනි කන්ද අයිස් යුගයට වඩා පැරණි බව සිතිය හැක. එසේම, පෘථිවිය තුළ ගිනිකඳු පිපිරීම් පිළිබඳ දීර්ඝතම ඉතිහාස වාර්තාවට හිමිකම් කියන්නේද වෙසුවියස් ගිනිකන්දයි.

වෙසුවියස් මේ වන විට නිද්‍රාශීලීව පසු වෙතත් එය තවමත් සක්‍රීය ගිනි කන්දකි. වර්තමානයේදී නේපල්ස් නගරය සහ ඒ ආසන්නයේ පිහිටි බෑවුම් අවට නගරවල මිලියන දෙකකට අධික ජනතාවක් ජීවත් වෙති. ගිනි කන්දක් අසල ජීවත් වීම සහජ අන්තරාදායක ක්‍රියාවක් වන අතර වෙසුවියස් වැනි ගිනි කන්දක් අසල ජීවත් වීම එම අන්තරාය දහස් ගුණයකින් වැඩි කරවන්නකි.

අතීතයේ සන්නිවේදනයේ තිබූ තොරතුරු දැනගැනීමේ අපහසුතාත් සමග පුරාණ පොම්පෙයි වැසියන් මෙවැනි ගිනි කන්දක් අසල ජීවත් වන බව නොදැන සිටියා විය හැක. එසේ දැන සිටියා නම් මෙතරම් සෞභාග්‍යවත් නගරයක් එහි ගොඩ නොනැගෙන්නටත් තිබුණි. නමුත් වර්තමානයේ ඉතාලි ජනතාව තව තවත් එම කලාපය ජනාවාස කරමින් ඒ වෙත පිය නගමින් සිටී. අනාගතයේ යම් දිනෙක මෙම ගිනිකන්ද නැවත පුපුරා ගියහොත් සිදුවිය හැකි විනාශය අතිවිශාල බව නොකිවමනාය. ඒ සා මහත් වූ විනාශයක් කැඳවිය හැකි නිසාම Vesuvius ලෝකයේ භයානකම ගිනිකඳුවලින් ප්‍රධාන එකක් ලෙස නම් වී ඇත.

Share this Post