Cinderella Pocket Concert
සමග ඔබ හමුවන සොඳුරු ගායකයා – කිත්සිරි ජයසේකර
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට 90 දශකයේදී පැමිණි ගායකයන් අතර කිත්සිරි ජයසේකරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කිත්සිරිගේ නිර්මාණ දිවිය තුළ ගායනා කර ඇති ගීත සුපරීක්ෂාකාරීව ඇසුවහොත් ඔහුගේ හඬ එම ගීත තුළ කොතෙක් විවිධත්ව පරාසයන්ට ගෙන ගොස් ඇත්දැයි වැටහේ. එකම වපසරියකට කිසිදා කොටු නොවූ කිත්සිරි, ඔහුගේ සංගීත රිද්මය තුළ ඔහුටම ආවේණික වූ අනන්‍යතාවක් රැසක් ගොඩ නගා ගත්තෙකි. දශක තුනකට ආසන්න කාලයක් ස්ව උත්සාහයෙන් ගොඩ නගා ගත් ගායන ප්‍රතිභාව තුළින් තමාගේම නිර්මාණ රැසක ප්‍රේක්ෂකයා හමුවේ තබමින් සප්ත ස්වරයේ ආශ්චර්ය අප වෙත ප්‍රදානය කිරීමට ඔහු සමත් විය. උත්පත්ති වාසනා මහිමයෙන් ලැබුණු හැකියාව මතම පමණක් පිහිටා නොසිට පර්යේෂණාත්මක සොයා යෑමෙන් තම දැනුම් සම්භාරය වැඩි දියුණු කර ගැනීමටත් අත්දැකීම් තුළින් තම සංගීත නිර්මාණ කාර්යය නව මානයකට ගෙන යාමටත් කිත්සිරි නිතරම උත්සාහ ගෙන ඇත. මෙතරම් සුවිසල් ප්‍රතිභාවක් සහිත මේ සංගීතවේදියා පසුගිය කාලය පුරා දැඩි නිහැඬියාවක පසු වූ බව නොරහසකි. නමුත් ඔහු අද වන විට එම නිහැඬියාව බිඳ දමමින් නැවතත් කැනඩාවේ සිටින ඔහුගේ රසික කැළ වෙත සජීවීව සම්බන්ධ වී සිටී. කිත්සිරි මෙවර ඔහුගේ සංගීත චාරිකාව අරඹා ඇත්තේ Cinderella Pocket Concert නමිනි. එහි පළමු ප්‍රසංගය පසුගියදා මිසසාගාහිදී ඉතාමත් සාර්ථකව පවත්වන්නට යෙදුණු අතර එම ප්‍රසංගය තුළින් කිත්සිරි එදා ගැයූ ඉතාමත් රසවත් ගීත මෙන්ම ඔහුගේ අළුත් ගීත කීපයකුත් සජීවීව රස විඳීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දී තිබුණි. කලකට පසුව ප්‍රෙක්ෂකයින් වෙත පැමිණි කිත්සිරි සමග අප අද මෙසේ පිළිසඳර අරඹමු.
කිත්සිරි, දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබේ හඬ, විශේෂයෙන්ම කැනඩාවේ ඉන්න අපට සජීවීව රස විඳින්නට අවස්ථාව ලබා දී තියෙනවා. පළමුවෙන්ම ඔබේ මේ අලුත්ම ප්‍රසංග ආගමනය ගැන ටිකක් කියන්න.
නිහැඬියාව ගැන නෙවෙයි…. ප්‍රසංග ආගමනය ගැන ඔබ ඇසූ දේට මම පිළිතුරු දෙන්නම්. සංගීත ශිල්පීන් හැටියට අපි කියූ ගීතවලට කැමති රසික පිරිසක් ඉන්නවා. ඒ අය හමු වුණාම මගේ ගීතවලට තියෙන කැමැත්ත ගැන කතා කරනවා. ඒවා නැවත සජීවීව මවිසින් ගයන විට අහන්න ඕන කියනවා. වසර ගණනාවක් මම මේ දේවල් අසමින් දකිමින් නිහඬව සිටියා. නමුත් මේ නිහඬ වීමෙන් මගෙන් ඇති වූ රික්තකයක් පවතින බව මට සිතුණා. ලංකාවට ගිය අවස්ථාවල මට මෙය තදින් දැණුනා. ඒ නිසාම එම හිඩස පිරවීමට මා ගත් තීරණයත් සමග මගේ සුපුරුදු සංගීත ජීවිතයට නැවත පිවිසීමට මා කටයුතු කළා. කැනඩාවේ සිටින රසික පිරිසගෙන් ලැබුණු දිරි ගැන්වීමත් මගේ පෞද්ගලික ජීවිතයේදී උපේඛා සහ දරු දෙදෙනාගෙන් ලැබෙන සහායත් මට මේ තීරණයෙදි ලොකු ශක්තියක් වුණා. නමුත් පසුගිය කාලේ මම නිහඬව සිටියේ නෑ. මගේ අළුත් නිර්මාණ දහයකට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේදී මම නිර්මාණය කර තිබෙනවා. ඒ බොහෝ ගීතවල තනු මවිසින්ම නිර්මාණය කළ ඒවායි. එපමණක් නොවෙයි. පසුගිය කාලයේ මම ටොරොන්ටෝවේ සංගීත ප්‍රසංගවලට සහභාගි නොවූවත් ඔන්ටේරියෝවලින් පිට පළාත්වල ප්‍රසංගවල ගීත ගායනා කළ අවස්ථා තිබුණා. නැවතත් ටොරොන්ටෝ රසිකයින් අතරට ඒමේ පළමු පියවර ‘සින්ඩරෙල්ල පොකට් කොන්සර්ට්’ නමින් අගෝස්තු මාසයේදී මම මෙසේ ආරම්භ කළා.
ඔබ අළුතින් නිර්මාණ කළ ගීත අපට ඇසීමට අවස්ථාවක් නැද්ද?
ඇයි නැත්තෙ…. එම ගීත සහ මම ගායනා කර ඇති බොහෝ ගීත මගේ Kithsiri Jayasekara Official (https://www.youtube.com/@kithsirijayasekara) යූ ටියුබ් චැනලය ඔස්සේ ප්‍රේක්ෂකයින්ට රස විඳීමට අවස්ථාව සලසා තිබෙනවා.
ඒ වගේම ඔබ පසුගිය දා පැවැත්වූ ‘සින්ඩරෙල්ල පොකට් කොන්සර්ට්’ එක නැරඹීමට, රස විඳීමට ඉඩ තිබුණේ සීමිත පිරිසකට පමණයි. නැවතත් ටොරොන්ටෝවේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් මෙවැනි ප්‍රසංගයක් පවත්වන්නට අදහස් කරනවාද?
ඔව්… මම නැවතත් මේ ප්‍රසංගය Cinderella Pocket Concert නමින්ම ටොරොන්ටෝව තුළ පවත්වන්නට අදහස් කරනවා. නමුත් දින වකවානු ගැන දැන්ම පැහැදිලි පිළිතුරක් දීමට අපහසුයි. එහිදී මගේ මුල් ප්‍රසංගය නැරඹීමට නොහැකි වූ සියල්ලන්ම සහභාගි කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ ඉදිරි සින්ඩරෙල්ලා පොකට් කොන්සර්ට් විවිධ වෙනස් කම් සහිතව දැක බලා අසා රස විඳින්න ප්‍රේක්ෂකයින්ට හැකි වෙයි. එහිදී මේ වෙනකම් මම ගායනා කර ඇති විශාල ගීත ප්‍රමාණය අතරින් ප්‍රසංගයට සුදුසු ගීත තෝරාගෙන ගායනා කිරීමටත් වාද්‍ය ශිල්පීන් සහිත සජීවී සංගීතයෙන් ප්‍රසංගය ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමටත් මම අදහස් කර තිබෙනවා.
‘පොකට් කොන්සර්ට්’… ඒක ටිකක් අපිට අලුත් නමක්… ඒ ගැන ටිකක් කියන්න...
‘පොකට්’ කිව්වම ඒ වචනය තුළම එහි අරුත තියෙනවා. 100 ක් 200 ක් වැනි කුඩා කණ්ඩායමක් වෙනුවෙන් සිදුකරන ප්‍රසංගයක් මම ‘සින්ඩරෙල්ලා’ නමත් යොදාගෙන හැඳින්වූයේ ඒ නමින්. ගීත ඇසීමට කැමති සහෘදයන් වෙනුවෙන් මෙවැනි සංගීත සැඳෑවල් නිතර නිතර වුවත් සිදුකළ හැකියි. එවැනි දේවල් ලෝකයේ සංගීත රසකාමීන් අතර සිදුවනවා. එය අලුත් දෙයක් නොවෙයි. එම පොකට් කොන්සර්ට් එකේ මම ගායනා කළේ මගේම ගීත. ඇත්තටම එය වසර ගණනාවකට පසු මගේ ජනප්‍රිය ගීත රැසක් එකම තැනකදී මවිසින් ගායනා කළ අවස්ථාවක් වුණා. ගායන ශිල්පියා සහ ප්‍රේක්ෂකයා අතර ඒකාත්මික බැඳීමක් මෙවැනි පොකට් කොන්සර්ට් තුළින් සිදුකෙරෙනවා. මෙවැනි පොකට් කොන්සර්ට් කැනඩාව තුළ පමණක් නොවෙයි, අනිකුත් රටවල සිටින අපේ ප්‍රජාව වෙතත් ගෙන යාමට මා බලාපොරොත්තු වෙනවා.
මේ ප්‍රශ්නය මම ඔබෙන් මේ සාකච්ඡාව ආරම්භයේදිත් ඇහුවා. ඇයි ඔබ මෙපමණ කාලයක් නිහඬව සිටියේ….? ඊට ඔබ පිළිතුරක් දුන්නා. ඔබ නොයෙකුත් නිර්මාණ කාර්යයන්හි යෙදුණු බවට. ඒත් අපට ඔබ කලාව තුළ ඉන්න බව නොදැනුණේ ඇයි?
මම කලාවෙන් කවදාවත් ඈත් වෙලා හිටියේ නෑ. ඒත් පහුගිය කාලෙ ගොඩාක් හඬ නගමින් මගේ කටයුතු සිදු කළෙත් නෑ. ඊට හේතු තිබුණා. ඒවා පුන පුනා කිව
යුතුද කියල මට හිතෙනවා. ඒත් මම ප්‍රසිද්ධ වේදිකාවලින් නිහඬ වුණු ප්‍රධාන හේතුව ගැන පහදන්නම්. ඇත්තටම සංගීතය කියන්නෙ මහ විශාල සම්ප්‍රදායයක්. එය මිනිසුන් වෙත ඉදිරිපත් කිරීමේදී ඊට අදාළ සියලු සම්පත් සමග කළොත් තමයි රස විඳින්නාගේ පැත්තට එයින් සාධාරණයක් සිදුවන්නෙ. ඒත් මේ රටවල්වලදි දේශීය සංගීත කටයුතුවල යෙදෙන අපට එවැනි අවශ්‍ය සියලු පහසුකම් සපයා ගැනීම අපහසුයි. මෙය මගේ සංගීත කටයුතු යම් ආකාරයකට තරමක් අකර්මණ්‍ය කිරීමට හේතුවක් වුණා. නමුත් දැන් ලංකාවේ බොහෝ දක්ෂ වාද්‍ය ශිල්පීන් කැනඩාවට ඇවිත් ඉන්නවා. මම බලාපොරොත්තු වනවා ඒ අයත් සමග හරවත් දේවල් ඔබ වෙනුවෙන් කරන්නට පුළුවන් වේවි කියලා. ඒ වගේම මේ රටේදි අපි ගෙවන ජීවන ක්‍රමය තුළත් මගේ සංගීත කටයුතුවල පූර්ණකාලීනව යෙදීමේ බාධා මට තිබුණා. අපි මෙහෙ ආවේ ප්‍රධාන වශයෙන් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න. ඒක ඒ විදියටම සිද්ධ වුණා. ඒ දෙන්නම දැන් ලොකුයි. මට ඒ නිදහසත් දැන් තියෙන නිසා නිහඬව බව බිඳින්න මට හිතුණා.
කිත්සිරි ඔබගේ කලා ජීවිතය පටන් ගත්ත විදිය ගැන අපි දැනගන්න කැමතියි.
කුඩා කාලයේ ඉඳලම සංගීතය මගේ ඇඟ ඇතුලෙ තිබුණා. පාසලේදී විෂයක් හැටියටත් මම සංගීතය හැදෑරුවා. ඒත් කලාව ගැන ඒ කාලේ තිබුණ පිළිගැනීමත් එක්ක සංගීතය පමණක් ජීවිතය ගෙන යෑමට ප්‍රමාණවත් නෑ කියන අදහසකුත් මට තිබුණා. ඒ නිසාම මම හෝටල් ක්ෂේත්‍රය මගේ විෂය ලෙස තෝරා ගෙන ඒ පැත්තෙන් ඉදිරියට යන අදහසින් රැකියාවක් කළ කෙනෙක්. ඒ වගේම මම සංගීත කණ්ඩායමක් එක්කත් යම් ගමනක් ගියා. ඒත් එක්තරා කාලෙක, 94-95 වගේ කාලෙ මට හිතුණා මෙහෙම කල් නොහැර තීරණාත්මක තැනකට එන්න ඕන කියල. පැය 8 ක රැකියාවකට මගේ ජීවිතේ හිර කරනවද? එහෙම නැත්තන් නිදහස් පුද්ගලයෙක් විදියට මගේ ඇතුළෙ ඉන්න නිර්මාණකරුවා එළියට ගන්නවද? සංගීත කණ්ඩායමක් සමග යන අසීරු ගමනින් අයින් වෙලා තනිව ගායකයෙක් ලෙස ගොඩ නැගෙනවද? අන්තිමේ 1995 දී මම විශාල අභියෝගයක් අරගනිමින් ගායකයෙක් විදියට කටයුතු කරන්න තීරණය කරනවා. මම ඒ තිබ්බ පය වැරදුනේ නෑ. ඒ වසරේ මගේ ප්‍රථම ගීතය ‘ගිනි මලක්’ ගායනා කරමින් මම සංගීත ක්ෂේත්‍රයට පැමිණුනා. එම ගීතය 1996 වන විට අතිශයින් ජනප්‍රිය වුණා. ඊට පස්සෙ මට කියලා පොඩි ඉඩක් ලංකාව ඇතුළෙ හැදුණා. ඒ ඔස්සෙ ඉදිරියට යද්දි තමයි මට ජැක්සන් අයියව (ජැක්සන් ඇන්තනි) මුණ ගැහෙන්නෙ. මම ඔහු සමග ගොඩක් වැඩ කළා. ඒ අනුව මගේ දක්ෂතා හඳුනා ගනිමින් ඔහු තීරණය කළා ‘ස්වර්ණ සාජ්ජය’ වැඩසටහනට මාව සම්බන්ධ කරගන්න. ඒත් ඒ වෙලාවෙ මට පොඩි බයක් ඇති වුණා මගේම නමක් හදාගෙන ගමනක් යන වෙලාවෙ වෙන අයගෙ ගීත කීමෙන් ඒකට බාධාවක් වෙයිද කියල. ඒත් ජැක්සන් අයියා මගේ ඒ බය නැති කරමින් මගේ අනන්‍යතාව රැක දෙමින් ස්වර්ණ සාජ්ජය ගෙන ගියා. එදා අපි කළ ඒ ස්වර්ණ සාජ්ජය නිසා නව තාක්ෂණය නොමැතිව එම ගීත පැරණි විදියටම මිනිස්සුන්ට අහන්න ලැබුණා. එයින් මා වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණා. ස්වර්ණ සාජ්ජය මගේ ජීවිතයේ මම හැමදාමත් ආදරය කරන වැඩ සටහනක්.
ඔබගේ ගීත ඇතුළත් සී.ඩී. පට කීපයක් වෙළඳපොළට නිකුත් වුණා. ඒ ගැන යමක් පැවසුවොත්.
මගේ පළවෙනි සී.ඩී පටය ගිනි මලක්. ඊට පස්සෙ ‘තුහිරේ’ කළා. ඒකෙ සම්පූර්ණයෙන්ම හින්දි ගී තනුවලට හැදුව සිංහල ගීත තිබුණෙ. එහි ගීත සියල්ලම රචනා කළේ කැළුම් ශ්‍රීමාල්. ඊට පස්සෙ නිර්මාණය කළේ ‘මී පැණි රහසක්’ සී.ඩී. පටය. ඊට පස්සෙ සින්ඩරෙල්ලා සහ අමීෂා ගීත එකතුව ‘අමීෂා’ නමින් කළා. ඇත්තටම ඒක වෙනස්ම දෙයක්. එහිදී මම සංගීත පර්යේෂණයක් කළා කිව්වොත් නිවැරදියි. මගේ අවසාන සී.ඩී. පටය අපි ලංකාවෙන් කැනඩාවට එන්න කලින් 2010 ‘කෙටිම කෙටි කතාවක්’ නමින් කළා. ඉන්පස්සෙ මම සී.ඩී. පටයක් කරල නෑ. අමීෂා සහ කෙටිම කෙටි කතාවක් කියන සී.ඩී. දෙක මගේම ශබ්දාගාරයේ LEON AUDIO ලේබලය යටතේ කළ නිර්මාණ. එහි නිෂ්පාදන අයිතිය තියෙන්නෙ මට. මම දිගටම එවැනි නිර්මාණවල යෙදෙන්න හිතුවත් ලංකාව හැර ඒමත් සමග ඒ සියල්ල නතර කරන්න සිදුවුණා.
සින්ඩරෙල්ලා-අමීෂා ගීත එකතුව ඔබට විශේෂයි කිව්වා. ඒ වගේම ගීතවලින් පර්යේෂණ කළ බවක් ඔබ කිව්වා. ඒ ගැන තව ටිකක් පැහැදිලි කළොත්….
ඇත්තටම සින්ඩරෙල්ලා-අමීෂා ඇතුළෙ තිබුණෙ අප්‍රමාණ නිර්මාණ ගොන්නක්. ඒ වගේ නිර්මාණ ආශ්චර්යයක් මට ආයෙත් කරන්න පුළුවන් වෙයිද කියල මටවත් හිතාගන්න බෑ. එච්චරට මම ඒකට කැප වුණා. එතනදි නදීක ගුරුගේ, කසුන් කල්හාර මුණ ගැසීම මට ලොකු ශක්තියක් වුණා. ඔව්… නොයෙකුත් මානවලින් නිමවුණු ඒ සෑම ගීතයකින්ම මා කළේ පර්යේෂණයක්. ඒ මුළු කාලයම සම්ප්‍රදායයක් ඇතුළෙ කොටු නොවී, මගේ කටහඬ විවිධ හැඩතලවලට ගෙන යමින්, ඒවා ගීතවලට යොදාගන්නේ කොහොමද කියන ආකාරය මම පර්යේෂණාත්මකව අත්වින්ඳා. ඒ වගේ දෙයක් කරන්න කාලය සහ විවේක බුද්ධිය ඕන. එම ගීත නිර්මාණය කිරීම 2000 දි පටන් අරන් 2004 දි තමයි සී.ඩී. පටයක් විදියට එළියට ආවෙ. මේ සී.ඩී. පටයට ගීත 16 තෝරා ගත්තත් අපි මේ වෙනුවෙන් ගීත රාශියක් නිර්මාණය කළා. අවසානයේ හොඳම ගීත ටික තමයි ‘අමීෂා’ තුළට ගත්තෙ.
ඇත්තටම එකල නවක ගායකයකු වූ ඔබ අතින් මෙවැනි නිර්මාණයක් බිහිවීම පුදුමයක් තමයි. නමුත් ඔබගේ හඬ පෞරෂත්වය තුළින් ඔබ ඒ අභියෝගය පුදුමාකාර විශාලත්වයකින් ජය ගත්තා. ඔබ ගීත පර්යේෂකයෙක් විදියට ඉතාමත් හොඳ ගමනක් ඇවිත් තියෙනවා.
ඔව් ඒක ඇත්ත. එම පර්යේෂණය ගැන තවත් පැහැදිලි කළොත්, ‘අමීෂා’ සංගීත පටය ඇතුළෙ ජන සංගීතයෙන් පටන් ගත්තම, බටහිර, රොක්, ස්පාඤ්ඤ, අරාබි ආදි විවිධ සංගීත සම්ප්‍රදායයන්ගේ අංග යොදා ගත් විවිධ ගීත තියෙනවා. ඒක හරිම විචිත්‍ර වැඩක්. ඒක කරද්දි එම සංගීත සම්ප්‍රදායයන් ගැන යම් අධ්‍යයනයක යෙදෙන්න මට සිදුවුණා. අපි හැමෝම යම්
දෙයක් ඉගෙන ගන්න ක්‍රම තියෙනවා. මගේ විශේෂත්වය වන්නෙ මම ප්‍රායෝගික සංගීත ශිල්පියෙක් වීමයි. එවැනි ශිල්පීන්ට තමන්ගේ දැනුම විවිධ වූ ස්ථාන කරා ගෙන
යා හැකියි (versatile singing) ඒ වගේම මට සම්බන්ධ වීමට ලැබුණෙත් එහෙම කට්ටියක් සමග වීම මගේ ඒ ගමනට තවත් පහසුවක් වුණා. ඒ පිරිසට නිර්මාණයක් හරි
විදියට කරල ගත්ත ප්‍රායෝගික ඥාණයක් තිබුණා. ගීත රචකයාගේ සහ සංගීතඥයාගේ හදවත ඇතුළේ නිද්‍රාශීලීව තිබෙන ප්‍රබල නිර්මාණයක් ඒ ආකාරයෙන්ම එළියට ගැනීම සිදුවිය යුත්තේ ගායනා ශිල්පියා හරහායි. ගායන ශිල්පියාට එම අවබෝධය නොතිබුණොත් කිසිදු විටෙක ගීතයක් සාර්ථක වන්නේ නෑ. මේ බොහෝ ගීත නිර්මාණය වී ඇත්තේ එම තුන් ඈඳුතු සහයෝගය සහ අවබෝධය මතයි. එම ඇතැම් ගීත නිර්මාණය වෙද්දි මම හඬ ගෙන ගිය පරාසයන් ගැන නදීක පවා පුදුම වුණු අවස්ථා තිබුණා. එයට උදාහරණයක් ‘මතකද’ කියන ගීතය. එහි සංගීතය නදීකගේ. ඔහු මෙය රොක් මාදිලියෙන් නිර්මාණය කළ ගීතයක්. ඇත්තෙන්ම මා එය ගායනා කරන්න භාර ගැනීම සහ ඔහුගේ සිතේ නිදන්ව තිබූ ගී හඬම මගෙන් පැමිණීම ඔහුව විස්මයට පත් කරන්නක් වුණා. අදටත් එම ගීත සියල්ලම ජනප්‍රිය වීම තුළින්ම එය මගේ උත්සාහයේ අග්‍රඵලය විදියට මට දකින්න පුළුවන්. ඇත්තටම නදීක සංගීත නිර්මාණය කරපු චාමින්ද රත්නසූරිය ලියපු හොඳම සිංදු ටික මගේ ළඟ තියෙන්නෙ කියල මට හැමදාම හිතෙනවා. අදටත් රියලිටි සංදර්ශනවලට එන දරුවන් ඔවුන්ගේ හැකියාවේ උච්ඡස්ථානය පෙන්වීමේදී තෝරාගන්නෙ මගේ ගීත වීම මට සතුටක්. අමීෂා, රංගධරයා වගේ ගීත කෙනෙකුට ලේසියෙන් ගායනා කරන්නට හැකි ගීත නෙවෙයි. එම ගීත මීට අවුරුදු 20 කට පෙර නිර්මාණය වුණත් අදටත් ගැලපෙන ගීත. මගේ සංගීත ජීවිතය පුරාම මා ගායනා කළ බොහෝ ගීත එවැනි අපහසු පරාසයන්හි පිහිටි ගීත. දැන් මම සින්ඩරෙල්ලාහි ගීතවලට අමතරව මා ගායනා කළ තවත් එක් ගීතයක් උදාහරණයක් ලෙස ගන්නම්. ඒ රෝහණ බැද්දගේ මහතා සමග ජන සංගීතය ආශ්‍රිතව ගායනා කළ ‘ගින්දර’ ගීතය. ඒ ගීතයේ මා ගායනා කළ හැඩය රෝහණ බැද්දගේ මහතාටත් පුදුමයක් වුණා. මම කවදාවත් එතුමා යටතේ ජන සංගීතය ඉගෙන ගෙන නැති වුණත් ඒ හැඩතලය මා දැන සිටියා සහ බැද්දගේ සර් මගෙන් ඉල්ලන්නෙ මොකක්ද කියල මට වැටහීමක් තිබුණා. මම හැමදාම විශ්වාස කරන්නෙ ගායකයෙක්ගෙ හඬ, භාජනයකට ජලය පුරවද්දි භාජනයේ හැඩය ගන්නව වගේ විය යුතුයි කියලයි.
කිත්සිරි, ඔබ අළුතින් ගීත කීපයක් නිර්මාණය කරල තියෙන බව පැවසුවා. එම නිර්මාණ මීට වඩා ප්‍රේක්ෂකයින්ට ළං කිරීමට කටයුතු කළ යුතුයි නේද?
ඔව් ඒක ඇත්ත. නමුත් අපි ගායනා කරන්නේ අපේ රටේ මිනිස්සුන්ට නිසා ලංකාවෙන් පිට ඉඳගෙන ගීතයක් ජනගත කරන්න හරි අමාරුයි. විශේෂයෙන්ම ගීයක් ප්‍රසිද්ධ වීමට ලංකාවේ ප්‍රධාන මාධ්‍යවල ගීත ප්‍රචාරය කර ගැනීම කළ යුතුම දෙයක්. පිටරටක ඉන්නකොට එවැනි දේවල්වලට ළං වීමට අපට ලැබෙන අවස්ථාවන් අඩුයි. අනික් කාරණය තමයි ගීතයක් සම්පූර්ණ වෙන්නෙ ගීත රචකයා, සංගීතඥයා සහ ගායන ශිල්පියාගේ එකමුතුවෙන්. එහිදී මේ තුන්දෙනාම එක තැනක සිට සාකච්ඡා කරමින් සිදුකරන නිර්මාණයක නිමාව ඉතාමත් උසස්. අපේ පැරණි ගීත දෙස බැලීමෙන් ඊට උදාහරණ ඕනෑ තරම් අපට ගත හැකියි. ඒක හරිම සුන්දර කාර්්‍යයක්. ඒ වගේම සජීවී වාද්‍ය ශිල්පීන්ගෙනුත් නිර්මාණයක් කිරීමේදී ඉතාමත් හොඳ ශක්තියක් ලැබෙනවා. කොහොම වුණත් ඉදිරියේදී බලමු. ලංකාවේ ඉඳන් මගේ නිර්මාණ කරගන්න පුළුවන් කාලයක් ආයෙත් මට ලැබේවි කියල මම හිතෙනවා. වරින් වර ටිකක් දීර්ඝව ලංකාවට ගිහින් නැවතී සිටිමින් මගේ සුපුරුදු සංගීත චාරිකාව ගෙන යන්න ඉඩක් තියේවි කියන බලාපොරොත්තුව මට තියෙනවා. කලාකරුවෙකුට ලැබෙන්න තියෙන ශෝචනීයම අවස්ථාව තමයි ප්‍රේක්ෂකාගාරයෙන් ඈත් වීම. ඒක මටත් උපේඛාටත් දෙන්නටම තියෙන සාංකාවක්. ඒත් ජීවිතේ වටිනා දෙයක් වෙනුවෙන් අපට ඒ කැප කිරීම කරන්නට සිදුවුණා. යම් කාලයක අපට ඒක නැවතත් ළඟා කරගත හැකි බව මම විශ්වාස කරනවා. එතකන් මේ මොහොතේ මගේ වටේ ඉන්න කැනඩාවේ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට මම ගීත ගායනා කරනවා.
ගීත කීමට කැමති බොහෝ දෙනෙක් ටොරොන්ටෝ ඇතුළු මේ අවට සිටිනවා. ඔබගේ සංගීත දැනුමෙන් ඒ අයගේ හැකියාව ඔප මට්ටම් කර ගැනීමට අවස්ථාවක් සලසා දීමට ඔබ කැමති නැද්ද?
ඕනෑම මොහොතක මම ඒක හරිම කැමැත්තෙන් කරන දෙයක්. සංගීතයට කැමති අය වෙනුවෙන් ගායන සහ වාදන පන්ති මම දැනටත් පවත්වනවා. නමුත් මම කවදත් විශාල වශයෙන් ප්‍රචාරාත්මක කටයුතු සිදුකර එම පන්ති පැවැත්වූවේ නැහැ. ගීත ගායනා කිරීමට කැමති අය වෙනුවෙන් අවශ්‍ය මූලික මග පෙන්වීම් සිදුකිරීම කවදත් මගෙන් සිදුවුණා. සංගීතය කියන විෂයය ඇතුළට ගිහින් එහි දිග පළල සෙවීමට කැමති අයට මගේ සංගීත පන්ති හැමදාමත් විවෘතයි. විශේෂයෙන්ම ගීත ගායනට කැමති අයට මම හැමදාමත් කියන්නෙ යමක් දැනගෙන, හැදෑරීමක් සහිතව ඒක කිරීම ඒ විෂයට කරන ගෞවරයක් කියන එකයි.
සංගීත කටයුතුවලට අමතරව කැනඩාවේදී ඔබ අතින් බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය විශේෂ සංස්කෘතික කටයුත්තක් සිදුවනවා. ඒ මංගල උත්සවයන්හිදී පෝරුවේ චාරිත්‍ර කටයුතු සිදුකිරීම. විශේෂයෙන්ම ඔබ විසින් ගැයූ අෂ්ටක මධ්‍යයේ මෙරට බොහෝ දරුවන් විවාහප්‍රාප්ත වී තිබෙනවා. ඒ ගැන යමක් විස්තර කරන්න.
ඒක මම ඉතාමත් භක්තියෙන්, විශ්වාසයෙන් සහ ආශිර්වාදාත්මකව කරන කටයුත්තක්. ඇත්තටම සිංහල බෞද්ධ චාරිත්‍ර අනුව සිදුවන විවාහයකදි තමයි අපි අෂ්ටක, ජයමංගල ගාථා සහිතව පෝරුව චාරිත්‍ර සිදුකරන්නෙ. මේවා ආවට ගියාට කළ යුතු දේවල් නොවෙයි. අෂ්ටක කියන්නෙ නිකම්ම වචන ටිකක් නෙවෙයි. ඒ ස්තෝත්‍ර නිවැරදි ඝන පිහිටුවා, ශබ්ද නගා ගායනා කළ යුතුයි. ඒ නිසා මම ඒ කාර්්‍යයේදී ඉතාමත් කැප වීමෙන් එය සිදුකරනවා. ඔබ දන්නවා මගේ බිරිඳ උපේඛා ගංගොඩවිල ප්‍රවීණ නෘතන ආචාර්යවරියක්. ඇයගේ සහාය මට මේ සියලුම කටයුතු සඳහා නොඅඩුව ලැබෙනවා. පෝරුව චාරිත්‍ර කටයුතුවලදී අවශ්‍ය නර්තනවලදී ඇයගේ සිසු දැරියන් සහභාගි කර ගැනීමට අප කටයුතු කරනවා. ඒ වගේම උඩරට සිංහල නිලමේ ඇඳුම සහ ඒ සියලුම ආයිත්තම් ආදියත් අප ළඟ තිබෙනවා. ඇත්තෙන්ම අපගේ මෙම විවාහ මංගල පෝරුව චාරිත්‍ර සේවාව සඳහා කැනඩාවේ සියළුම පළාත්වලින් පමණක් නොවෙයි එක්සත් ජනපදය තුළින් පවා ආරාධනා ලැබෙනවා. ඉදිරියටත් මෙම සේවාව අවශ්‍ය අය වෙනුවෙන් ලබා දීමට අප සූදානම්.
කිත්සිරි ජයසේකර ගායනවේදියාණනි, ‘දසත’ හා එක්වී මෙසේ අදහස් බෙදා හදා ගැනීම ගැන ඔබට බොහොම ස්තූතියි. ඒ වගේම ඔබව විශ්වාස කළ, ඔබගේ ගීත රස විඳි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නැවතත් ප්‍රසංගවලින් අපව රසවත් කිරීමට පැමිණීම ගැනත් ඔබට ස්තූතියි. ගීත රසිකයින්ව වින්දනයේ වෙනත්ම මානයකට ගෙන යෑමට ඔබ විසින් ආරම්භ කළ Cinderella Pocket Concert සාර්ථක වේවා ! ඒ වගේම ඔබගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තව තවත් සංගීත කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යයය සහ නිදුක් නිරෝගී සුවය නිරන්තරව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු !
සාකච්ඡාව මෙහෙයවීම සහ සංවාද සටහන – චමරි අබේසිංහ